අපි ශාරීරිකව ඔවුන් තරම් ශක්තිමත් නෑ – නිසාම් අලී

65

2022 FIFA ලෝක කුසලානය හා 2023 ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලියේ දෙවන වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරගය ඊයේ (05) ටර්ක්මෙනිස්තානය සමඟින් කොළඹ තුරඟ තරග පිටියේ දී පැවති අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමට ගෝල 2-0ක් ලෙස පරාජය වීමට සිදු විය. 

ශ්‍රී ලංකාව ටර්ක්මෙනිස්තානය හමුවේ අසාර්ථක වෙයි

2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට හා …….

ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු පුහුණුකරු නිසාම් අලී මහතා පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික පැවැත්මේ අඩුපාඩු හා සැලසුම් කළ කණ්ඩායම ක්‍රීඩා නොකිරීම නිසා තරගය පරාජය වීමට සිදු වූ බවයි. 

“අද තරගය අපිට අමාරු තරගයක්. ඔවුන් ලබා ගත් ගෝල දෙකම අපේ පසුපෙළ අඩුපාඩු නිසා ලබා ගත් ගෝල දෙකක්. ටර්ක්මෙනිස්තානයට ප්‍රබල කණ්ඩායමක් සිටිනවා. අපි ඔවුන්ව ගෝල දෙකකට සීමා කිරීම අපේ ඉදිරි තරග සඳහා වාසියක් වේවි. ” 

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සැලැස්මකින් තොරව ක්‍රීඩා කරන ආකාරයක් තරගය පුරා දිස්වූ අතර ඒ පිළිබඳව අදහස් දක්වමින් නිසාම් අලී මහතා පවසා සිටියේ තමන් තරගය සඳහා වන සැලැස්ම ඔවුන්ට පෙර සිටම දැනුම් දුන් නමුත් ක්‍රීඩකයන් තම උපරිම දක්ෂතාවලට ළඟා නොවූ බවයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දක්ෂතා අවශ්‍ය මට්ටමට පැමිණ නොමැති බවත් ඔහු පවසා සිටියා. 

“අපේ ක්‍රීඩකයන් මේ වෙන විට අවශ්‍ය දක්ෂතා ළඟා කරගෙන නෑ. ඔවුන් ළාබාල ක්‍රීඩකයන්. ඔවුන් කණ්ඩායමට එක්වෙලා වැඩි කල් නෑ. අපි අපේ අත්දැකීම් වැඩි කරගැනීමෙන් අපිට ඉදිරි තරගවල දී හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන් වේවි. “

මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී එක් මාධ්‍යවේදියෙකු විසින් පකීර් අලී මහතා යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ විදෙස් තරගාවලි හා පුහුණු සැසි පිළිබඳව විමසා සිටි අතර එහි දී පකීර් අලී මහතා පවසා සිටියේ එක් එක් ක්‍රීඩකයන්ගේ පෞද්ගලික දක්ෂතාවල යම් දියුණුවක් ඇතිවී ඇති බවයි. 

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හිසරදයක්

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හා 2023 ……

“අපි බලන්න ඕන ඔවුන්ගේ ක්‍රීඩකයන්ගේ හා අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතා ගැන. අපි බලන්න ඕනේ ඔවුන් ආවේ කොහෙන්ද කියලා. ඔවුන්ට සාපේක්ෂව අපේ ශාරීරික යෝග්‍යතාවයන් අඩුයි. ශාරීරිකව අපේ ක්‍රීඩකයන් ඔවුන්ට වඩා කුඩායි. අපි ඒ අවාසියත් සමඟින් ක්‍රීඩා කළ යුතුයි.” 

ඊයේ පැවති තරගය සඳහා ක්‍රීඩා කරන අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තෝරාගැනීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටි අතර එහි දී ඔහු පවසා සිටියේ ක්‍රීඩකයන් තම සුපුරුදු ස්ථානවල ක්‍රීඩා කළ ද කණ්ඩායමක් ලෙස ඔවුන්ගේ දක්ෂතාවල අඩුපාඩුවක් පැවති බවයි. 

“අපි ෆසාල් හා නිරේශ් ඔවුන්ගේ සුපුරුදු ස්ථානවලට යොදවලා තිබුණා. ඔවුන් මීට පෙර තරගවල දී ඒ ස්ථානවල හොඳින් ක්‍රීඩා කළා. නමුත් අද ඔවුන්ගේ දායකත්වය නිසි ලෙස කණ්ඩායමට ලැබුණේ නෑ. “

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට හිසරදයක්

2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හා 2023 ආසියානු …..

තරගය තුල දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් මාරු කිරීම පිළිබඳව අදහස් දක්වමින් නිසාම් මහතා පවසා සිටියේ ආකිබ්ගේ දුරට පන්දුව යොමු කිරීමේ හැකියාව නිසා ඔහු තරගයේ මුල් අවස්ථාවේ යෙදු වූ බවයි. 

“ඔහු ලාඕසය සමඟ තරගයේ දී දුර සිට එල්ල කරන පහර මගින් හොඳින් ක්‍රීඩා කළා. ඔහු ෆසාල් සමඟින් හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තියනවා. නමුත් අද දවසේ දී ඒ සැලසුම නිසි ලෙස ක්‍රියා කළේ නෑ.” 

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ශාරීරිකව ටර්ක්මෙනිස්තානය තරම් ප්‍රබල නොවූවද එවැනි කණ්ඩායම් වලට අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිදු කිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් පිළිබඳව ද පකීර් අලී මහතා අදහස් දක්වා සිටියා. 

“අපි ක්‍රීඩකයන් ශාරීරිකව ශක්තිමත් කිරීම ගැන හොයලා බලනවා. ඔවුන් ශක්තිමත් විය යුතුයි. අපි ඒකට පුහුණුවීම් කරනවා.”

තරගය පිළිබඳව අදහස් දැක්වීම සඳහා ටර්ක්මෙනිස්තාන පුහුණුකරු ඇන්‍ටේ මිසේ මහතා ද එක්වූ අතර ඔහු පවසා සිටියේ තම කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව ඔහු සතුටු වන බවයි. 

“මේක හොඳ තරගයක්. ශ්‍රී ලංකා කණ්ඩායම අපි බලාපොරොත්තු වූ ආකාරයටම ක්‍රීඩා කළා. මම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ ජනතාවට අපිට දක්වන සත්කාර පිළිබඳව” 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<