ලකුණු නැති පසුබෑම ගැන Kohli කතා කරයි

2025

වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව තුළ ප්‍රබලතම ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන Virat Kohli මේ දිනවල යම් පසුබෑමකට ලක්ව සිටින බව බොහෝ දෙනා පිළිගන්නා කරුණක්.

හිටපු Royal Challengers Bangalore නායකයා වන Virat Kohli පසුගිය බ්‍රහස්පතින්දා Gujarat Titans කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ දී ප්‍රබල පිතිකරණයක නිරත වෙමින් ලකුණු 73ක් රැස් කිරීමට සමත් වුනා.

ලකුණු 169ක ඉලක්කයක් හඹා ගිය Royal Challengers Bangalore කණ්ඩායමට පිත්තෙන් වැඩිම දායකත්වයක් ලබා දීමට Virat Kohli එහි දී සමත් වුනා. Royal Challengers Bangalore තරගය ජයග්‍රහණය කළේ කඩුලු 8ක් ඉතිරිව තිබිය දීයි. කෙසේ වෙතත් Royal Challengers Bangalore කණ්ඩායමට අවසන් පූර්ව වටයේ ස්ථානයක් හිමි වේවි ද යන්න මෙතෙක් තහවුරු කර නැහැ.

කෙසේ වෙතත් පසුගිය වසරක පමණ කාලය Virat Kohli හට දුෂ්කර අවධියක් වී තිබෙනවා. මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවාරයේ ඔහු රැස් කරගෙන ඇත්තේ අර්ධ ශතක දෙකක් පමණයි. ඔහු දැනට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගවාරයේ දී ඉනිම් 14කට ක්‍රීඩා කර ඇති අතර එහි දී ලකුණු 309 ක් රැස් කරගෙන ඇත්තේ ලකුණු 23.77ක සාමාන්‍යයක් පවත්වා ගනිමින්.

Kohli දිගු කලක් පිත්තෙන් දුර්වල වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2014 වසරේ දී Virat Kohli එංගලන්ත සංචාරයේ දී දැඩි පසුබෑමකට මුහුණ දුන් අතර එහි දී ඔහු ටෙස්ට් තරග 5ක දී රැස් කරගෙන තිබුණේ ලකුණු 1, 8, 25, 0, 39, 28, 0, 7, 6 සහ 20 ලෙසයි.

එහි දී ඔහු ඉනිම් 10ක දී ලකුණු 13.50ක සාමාන්‍යයක් රඳවා ගෙන තිබුණා. 2014 වසරේ දී සහ මේ දිනවල ඔහු මුහුණදෙන පසුබෑම පිළිබඳව Star Sports හි සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් Virat Kohli විස්තරාත්මකව කතා කර තිබුණා. එහි දී ඔහු අවධාරණය කළේ ඔහු දැනට මුහුණදෙමින් සිටින පසුබෑම 2014 වසරට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් බවයි.

අවංකව කියනවා නම් මේ පසුබෑම අමතක කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එංගලන්තයේ දී සිදු වුන දේ සිදු වුනේ යම් රටාවක් නිසා. ඒක මට වැඩ කරන්න පුළුවන් සහ නිවැරදි කරගන්න හැකි දෙයක්. මේ දිනවල තියෙන පසුබෑම ඊට වඩා වෙනස්. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා කියලා පෙන්නන්න පුළුවන් දෙයක් නැහැ”, Virat Kohli පවසනවා.

දැන් තියෙන පසුබෑම එක්ක සමහර අවස්ථාවල මම හොඳින් පන්දුවට පහර දෙන බව සහ සමහර අවස්ථාවල දී මම නිවැරදි රිද්මයට ඇවිල්ලා කියලා මට දැනෙන්න පටන්ගන්නවා. වගේම මම හොඳින් පන්දුවට පහර දෙන බවත් මම දන්නවා. එංගලන්තයේ දී සිදු වුනේ ඒක නෙමෙයි.

මම හොඳින් පන්දුවට පහර දෙනවා කියලා මට දැනුනේ නැහැ. නිසා මම නැවත නැවතත් පුහුණුවෙලා මට ස්ථාවර වෙන්න පුළුවන්, එක් දෙයක් සඳහා වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවුනා.

දැන් තියෙන තත්වය ඒක නෙමෙයි. මගේ ක්‍රීඩාව තියෙන්නේ කොතැන දැයි මම දන්නවා. අසීරු තත්වයන්ට මුහුණ දෙන්න සහ විවිධ ආකාරයේ පන්දු යැවීමට ප්‍රතිරෝධය දැක්වීමට හැකියාවක් නැතිව ඔබට ඔබේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ මෙතරම් දුරක් එන්න බැහැ.”

Kohli තවදුරටත් කියා සිටියේ තමාට තමාගේ අඛණ්ඩ අරගලයෙන් පාඩම් ඉගෙන ගැනීමට අවශ්‍ය බවත්, ඔහුගේ ක්‍රීඩාව පිළිබඳව ඔහු හොඳින් දන්නා බවත් ය.

මේ දිනවල මම මුහුණ දෙන අභියෝගය මට මුහුණ දෙන්න පහසු අවධියක්. නමුත් මට මේක අමතක කරලා යන්න ඕනේ නැහැ. මට අවශ්‍ය වන්නේ එයින් ඉගෙන ගෙන ක්‍රීඩකයෙකු ලෙසත්, මනුෂ්‍යයෙකු ලෙසත් මා සතුව ඇති මූලික වටිනාකම් මොනවා ද යන්න තේරුම් ගන්න. මම මේ පසුබෑමෙන් එළියට එන විට මම දන්නවා මට කොතරම් ස්ථාවර වෙන්න පුළුවන් ද කියලා, Virat Kohli පවසනවා.

එක සාර්ථක ඉනිමකට පසු තව එකක් ක්‍රීඩා කරන්න පුළුවන් බව මටම තහවුරු කරගන්න ඕනේ. ලකුණු වාර්තා කරන්න පටන් ගත්තට පස්සේ ඒකෙන් මම කෙතරම් අභිප්‍රේරණය වේවි ද කියලා මම දන්නවා. ආපසු මම හිටපු තැනටම යන්න තල්ලුව මම තුළ තියෙන බව මම දන්නවා.

කණ්ඩායමට ක්‍රීඩා කිරීම, මගේ කණ්ඩායම ජයග්‍රහණය කරවීම තමයි මගේ මූලික අරමුණ. ඉතින් මේ දේවල් මාව ඉදිරියට ගෙන යනවා. මට ඇති පසුබෑම්වලට වඩා මාව ඉදිරියට ගෙන යන්න මගේ බලාපොරොත්තු ශක්තිමත්.”

සිදුවෙමින් පවතින දේ ගැන මම ඉතා හොඳින් දන්නවා. මම මාත් එක්කම සැහැල්ලුවෙන් ඉන්නවා. වගේම මම මිනිසකු ලෙස තව තවත් සමබරව සිටින බව ඉතා විශ්වාසයි.”

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<