රන්මිත් සහ චාමරගෙන් පෙරළිකාර සබඳතාවයක්

සිංගර් - වෙළඳසේවා සුපර් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

1613

29 වැනි සිංගර් – වෙළඳසේවා සුපර් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයක් අද (20) හේලීස් සහ HNB කණ්ඩායම් අතර කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. එම තරගයෙන් කඩුලු 5ක ජයක් ලබා ගැනීමට HNB සමත් වුනා.

තරගාවලියේ මූලික වටයේ පැවති තරගයේ දී ද HNB හමුවේ හේලීස් පරාජයට පත් වුනා. ඒ අනුව මේ අර්ධ අවසන් පූර්ව තරගය ජය ගත් HNB ක්‍රීඩකයින් අවසන් පූර්ව තරගයේ දී CDB ෆිනෑන්ස් ක්‍රීඩකයින් මුණගැසීමට නියමිතයි.

එසේම ඊයේ (19) පැවති අනෙක් අර්ධ අවසන් පූර්ව තරගයේ දී සම්පත් බැංකුව පරාජය කළ ජෝන් කීල්ස් අවසන් පූර්ව තරගයේ දී Mode ඉංජිනියර්න් මුණගැසීමට නියමිතයි.

මූලික වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙක දිනා ගත් CDB ෆිනෑන්ස් සහ Mode ඉංජිනියර්න් සෘජුවම අවසන් පූර්ව තරග වටය දක්වා සුදුසුකම් ලබා ගත්තා.

උදෑසන පැවති අයහපත් කාලගුණ තත්වය නිසා තරගයේ ආරම්භය ද තරමක් ප්‍රමාද වුනා. ඒ අනුව උදෑසන 11.10ට ආරම්භ වූ මේ තරගයේ එක් ඉනිමක් පන්දුවාර 45කට සීමා වුනු අතර කාසියේ දිනා ගත් HNB ක්‍රීඩකයින් පළමුව පන්දු රැකීමට තීරණය කළා.

හේලීස් පළමු කඩුලු 3 ලකුණු 23ක් තුල දවා ගැනීමට උස්මාන් ඉෂාක් සහ කෙමිර විජේනායක යන දකුණත් වේගපන්දු යවන්නන් දෙදෙනා සමත් වුනා. සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත සමඟ පිටියේ එක්වුණු විශාද් රන්දික පන්දු 77ක් තුල ලකුණු 47ක සබඳතාවයක් ගොඩනංවමින් හේලීස් ලකුණු සටහන සවිමත් කිරීමේ පළමු අඩිතාලම සකස් කළා.

4 පහර 4ක් සමඟ ලකුණු 42ක් ලබා ගත් චන්ද්‍රගුප්තගේ දැවී යාමත් සමඟ එම සබඳතාවය බිඳ වැටුණු අතර ඉන්පසුව ඔවුන්ගේ තවත් කඩුලු 5ක් ලකුණු 67ක් තුල දවා ගනිමින් ජවසම්පන්න ලෙස නැවතත් තරගයට අවතීර්ණ වීමට HNB ක්‍රීඩකයින් සමත් වුනා.

ඉනිමේ මැදපෙළ රැකගැනීමට වැඩි උත්සාහයක් දැරූ කඩුලු රකින පිතිකරු රන්දික එක් 4 පහරක් එල්ල කරමින් ලකුණු 48කට දැවී ගියා.

කෙසේ නමුත් 9 වැනි කඩුල්ල වෙනුවෙන් නැවතත් සුපිරි සබඳතාවයක් ගොඩනැංවූ කලන පෙරේරා සහ ලහිරු සමරකෝන් එක්ව පන්දු 47ක් තුල වේගවත් ලකුණු 57ක වේගවත් සබඳතාවයක් ගොඩනංවමින් HNB ක්‍රීඩකයින් බලාපොරොත්තු නොවුණු ආකාරයේ ප්‍රහාරයක් දියත් කළා.

එහි දී වේගපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක සමරකෝන් 4 පහර සහ 6 පහර 4 බැගින් එල්ල කරමින් පන්දු 27ක් තුල වේගවත් ලකුණු 49ක් ලබා ගත් නමුත් අවාසනාවන්ත ලෙස ඔහුට ඔහුගේ අර්ධ ශතකය ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. කලන ලකුණු 17*යි.

අවසානයේ දී හේලීස් කණ්ඩායම ගියවර ශූරතාවයේ අභිමානය යම් මට්ටමකට රැකගනිමින් නියමිත පන්දුවාර 45 තුල කඩුලු 9ක් දැවී ලකුණු 212ක් ලබා ගන්නට සමත් වුනා.

22 හැවිරිදි රන්මිත් ජයසේන සහ 42 හැවිරිදි චාමර සිල්වා එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 134* සබඳතාවයක් ගොඩනැංවූ නිසා හේලීස් පරාජය කරමින් HNB අවසන් පූර්ව තරග වටයට රැගෙන යාමට සමත් වීම කැපී පෙනුණා. පන්දු යැවීමේ දී විජේනායක නායක මාධව වර්ණපුර සහ ඉෂාක් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

පන්දුවාර 20කුත් එක් පන්දුවක් අවසානයේ ලකුණු 80කට HNB කඩුලු 5ක් බිඳ වැටී තිබුණු අවස්ථාවේ සිල්වා සමඟ එක්වුණු ජයසේන හේලීස් ක්‍රීඩකයින් මවිත කරමින් ගොඩනැංවූ සබඳතාවය සැබවින්ම ජයග්‍රාහී සබඳතාවයක් වුනා.

වයස යනු හුදෙක් ඉලක්කමක්ම පමණක් බව සනාථ කරමින් පිතිකරණයේ නිරත වුනු සිල්වා අංක 6 පිතිකරු ලෙස පන්දු 74ක් තුල නොදැවී ලකුණු 65*ක් (4 පහර 3ක් සහ එක් 6 පහරක්) ලබා ගත්තා. එය ඔහු මෙවර තරගාවලිය තුල ලබා ගත් දෙවැනි අර්ධ ශතකයයි.

අනෙක් අන්තයෙන් සිල්වා හට අනගි සහයක් ලබා දුන් ජයසේන 4 පහර 4ක් සහ 6 පහර 2ක් එල්ල කරමින් පන්දු 64ක් තුල නොදැවී ලකුණු 66*ක් ලබාගෙන දස්කම් දැක්වූවා. කසුන් අබේරත්න ලකුණු 56ක් ලබාගෙන ඔවුන්ගේ ආරම්භය සවිමත් කළා. පන්දු යැවීමේ දී චතුරංග ද සිල්වා සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු දෙක බැගින් දවා ගත්තා.

හේලීස් – 212/9 (45/45): ලහිරු සමරකෝන් 49, විශාද් රන්දික 48, රොන් චන්ද්‍රගුප්ත 42, කෙමිර විජේනායක 2/23, මාධව වර්ණපුර 2/36, උස්මාන් ඉෂාක් 2/38.

HNB – 214/5 (42/45): රන්මිත් ජයසේන 66*, චාමර සිල්වා 65*, කසුන් අබේරත්න 56, චතුරංග ද සිල්වා 2/25, ප්‍රභාත් ජයසූරිය 2/39.

HNB කණ්ඩායමට කඩුලු 5ක ජයක්

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට (21) පහත පිරිදි පැවැත්වීමට නියමිතයි.

  • CDB ෆිනෑන්ස් සහ HNB – තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී
  • Mode ඉංජිනියරින් සහ ජෝන් කීල්ස් – BRC ක්‍රීඩාංගනයේ දී

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<