ශ්‍රී ලංකාව පන්දු රැකීමෙන් ලොව දුර්වලම කණ්ඩායම ද?

463

ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන කුඩා දරුවකුට වුවත් ලොව ඕනෑම ක්‍රිකට් පුහුණුකරුවකු කියා දෙන මූලික සිද්ධාන්තයක් වෙයි. ‘කැචස් වින් මැචස්’ එනම් ”උඩ පන්දු රැක ගැනීම තරග ජයග්‍රහණයේ රහස” වන බවයි.

තවත් සරලව කියතොත් ‘ ඔබට තරගයක් ජය ගැනීමට අවශ්‍ය නම් උඩපන්දු රැක ගන්න”. කෙසේ වෙතත් පසුගිය සඳුදා කාඩිෆ් හීදී පකිස්තානයට එරෙහිව ලකුණු 236ක් ආරක්ෂා කර ගැනීමට දැරූ උත්සාහය තුල දී ජාත්‍යන්තර මට්ටමේ වෘත්තීය ක්‍රීඩකයන් වන ශ්‍රී ලංකා පන්දු රකින්නන් හට මෙම මූලික සිද්ධාන්තය අමතක වී තිබුණි.

පන්දු රකින්නන්ගේ දෑත් අතරින් ශූරයින්ගේ කුසලානය බිම වැටෙයි

අද කාඩිෆ් ක්‍රීඩාංගණයේ දී ප්‍රතිවාදී පාකිස්තානු කණ්ඩායම පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට..

තරගයක සාමාන්‍ය ලකුණු තත්ත්වය 300ක් ආසන්න වන ඉහළ අගයක් ගත්  ICC ශූරයින්ගේ කුසලානය වැනි අතිශය තරගකාරී තරගාවලියක දුර්වල ලකුණු තත්ත්වයක් සාර්ථකව රැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි ව තිබුණ ද ඔවුන් එම අවස්ථාව උඩපන්දු ලෙසින් තම අතැඟිලි අතරින් ලිස්සා යාමට ඉඩ ලබා දුන්නේ පාකිස්තානුවන්ට අර්ධ අවසන් වටයේ අවසන් ස්ථානය තහවුරු කර ගැනීමට ඉඩ හසර සලසමිනුයි.

මේ වනතුරු ද මෙරට ක්‍රිකට්ලෝලීන්, ක්‍රීඩකයන්, පරිපාලකයන් මෙන්ම පුහුණුකරුවන් අතර වැඩිම කතාබහට ලක්වන මාතෘකාව බවට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ දුර්වලතා වෙයි. කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව වඩාත්ම සිත් තැවුලට පත් පුද්ගලයා විය හැක්කේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් බව නොරහසක්.

‘අද දවසේ අපගේ පන්දු රැකීමේ දක්ෂතා යලිත් වරක් පැවතුණේ අතිශය දුර්වල මට්ටමකයි. අපි එම උඩපන්දු රැක ගත්තා නම්, අද මේ කතාව බෙහෙවින් වෙනස් වෙන්න තිබුණා. විශේෂයෙන්ම එය සිදු වුනේ ඉතාම වැදගත් අවස්ථාවල දී යි. පළමු පන්දු වාරයේ වගේම අවසාන පන්දු වාර කිහිපය තුළ සෆ්රාස් හට ලබා දුන් අවස්ථා ඉතා විශාල බලපෑමක් එල්ල කළා. ජාත්‍යන්තර කණ්ඩායමක් ලෙස, මම හිතන්නේ අපි පෙන්නුම් කරමින් සිටියා නමුත් අද දවස කිසිසේත්ම අපේ දවසක් වුනේ නැහැ.” තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී නායක මැතිව්ස් මෙලෙස පැවසුවේ ” ශ්‍රී ලංකා කණ්ඩායම ලොව දුර්වලම පන්දු රැකීමේ කණ්ඩායම ද?” යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.

වරෙක ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කළ, වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි ජෙරොම් ජයරත්න 2015 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හැඳින්වූයේ ලොව දුර්වලම පන්දු රැකීමේ දක්ෂතා සහිත කණ්ඩායම ලෙසයි. ”අපි තමයි දැන් ආසියාවේ දුර්වලම පන්දු රැකීමේ දක්ෂතා ඇති කණ්ඩායම. අපි කිසි දිනක පාකිස්තානයට වඩා පසුපසින් සිටියේ නැහැ, නමුත් දැන් අපි ඉන්නේ ඔවුන්ටත් පසුපසින්. ඉන්දියාව අපට වඩා ඉදිරියෙන් සිටින බව පෙන්වා තිබෙනවා. එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායමේ පන්දු රැකීමත් අපේ කණ්ඩායමට වඩා ඉහළයි.” ඔහු එවක පැවසීය.

පසුගිය තරගය වන තෙක්, පන්දු රැකීමේ පුහුණුකරු නික් පෝතස් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සුළු වර්ධනයක් දක්නට ලැබුණ ද, ඒ සියලු දස්කම් පාකිස්තාන තරගය තුල දී විනාශ වී යන ලදී. ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසංක ගුරුසිංහ පැවසුවේ එක්සත් රාජධානිය තුල ඉදිරියට යාමේ බලාපොරොත්තු පන්දු රැකීම දක්ෂතා මත රඳා පවතිනු ඇති බවයි. ”අපිට අවශ්‍ය වෙලා තියනවා කණ්ඩායමේ ශාරීරික යෝග්‍යතාව සහ පන්දු රැකීම යන අංශවල දියුණුවක්. තේරීම් කමිටු සභාපතිවරයාට පැහැදිලි පණිවිඩයක් ලබා දීලා තියනවා අපි දේශීය තරගවල දී ලකුණු ලබා ගත් පලියට ක්‍රීඩකයන් තෝරා ගන්නේ නැති බව. ඔවුන් පන්දු රැකීමේ දී යම් මට්ටමක දක්ෂතා පෙන්විය යුතුයි.” ගුරුසිංහ පැවසීය.

කවදත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරුවකු ලෙස කටයුතු කළ ලසිත් මාලිංග මෙම තරගයේ දී කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන යාමට ගත් උත්සාහය ඉතා විශාලය. ඇතැම් විට මෙය මාලිංග සහභාගී වන අවසන් ICC තරගාවලිය ද විය හැකි අතර ගිලිහී ගිය උඩපන්දු 3 ම ඔහුට ලැබිය යුතුව තිබුණු කඩුලු වීම අවාසනාවකි. සාමාන්‍යයෙන් විශිෂ්ට පන්දු රකින්නකු වන ධනුෂ්ක ගුණතිලක අතට පළමු පන්දු වාරයේ දී ම ලැබුණු පහසු උඩපන්දුවක් ගිලිහී ගිය අතර ඉන් ජීවය ලැබූ ඒ වන විට ලකුණු ලබා නොසිටි අසාර් අලී ලකුණු 34ක් රැස්කළා පමණක් නොව ආරම්භක කඩුල්ල සඳහා ලකුණු 74ක සබඳතාවක් ගොඩනගන්නට ද දායක විය.

”අවාසනාවකට වගේ අපිට පරදින්න සිදු වුනේ සෆ්රාස් අහමඩ් ලබා දුන් අවස්ථා මඟ හැරුණු නිසයි.” සටන්කාමී ලකුණු 27ක් රැස් කරමින් පිත්තෙන් තම දායකත්වය සැපයු අසේල ගුණරත්න පැවසීය.

තරගයේ තීරණයට වඩාත්ම බලපෑම් එල්ල කළ අවස්ථාව වුනේ 39 වන පන්දු වාරය තුල දී ලකුණු 38ක් ලබා සිටි සර්ෆ්රාස් අහමඩ් මිඩ්-ඕන් කලාපයේ පන්දු රකිමින් සිටි තිසර පෙරේරා හට ලබා දුන් අතිශය පහසු උඩ පන්දුව ගිලිහී යාමයි. මාලිංග යැවූ ඊළඟ පන්දු වාරය තුල ඩීප් ස්ක්වෙයාර් ලෙග් කලාපයේ සිට යාර 10ක් පමණ ඉදිරියට දිවැවිත් ඉදිරියට පනිමින් සෆ්රාස්ගේ තවත් උඩ පන්දුවක් රැක ගැනීමට සීක්කුගේ ප්‍රසන්න ගත් උත්සාහය ද අසාර්ථක විය.

‘අපි දැක්කා අදත් ඔහු (මාලිංග) කෙතරම් උත්සාහයක් දරුවා ද කියලා. අවාසනාවට අපි ඔහුගේ උඩ පන්දුත් අතහැරියා. ඒ වන විටත් අපිට ආරක්ෂා කර ගැනීමට ලකුණු 30ක් පමණ තිබුණා. ඉතින් එම උඩ පන්දු දෙක රැක ගත්තා නම් අපිට තරගය දිනන්නත් තිබුණා. මම හිතන්නේ එතන දී තමයි අපිට තරගය ගිලිහී ගියේ’‘ මැතිව්ස් වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ගිලිහුණේ උඩ පන්දු පමණක් නොවේ. සෆ්රාස් අහමඩ් දුවද්දී දවා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක් කඩුල්ලට පන්දුව එල්ල කිරීමට පන්දු රකින්නන්ට නොහැකි වූ අතර, පිටියේ සිදු වූ අතපසුවීම් හේතුවෙන් ප්‍රතිවාදීන්ට ලකුණු 10ක් පමණ පූජා කිරීමට ද සිදු විය. ක්‍රීඩා කිරීම තම වෘත්තීය කර ගත් ගෙවීම් ලබන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් ඉහළ පීඩනයකින් යුතු තරගයක දී මෙම සිදුවීම් පෙළ සඳහා දායක වීම කෙතරම් දුරට සාධාරණීකරණය කළ හැකි ද? ඔව් සැබවින්ම මනුෂ්‍යයන් වන අප සියල්ලන් අතින් අතපසුවීම් සිදු විය හැකිය. නමුත් යලි යලිත් එකම වරදම සිදු කිරීම කෙතෙක් දිනක් පිළිගත හැකි ද?

එමෙන්ම බ්‍රිතාන්‍ය වෙත පා තබා පැය 48ක් ගත වන්නට ද මත්තෙන් එක් පුහුණු සැසියකට පමණක් සහභාගී වීමෙන් පසු තරගයක් සඳහා ක්‍රීඩා කිරීමට සිදු වූ ධනංජය ද සිල්වා පැවසුවේ තම පිතිකරණ අසාර්ථකත්වයට හේතුව දේශගුණ වෙනස සහ ගමන් වෙහෙස බවයි. ”කොළඹ දැඩි අවුරශ්මිය මැද පුහුණුවීම් කරමින් ඉඳලා එකවරම මෙම සීතල දේශගුණයට සහ තණතීරුවලට හැඩගැසීම හදිසියේ කරන්න අමාරුයි. අපේ පරාජයට ප්‍රධානතම හේතුව වුනේ අපේ දුර්වල පන්දු රැකීමයි. ඔව් අද දවසේ අපේ පන්දු රැකීම දිහා බලන ඕනෑම කෙනෙකුට කියන්න පුළුවන් මෙය තමයි පන්දු රැකීම අතින් ලොව දුර්වලම කණ්ඩායම කියලා.” ඔහු පැවසීය.

මේ වන විට සියලුම ආකාරයේ ක්‍රිකට් කණ්ඩායම් වර්ගීකරණ ලැයිස්තු තුළ පහතම මට්ටමට වැටී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට නුදුරු අනාගතයේ දී ලොව ක්‍රිකට් කරළියේ සුපිරි බලවතෙකු වීමට අවශ්‍ය නම් ඉතා ඉක්මනින් ඔවුන්ගේ පන්දු රැකීම දියුණු කර ගැනීමට සිදු වනු ඇති.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<