“ඔය කියන අය මෙහෙ ෆිට්නස් හදන් ගිහිල්ලා ගහන්නේ ඉන්දියාවට” – දයාසිරි කියයි

2782
Dayasiri replied Malinga

ICC ශූරයන්ගේ කුසලාන තරගාවලියේ නිමාවත් සමඟින් ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් අතර පවතින මතභේදාත්මක තත්වයක් පිළිබඳ දිගින් දිගටම වාර්තා වන අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍යවරයා නැවතත් සිය චෝදනාව ක්‍රීඩකයෙකු වෙත එල්ල කළේය.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට යුධ හමුදා පුහුණුවක් වැනි පුහුණුවක් හෝ ලබාදීමට තමන් පසුබට නොවන බවට අමාත්‍යවරයා අදහස් පළකිරීමත් සමඟ අමාත්‍යවරයාට සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහය දක්වන නරඹන්නන් දෙපාර්ශවය අතරද වාද විවාද ඇතිවිය.

ක්‍රීඩා ඇමතිගේ “බැනුමේ පදනම”

“Catches win matches” (උඩපන්දු රැකගැනීමෙන් තරග ජය ලැබේ) යන ප්‍රකට ක්‍රිකට් කියමන අප අසා ඇත…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය විවේචනය කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් කරන ලද “උදර චෝදනාව” පිළිබඳව පිළිතුරු දුන් ලසිත් මාලිංග ඊයේ (22) මාධ්‍ය හමුවේ අදහස් පළකොට තිබුණේ “ක්‍රීඩාව ගැන හොඳින්ම දන්නේ ක්‍රීඩකයන් වන බැවින් පිටින් බලා චෝදනා නොකරන ලෙස”යි. එමෙන්ම “යුද්ධය අවසන්ව ඇති බැවින් යුධ හමුදා පුහුණුවක් තමන්ට අවශ්‍ය නොවන බව”යි.

ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ සවස් වරුවේ සහභාගී වූ මාධ්‍ය හමුවකදී නැවතත් මාධ්‍යවේදියෙකු විසින් මාලිංගගේ ප්‍රකාශය අමාත්‍යවරයාට සිහිගන්වමින් විමසා සිටියේ ඒ සම්බන්ධව කෙසේ පිළිතුරු ලබාදෙන්නේද යන්න යි.

“එක එක ක්‍රීඩකයන්ට උත්තර දෙන්න මම සූදානම් නැහැ. දැකපු දේ තමයි මම මේ කිව්වේ. ෆිට්නස් එක හොඳ නම් ඒ අයට යන්න පුළුවන්, නැත්නම් මම ෆිට්නස් එක පිළිබඳව අවසන් තීන්දුවක් අරන් තියෙනවා. හැම ක්‍රීඩකයෙක්ම ෆිට්නස් ටෙස්ට් එකට ඉන්න ඕන. ඒ ටෙස්ට් එක පාස් වුණොත් අනුමත කරනවා නැත්නම් අනුමත කරන්නේ නැහැ.” අමාත්‍යවරයා පිළිතුරු දීම ආරම්භ කළේ එසේයි.

යුද්ධය අවසන්: අපට හමුදා පුහුණුවක් අවශ්‍ය නෑ; මාලිංග

අයි. සී. සී ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩයේ අවසන්..

නමුත් සුපුරුදු පරිදි තත්වය උණුසුම් වූයේ ඉන් පසුවයි.

“කොච්චර දක්ෂ ක්‍රීඩකයෝ වුනත් කමක් නෑ. මොකද, ඒගොල්ලෝ මෙහෙ ෆිට්නස් හදන් ගිහින් ගහන්නේ ඉන්දියාවට. ඔය කියන සමහර කට්ටිය. ඒ නිසා ලංකාවට නෙමෙයි ඒගොල්ලෝ වැඩිපුර ගහලා තියෙන්නේ සල්ලි වලට. ඒ නිසා කරුණාකරලා ඇවිල්ලා ෆිට්නස් එක හදාගෙන ඉන්න කියන්න.”

ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතුරින් නොකඩවාම ඒ වරම හිමිකරගත්තේ ලසිත් මාලිංග ය. ඒ ඔහුගේ දක්ෂතා නිසා බැව්ද අපි හොඳින්ම දනිමු. ඒ අතර ඊයේ පැවති මීටර 20 ධාවන පුහුණු සැසිය ප්‍රථමයන් ලෙස නිමාකරන්නට සමත් වූයේද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන නුවන් කුලසේකර සහ ලසිත් මාලිංග යි.

එහෙත් දැන් පවතින තත්වය අනුව වාග් ප්‍රහාරයන් දෙපසට එල්ලවීම විනා ඵලදායී කටයුත්තක් සිදුවන්නේදැයි අප අපගෙන්ම ප්‍රශ්න කළ යුතුවේ.

ශූරයන්ගේ කුසලානය අවසන් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් නොඅවසන් ය. වඩාත්ම සාර්ථක සහ ඵලදායී ආකාරයෙන් එය ඉදිරියට යනු දැකීම ක්‍රීඩාලෝලී අපගේ එකම බලාපොරොත්තුවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට <<