Rajasthan Royals පරාජය ගැන සංගා කතා කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

1033
onmanorama.com

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Royal Challengers Bangalore සමඟ ඊයේ (30) පැවති තරගය කඩුලු 7කින් පරාජය වීමට Rajasthan Royals කණ්ඩායමට සිදු වුනා.

මෙම පරාජයත් සමඟින් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටිනවා. තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් ඔවුන් මීළඟ තරග 3 ම ජයග්‍රහණය කළ යුතුයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි වටයේ මුල් තරග කිහිපය තුළ Rajasthan Royals ලකුණු පුවරුවේ වැඩි ගෞරවයක් හිමි කරගැනීමට Sanju Samson සමත් වුනා. කෙසේ වෙතත් Royal Challengers Bangalore හමුවේ ඔහුට සාර්ථක වීමට අවස්ථාවක් හිමි වුනේ නැහැ.

ඊයේ පැවති තරගයේ දී Rajasthan Royals ආරම්භක පිතිකරුවන් වූ Ewin Lewis සහ Yashasvi Jaiswal තම කණ්ඩායමට ප්‍රබල ආරම්භයක් ලබා දීමට සමත් වුනා. ඔවුන් පළමු කඩුල්ල සඳහා ලකුණු 77ක් එක් කිරීමට සමත් වූ අතර Rajasthan Royals පළමු පන්දුවාර 11 තුළ දී එක් කඩුල්ලක් දැවී ලකුණු 100ක් ලබා ගනිමින් ප්‍රබල ස්ථානයක පසුවුනා.

කෙසේ වෙතත් අවසන් පන්දුවාර 8 තුළ දී තරගයට අවතීර්ණ වූ Royal Challengers Bangalore එම පන්දුවාර 8 තුළ දී ලකුණු 49ක් පමණක් ලබා දෙමින් කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුනා. Rajasthan මැදපෙළ නියෝජනය කළ Mahipal Lomror, Liam Livingstone, Rahul Tewatia සහ Riyan Parag මෙම තරගයේ දීත් සාර්ථක වූයේ නැහැ.

පරාජයෙන් අනතුරුව Rajasthan Royals කණ්ඩායමේ උපදේශක කුමාර් සංගක්කාර කණ්ඩායමේ අසාර්ථකත්වය පිළිබඳව අදහස් දක්වා සිටියා.

“ඉන්දියාවේ ක්‍රීඩා කරද්දී අපි මුල් පන්දුවාර කිහිපය තුළ අසාර්ථක වුනා. ඒ වෙලාවේ දී මැදපෙළ ක්‍රීඩකයන් තමයි කණ්ඩායමට ලකුණු එක් කළේ. මේ වටයේ දී ඒකේ අනික් පැත්ත වෙනවා අපිට පේනවා. ඒ තරග කිහිපයේ දීම අපිට powerplay පන්දුවාරවල කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ අපිට තේරෙනවා ලකුණු එනවා කියලා. ඊට පස්සේ අපිට අවසන් පන්දුවාර කිහිපය ක්‍රීඩා කරන හැටි සැලසුම් කරගන්න අමාරු වෙනවා. අද තරගයේ දී වගේ වේගවත් ලකුණු 100ක් ලබා ගත්ත වෙලාවේ දී අපි බලන්න ඕනේ ලකුණු 180 සීමාවට යන්නේ කොහොමද කියලා.” 

“පන්දු යැවීම ගැන අපිට එතරම් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අද තරගයේ දී වුනත් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා ශෛලිය හොඳ මට්ටමක තිබුණා. ඔවුන් පීඩනය හොඳින් පාලනය කළා. අපි දැන් අවධානය යොමු කරන්න ඕනේ හොඳ ලකුණු පුවරුවක් හදාගන්න.”

පසුගිය වසරේ පැවති ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේ දී වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩක Chris Morris මෙම තරගාවලියේ දී සාර්ථක වීමට සමත් වුනේ නැහැ. ඔහු පිතිකරුවෙකු ලෙස මෙන්ම පන්දු යවන්නෙකු ලෙස ද කණ්ඩායමට සිය දායකත්වය ලබා දීමට අපොහොසත් වීම කැපී පෙනෙන කරුණක්.

ඊයේ තරගයේ දී Royal Challengers Bangalore පිතිකරුවන් Chris Morrisගේ පන්දුවාර 4 තුළ දී ලකුණු 50ක් වාර්තා කර තිබුණා. ප්‍රවේගකාරී පිතිකරු Glenn Maxwell Chris Morrisගේ පන්දු 9ක දී ලකුණු 24ක් රැස් කළා.

“Chris Morris පළමු තරග කිහිපය තුළ හොඳින් ක්‍රීඩා කළා. ඒත් මේ තරග කිහිපය තුළ ඔහුගෙන් බලාපොරොත්තු වූ දස්කම් දක්නට ලැබුණේ නැහැ. ඔහුත් ඒක දන්නවා. පන්දුවාර 4ක දී ලකුණු 50ක් වාර්තා කිරීම දුර්වල පන්දු යැවීමක්. අවසන් පන්දුවාරය තුළ අපි දැක්කා ඔහු කොහොමහරි කඩුල්ලක් ලබා ගන්න හැමතැනකටම පන්දු යවනවා. මේ තරග කිහිපය තුළ ඔහු අසාර්ථක වුනත් ඔහු කණ්ඩායම වෙනුවෙන් ලොකු සේවයක් කරපු ක්‍රීඩකයෙක්.” 

Rajasthan Royals කණ්ඩායමට අවසන් පූර්ව වටය දක්වා යාමට නම් ඉදිරියේ පැවැත්වීමට නියමිත තරග තුනම ජයග්‍රහණය කළ යුතුය. එම තරග Chennai Super Kings, Kolkata Kinght Riders සහ Mumbai Indians හමුවේ පැවැත්වීමට නියමිතයි.

අපි හැමවෙලේම උත්සාහ කරන්නේ සරලව ක්‍රීඩා කරන්න. මම දකිනවා ක්‍රීඩකයන් ඔවුන්ට ලොකු පීඩනයක් එල්ල කරගන්නවා. තරගයේ දී ඔවුන් තවත් පීඩනයකට ලක්වෙනවා. මගේ කාර්‍ය වෙන්නේ ඒ පීඩනය වැඩි කිරීම නෙමෙයි. ඒක නිවැරදිව පාලනය කරන්නේ කොහොමද කියන එක ඔවුන්ට කියන එක. මේ වගේ වෙලාවක පීඩනය පාලනය කරන්න ගොඩක් දේවල් කරන්න ඕනේ.” 

අපි අපේ කණ්ඩායම තුළ කවදාවත් වරද පටවන එකක් කරන්නේ නැහැ. අපි ජයග්‍රහණය කරන්නෙත් කණ්ඩායමක් විදිහට, අපි පරාජය වෙන්නෙත් කණ්ඩායමක් විදිහට. අපි පුහුණුවීම්වලටත් ඒ ආකල්පය එක්ක තමයි සහභාගී වෙන්නේ. අපි මේ තරගවල හොඳින් ක්‍රීඩා කළේ නැහැ. කණ්ඩායමක් විදිහට අපි ඒක තේරුම් අරන් තියෙන්නේ.

අපි දැන් අපේ පුහුණුවීම් ගැන අවධානය යොමු කරන්න ඕනේ. පුහුණුවීම්වල දී අපි කරන දේවල් තරගයේ දීත් හරියට  කරන්නේ කොහොමද කියලා අපි සැලසුම් කරන්න ඕනේ. අපි සමහර තරගවල දී පිතිකරණයෙන් දස්කම් දැක්වූවා. සමහර තරගවල දී පන්දු යැවීම හොඳ මට්ටමක තිබුණා. ඒත් අපිට ඕනේ මේ සියල්ලම එක තරගයකට ගේන්න. ඒකට තමයි අපි උත්සාහ කරන්නේ”, කුමාර් සංගක්කාර පවසා සිටියා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග 43ක් මේ වන විට පවත්වා අවසන්. Chennai Super Kings ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින අතර දෙවැනි ස්ථානය Delhi Capitals කණ්ඩායමට සහ තුන්වැනි ස්ථානය Royal Challengers Bangalore කණ්ඩායමට හිමිව තිබෙනවා. Kolkata Kinght Riders සිව්වැනි ස්ථානයේ රැඳී සිටිනවා.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<