ඉන්දීය නායකයාගෙන් ක්‍රිකට් බලධාරීන්ට චෝදනාවක්!

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

363

ක්‍රීඩකයන් දීර්ඝ කාලයක් ජෛව ආරක්‍ෂිත වටපිටාවන් තුළ කටයුතු කිරීම නිසා ඇති වන මානසික පීඩනය පිළිබඳව පසුගිය කාලය තුල දැඩි කතාබහක් ගොඩනැගී තිබුණා. මේ පිළිබඳව ඉන්දීය නායක Virat Kohli පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වා සිටියා.

එහි දී ඉන්දීය නායකයා විසින් පවසා සිටියේ කොරෝනා වයිරසය නිසා පසුගිය කාලය තුළ තරග අවලංගු වීම සහ ඒ හා සම්බන්ධ ආදායම් අහිමි වීම නැවත ලබා ගැනීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කරන නමුත්, එමඟින් ක්‍රීඩකයන්ට සිදු වන බලපෑම පිළිබඳව ඔවුන් අවධානය යොමු නොකරන බවයි.

“පසුගිය කාලය තුල අපි මෙ ජෛව ආරක්‍ෂිත වටපිටාවන් ගැන ගොඩක් දේ කතා කළා. ලෝක කුසලාන තරගාවලියට කලින් අපි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කළා. ඒක අපිට ලෝක කුසලානයට සූදානම් වෙන්න ලොකු අවස්ථාවක්. හැම දවසකම අපි ඉස්සරහා අලුත් අභියෝගයක් තියනවා.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය වගේ තරගාවලියක් ක්‍රීඩා කිරීම අපිව ඒකට සූදානම් කරනවා. ඒ වගේම තමයි ලෝක කුසලාන තරගාවලිය. අපි රටවල් ගණනාවක් එක්ක ක්‍රීඩා කරනවා. සමහර කණ්ඩායම් එක්ක ඔබ මීට කලින් ක්‍රීඩා කරලා නැති වෙන්න පුළුවන්. ඒකෙන් අපිට අරමුණ තියාගන්න උදව් කරනවා”, ඉන්දු පාකිස්තාන තරගයට පෙර පැවති මාධ්‍ය හමුවේ දී ඉන්දීය නායක Virat Kohli පවසා සිටියා.

“ඒත් අපි ඉස්සරහට යද්දී අපිට තේරෙන දෙයක් තමයි අපිට යම් කාලයක් ක්‍රිකට් අහිමි වුනා. අපි ඒක යථා තත්ත්වයට ගේන්න කටයුතු කරනවා. ඒකෙදී අපිට ක්‍රීඩකයන් අහිමි වෙනවා නම් ලෝක ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිශාවට යනවා කියලා මම හිතන්නේ නැහැ.

අනාගතයේ දී අපිට ඒ ගැන යම් සමබරතාවයක් තියෙන්න ඕනේ. ක්‍රීඩකයන්ගෙන් මේ ගැන අදහස් ගන්න ඕනේ. ඔවුන් එක්ක කතා කරන්න ඕනේ. ජෛව ආරක්‍ෂිත වටපිටාවක් තුළ අපිට කියන්න බැහැ එක් එක් ක්‍රීඩකයා ඉන්න මානසික මට්ටම කොහොම එකක් ද කියලා. ක්‍රීඩකයන් 5ක් හෝ 6ක් සිනාසෙමින් සතුටින් ඉන්නවා දැක්කා කියලා අපිට කියන්න බැහැ සෙසු ක්‍රීඩකයන් 15ක් 16ක් ඒ විදියටම ඉන්නවා කියලා. මේ නිසා ක්‍රීඩකයන් එක්ක සන්නිවේදනය කරන එක ගොඩක් වැදගත්. අපි ඔවුන්ට අවස්ථාවක් දෙන්න ඕනේ ඔවුන්ගේ මනස නිදහස් කරගන්න. ඊට පස්සේ ඔවුන්ට නැවතත් ජෛව ආරක්‍ෂිත වටපිටාවට ඇවිල්ලා ක්‍රීඩා කරන්න පුළුවන්.”

විශේෂයෙන් ඉන්දීය කණ්ඩායමට පසුගිය මාස කීපය

ඉතාමත් කාර්‍යබහුල කාලයක් වී තිබුණා. ඉන්දියාව තුළ සහ විදෙස් රටවල් කීපයක දී ම ඔවුන් තරගාවලි සඳහා සහභාගී වී තිබුණා. 2020 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සැප්තැම්බර් 19 සිට නොවැම්බර් 10 දක්වා පැවති අතර ඉන්දීය කණ්ඩායම ඉන් අනතුරුව ඕස්ට්‍රේලියා සංචාරයක් සඳහා එක්වුනා. එයට ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග ඇතුළත් වූ අතර එම තරගාවලිය මාස තුනකට අධික කාලයක් පැවැත්වුනා.

ඉන් අනතුරුව ඉන්දියාව සහ එංගලන්තය අතර ටෙස්ට් තරගාවලියක් ඉන්දියාවේ දී පැවති අතර එය නිමා වුනේ මාර්තු 28 වැනිදායි.

ඉන් සති දෙකකට පසු එනම් අප්‍රේල් 9 වැනිදා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වූ අතර එය මැයි 2 වැනිදා අවලංගු කෙරුණා. ඉන් අනතුරුව ඉන්දීය කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සහභාගී වීමට එංගලන්තය බලා ගිය අතර එම තරගයෙන් අනතුරුව එංගලන්තය සමඟින් ටෙස්ට් තරගාවලියක් සඳහා ද සහභාගී වුනා.

එංගලන්ත ටෙස්ට් තරගාවලිය නිමා වීමෙන් අනතුරුව ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වූ අතර එය නිමාවු නේ ඔක්තෝබර් 15 වැනිදායි. එම තරගාවලිය නිමාවීමෙන් අනතුරුව ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වීමට ඉන්දීය කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටියා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය එළඹෙන නොවැම්බර් 14 වැනිදා අවසන් වන අතර ඉන්දීය කණ්ඩායම ඉන් අනතුරුව නවසීලන්තය සමඟින් විස්සයි විස්ස තරගාවලියක් සඳහා එක්වීමට සැලසුම් කර තිබෙනවා. එම තරගාවලිය ඉන්දියාවේ දී පැවැත්වෙන අතර එයට ටෙස්ට් තරගාවලියක් ද ඇතුළත් වනවා.

Virat Kohli මීට පෙර ද ක්‍රීඩකයන්ගේ මානසික ස්ථාවරත්වය පිළිබඳව අදහස් දක්වා තිබුණා. මෙම වසරේ මුල් භාගයේ දී ඔහු පවසා සිටියේ මෙම කාලය තුල මානසික සෞඛ්‍ය වඩාත් වැදගත් මාතෘකාවක් වී ඇති බවයි.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද (24) පාකිස්තානය සමඟින් පැවැත්වීමට නියමිතයි.

ESPNcricinfo ඇසුරිනි  

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<