ක්‍රිකට් චූදිතයෝ චෝදනා ප්‍රතික්ෂේප කරති

1059
Kulatunga, Lokuhettige

අල්ජසීරා මාධ්‍ය ආයතනය මඟින් පසුගිය සෙනසුරාදා (26) නිකුත් කළ වීඩියෝ පටයට අදාළව තරග පාවා දීමට සැලසුම් කළා යැයි චෝදනාවලට ලක්වූ ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන ජීවන්ත කුලතුංග හා දිල්හාර ලොකුහෙට්ටිගේ එම චෝදනා තරයේම ප්‍රතික්ෂේප කර ඇත.

“ICCයෙන් අපිට පරීක්ෂණයක් කරන්න එපා කිව්වා.” මොහාන් ද සිල්වා

බුකීකරුවන් හා එක්ව තණතීරු සකසා තරග පාවාදීමේ සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්..

මෙම සිද්ධිය හා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොළඹ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන තරිඳු මෙන්ඩිස්, බස්නාහිර පළාත් පුහුණුකරු වන ජීවන්ත කුලතුංග හා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහය කළමනාකරු වන තරංග ඉන්දික යන පුද්ගලයන්ගේ වැඩ, විමර්ශන කටයුතු අවසන් වන තෙක් තහනම් කර ඇත.

එසේම දිල්හාර ලොකුහෙට්ටිගේට එරෙහිව යම් පියවරක් ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නොහැකි බවත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඒ සඳහා යම් පියවරක් ගැනීමට හැකි බවත් පසුගිය දා (28) පැවැත්වූ මාධ්‍ය හමුවේ දී අනාවරණය විය. ඒ සඳහා හේතුවී ඇත්තේ ලොකුහෙට්ටිගේ මේ වන විට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටීමයි. තවද ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ මේ වන විට කිසිදු සබඳතාවයක් නොමැති බවත් වාර්තා විය.

“දිල්හාර ලොකුහෙට්ටිගේ මේ වන විට ඕස්ට්‍රේලියාවේ ඉන්නේ, ඒක නිසා අපිට ඔහුට විරුද්ධව කෙළින්ම තීරණයක් ගන්න බෑ. නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඒ හැකියාව තියෙනවා. ඒක නිසා ICCය ඔහු පිළිබඳව අපෙන් ඉල්ලන ඕනෑම තොරතුරක් ලබා දෙන්න අපි සූදානමින් ඉන්නවා.” යැයි එම හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈශ්ලි ද සිල්වා මහතා පවසන ලදි.

ICC, CID හා ශ්‍රී ලංකා ක්‍රිකට් තුනෙන් ම විශේෂ පරීක්ෂණ

ක්‍රිකට් ලෝකය කලඹමින් අල්ජසීරා මාධ්‍ය ආයතනය නිකුත් කළ ශ්‍රී ලංකාවේ තරග..

“මම මේ සිද්ධියේ දී ඉතාමත්ම නිර්දෝෂයි. මම රොබින් මොරිස්ව ඉතාමත් හොඳින් දන්නවා. මොකද මම එංගලන්තයේ දේශීය ක්‍රිකට් තරගාවලිවලට සහභාගී වුනා. අපි පළමු වරට මුණ ගැහුණේ 2006 දී. පසුගිය අවුරුද්දේ එක්තරා දිනයක සවස කොළඹ පිහිටි හෝටලයක දී මුණ ගැසුනා. අපි එතැන දී මුණ ගැසුණේ ඉදිරියේ  දී පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ගැන ගන කතා කරන්න. එතැනට ගියපු වීඩියෝ එක අල්ජසීරා මාධ්‍ය ආයතනය එගොල්ලන්ගේ ප්‍රසිද්ධියට භාවිතා කරලා අපේ කීර්ති නාමයට මඩ ගහනවා.” යැයි ජීවන්ත කුලතුංග පවසා ඇත.

“2016 දී ඇමරිකාවේ දී මගේ කකුල ආබාධයකට ලක්වුණා. එහි දී මගේ ඩොක්ටර් මට කිව්වා කිසිම ක්‍රීඩාවකට සම්බන්ධ වෙන්න එපා කියලයි. ඉතින් මම කොහොමද ක්‍රීඩකයෙක් ලෙස තරග පාවාදීම්වලට සම්බන්ධ වන්නේ. මම ඉදිරියේ දී ඒ මාධ්‍ය ආයතනයට විරුද්ධව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.” යැයි ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේ පවසා ඇත.

“මම ශ්‍රී ලංකාවට ක්‍රීඩා කළ කාලයේ දී ICC දූෂණ විමර්ශන කමිටුවලින් තිබ්බ විවිධ රැස්වීම් වලට සහභාගී වෙලා තියෙනවා. එම වීඩියෝවත් ඔබ හොඳින් නැරඹුවොත් පෙනේවී මගේ ශාරීරික යෝග්‍යතාවය එතරම් හොඳ මට්ටමක තිබ්බේ නෑ කියලා. මොකද ඒ මගේ ආබාධ තත්වය නිසා.” යැයි දිල්හාර ලොකුහෙට්ටිගේ වැඩිදුරටත් පවසා ඇත.

අවසානයේ මේ ක්‍රීඩකයින් දෙදෙනාම ICC දූෂණ විමර්ශන කමිටුව ඉදිරියේ සිය අදහස් දැක්වීමට සූදානම් බව පවසන ලදි.

Kulatunga, Lokuhettige deny wrongdoing ලිපියේ පරිවර්තනයකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<