ඉන්දීය ප්‍රබලයින් දෙදෙනෙකුට ආසියානු කුසලානය අවිනිශ්චිතයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

1357

මෙම වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ඉන්දීය කණ්ඩායමට ප්‍රබල ක්‍රීඩකයින් වන KL Rahul සහ Shreyas Iyer ඇතුළත් කර නොගැනීමට ඉඩක් ඇතයි වාර්තා වෙනවා.

ඔවුන් දෙදෙනා ආබාධවලින් සම්පූර්ණ සුවය ලබා නොමැති වීම නිසා මෙම තීරණය ගෙන ඇති බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන අතර ඉන්දීය සංචිතය මේ සතියේ දී නම් කිරීමට නියමිතයි.

පසුගිය දින කිහිපයේ ඔවුන් දෙදෙනා නැවත පුහුණුවීම් ආරම්භ කර ශාරීරික යෝග්‍යතාව පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පල කර තිබූ නමුත් ඔවුන් තවමත් ක්‍රීඩා කිරීමට අවශ්‍ය පූර්ණ සුවය ලබා නොමැති බව වාර්තා වෙනවා.

ලෝක කුසලානය සඳහා ඉන්දීය කණ්ඩායමට ඔවුන් දෙදෙනා නම් කිරීමට විශාල ඉඩක් ඇති නිසා පූර්ණ සුවය ලබා ගැනීම වැදගත් වන අතර බොහෝ විට ඔවුන් සැප්තැම්බර් මාසයේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වීමට නියමිත තරගාවලියේ දී නැවත කණ්ඩායමට පැමිණීමට නියමිතව තිබෙනවා.

මොවුන් දෙදෙනා නොමැති වීමත් සමඟ ආසියානු කුසලාන සංචිතය සඳහා නම් කරන ඉන්දීය සංචිතයට මේ දිනවල පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගෙන් කිහිප දෙනෙක් ඇතුළත් කිරීමට ඉඩ ඇති බව ද වාර්තා වෙනවා.

ආසියානු කුසලානය ක්‍රීඩා කරන ඉන්දීය සංචිතයේ පන්දු යවන්නන්ගේ වෙනසක් සිදු වීමට ඉඩ ඇති අතර බොහෝ විට Mohammed Siraj, Mohammed Shami සහ Jasprit Bumrah නැවතත් එක්දින සංචිතයට කැඳවන බව ද මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

දීර්ඝ කාලීන ආබාධයකින් පසුව නැවතත් සංචිතයට එක් වූ Prasidh Krishna හට ආසියානු කුසලානය අහිමි වන බව වාර්තා වන අතර කඩුලු රකින ක්‍රීඩක Ishan Kishan ආසියානු කුසලානයේ මෙන්ම ලෝක කුසලානයට ද කැඳවීමට තීරණය කර තිබෙනවා.

Ishan සහ ඉන්දීය නායක Rohit Sharma නැවත සංචිතයට කැඳවීම සමඟ ආරම්භක පිතිකරුවන් පිළිබඳ තීරණයක් ගැනීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ට සිදුව තිබෙන අතර බොහෝ විට ඔවුන් දෙදෙනා ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කර Shubman Gill මැදපෙළ පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කිරීමට ඉඩක් තිබෙනවා.

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සියලු තරග තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<