සීතල දෙසැම්බරය ප්‍රථමයෙන් උණුසුම් කරන්නේ කවුරුන් ද?

352

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට (15) ආරම්භ වන අතර එහි පළමු ටෙස්ට් තරගය වෙලින්ග්ටන් හි බේසින් රිසර්ව් ක්‍රිකට් පිටියේ දී ආරම්භ වෙනු ඇත. මේ පළමු ටෙස්ට් තරගයට පෙර ThePapare.com කරනු ලබන පෙර විමසුමයි.

නවසීලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි

දෙසැම්බර් මස 15 වැනිදා සිට නවසීලන්තයේ දී ආරම්භ වීමට නියමිත…

මුහුණට මුහුණ

1982 වසරේ සිට පැවත එන නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 32ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 13ක ජය නවසීලන්ත කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 8ක් ජයග්‍රහණය කර ඇත. තවද තවත් ටෙස්ට් තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත. එසේම බංග්ලාදේශය තුළ දී ශ්‍රී ලංකාවට එරෙහිව එකඳු ටෙස්ට් තරගයක් හෝ ජය ගැනීමට බංග්ලාදේශය සමත්ව නැත.

ප්‍රහාරාත්මක තරු

දිමුත් කරුණාරත්න

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ආරම්භක පිතිකරණ භූමිකාවට ජීවය ලබා දෙන මේ වමත් පිතිකරුවා ජාත්‍යන්තර ටෙස්ට් තරග 54ක් තුළ ලකුණු 3798ක් ලබාගෙන ඇත්තේ, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 37.60ක් වැනි මට්ටමක පසුවෙමිනි.

කරුණාරත්නගේ ඉනිම මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට වැදගත්ම වන ඉනිමකි. මෙවර ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ උපනායකත්වය දරණ ඔහු ශතක 8ක් සහ අර්ධ ශතක 20ක් ලබාගෙන ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. එසේම නවසීලන්ත කණ්ඩායමට එදිරිව 44.11ක සාමාන්‍යයක් රඳවා ගෙන ලකුණු ලබාගෙන ඇත්තේ තරග 5කට පමණක් සහභාගී වෙමිනි. ඒ අතරට එක් ශතකයක් හා අර්ධ ශතක දෙකක් ඇතුළත්ය.


කේන් විලියම්සන්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන මේ දකුණත් පිතිකරුවා මැදපෙළ සවිමත් කරවීමට හැකි සුවිශේෂී පිතිකරුවෙකි. ජාත්‍යන්තර ටෙස්ට් තරග 68ක් තුළ ඉනිම 122ක දී ලකුණු 5724ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 52.56ක් වැනි හොඳ මට්ටමක පසුවෙමිනි. විලියම්සන් ටෙස්ට් ශතක 19කින් සහ අර්ධ ශතක 28කින් ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබාගත් වැඩිම ලකුණ (242*) ලබාගෙන තිබෙන මොහු ටෙස්ට් තරග 6ක දී ලකුණු 827ක් ලබාගෙන තිබෙන්නේ 91.88ක පමණ සාර්ථක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.


ඇන්ජලෝ මැතිව්ස්

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවෙක් ලෙස කලක පටන් තම වගකීම් නිසියාකාරව ඉටු කළ මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 78කට සිය දායකත්වය දක්වා ඇති අතර ලකුණු 5296ක් ලබාගෙන ඇත්තේ ලකුණු 43.05ක පමණ මට්ටමේ හොඳ ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙනයි.

මැතිව්ස්ගේ එම ලකුණු අතරට ශතක 8ක් හා අර්ධ ශතක 32ක් ඇතුළත්ය. එසේම ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරු වීමට හැකියාවත් ඇති සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස ද මොහුව හැඳින්වීමට හැකිය. තවද නවසීලන්තයට එදිරිව ලකුණු 42කට ආසන්න සාමාන්‍යයක් රඳවා ගැනීමට මැතිව්ස්ට හැකිව ඇත.


රොස් ටේලර්

නවසීලන්ත කණ්ඩායම සතුව සිටින තවත් අත්දැකීම් බහුල හා පරිණත ක්‍රීඩකයෙකු ලෙසින් මැදපෙළ සවිමත් කරන ටේලර්, ජාත්‍යන්තර ටෙස්ට් තරග 88ක දී ලකුණු 6406ක් ලබාගෙන ඇත්තේ ලකුණු 46.08ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. ටේලර්ගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 29ක් හා ශතක 17ක් ඇතුළත්ව ඇත. දකුණතින් පිත්ත හසුරුවන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකි අතර ශ්‍රී ලංකාවට එදිරිව ලකුණු 36කට ආසන්න දල ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙන තිබේ.


ප්‍රබල පන්දු යවන්නන්

සුරංග ලක්මාල්

දකුණතින් වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්ගේ පන්දු හමුවේ නිමා වූ ටෙස්ට් තරගාවලි කිහිපයේ දී පිතිකරුවන් වුවද තරමක දෙගිඩියාවකින් යුතුව පන්දුවට පහර දුන්නේය. ඒ ඔහුගේ දක්ෂ පන්දු යැවීමේ විලාසය නිසාවෙනි. ලක්මාල් ජාත්‍යන්තර ටෙස්ට් තරග 52ක දී කඩුලු 121ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දල වශයෙන් ලකුණු 3.18ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත. නවසීලන්තයට එදිරිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 44.30කි.


ටීම් සවුතී

නවසීලන්ත පන්දු බල ඇණිය සවිමත් කරන සවුති වයස අවුරුදු 30ක් පමණ වන අත්දැකීම් බහුල ජවසම්පන්න ක්‍රීඩකයෙකි. මොහු ටෙස්ට් තරග 61ක දී කඩුලු 224ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 30.70ක් ලෙස දැක්වේ. සවුති එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 3.04ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත. දකුණතින් වේගපන්දු යවන මේ ක්‍රීඩකයාගේ එක් ඉනිමක හොඳම ටෙස්ට් පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ 7/64කි. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් පැවති ටෙස්ට් තරග 6කදී කඩුලු 33ක් සවුති විසින් දවාගෙන ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට නව ක්‍රිකට් ක්‍රීඩාංගණයක්

එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස පරාජය වීම…..


නුවන් ප්‍රදීප්

32 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන ප්‍රදීප් ජාත්‍යන්තර ටෙස්ට් තරග 28ක දී ඉනිම් 53ක් තුල කඩුලු 70ක් දවා ගැනීමට සමත් වී ඇත. ඉන් කඩුලු 13ක්ම නවසීලන්තයට එරෙහිව ලබාගත් කඩුලු වේ. නවසීලන්තයට එරෙහිව 32.76ක් වැනි මට්ටමේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් සහිත ප්‍රදීප් පන්දුව පහසුවෙන්ම දෝලනය කිරීමට උපන් හපනෙකි. එසේම නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරග 3කට සිය දායකත්වය දැක්වීමට ප්‍රදීප්ට හැකිව තිබේ.


ට්‍රෙන්ට් බෝල්ට්

උස අඩි 5 අඟල් 11ක් වන වමතින් වේගපන්දු යවන්න තරුවක් වන බෝල්ට්, ජාත්‍යන්තර ටෙස්ට් තරග 57ක දී කඩුලු 222ක් දවා ගැනීමට සමත් වී ඇත. ලකුණු 32කට කඩුලු 6ක් දවා ගැනීම එක් ඉනිමක කණ්ඩායමකට එදිරිව යැවූ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ඇති බෝල්ට් එක් පන්දුවාරයකට දල වශයෙන්  ලකුණු 2.97ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත. එසේම මොහු ශ්‍රී ලංකාවට එදිරිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 22.38ක් වැනි ඉතාමත් හොඳ මට්ටමක සටහන් කරගෙන ඇත.

ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සටන සඳහා නවසීලන්ත බලඇණිය නම් කරයි

ලබන දෙසැම්බර් 15 වන දා ආරම්භ වීමට නියමිත නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට්…


වෙලින්ග්ටන් තණතීරුව පිටිය හා කාලගුණ තත්ත්වය

ප්‍රේක්ෂකයින් 11,600කට පමණ තරග නැරඹීමට හැකි ලෙස මෙම ක්‍රීඩා පිටිය සැලසුම් කර ඇත. 2017 වර්ෂයේ දෙසැම්බර් මාසයට පසුව මෙම පිටියේ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. මේ ක්‍රිකට් පිටියේ තණතීරු මත ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරග 5ක් පවත්වා තිබෙන අතර ඉන් එක තරගයක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇත්තේ ටෙස්ට් තරග 3ක් පරාජයට පත්වෙමිනි.

යම්හෙයකින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.

තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණ තත්ත්වය පිරික්සා බැලූ විට, පළමු ටෙස්ට් තරගය පුරාවටම පැහැදිලි අහසක් දිස්වනු ඇති නමුත් පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයට හා අවසන් දිනයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීමට යම් ඉඩකඩක් ඇත. පැයට කිලෝමීටර් 13 – 18 දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර, 14°C – 22°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.

වර්තමාන තත්ත්වය

නවසීලන්ත කණ්ඩායම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර නවසීලන්තය දැනට (දෙසැම්බර් 12) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 4 වන ස්ථානයේ පසුවේ. ඔවුන් ලකුණු 2834ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 105ක් ලබා ගෙනයි.  ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ 6 වන ස්ථානයේ පසුවන්නේ ලකුණු 3888ක් හා ප්‍රසාද ලකුණු 93ක් ලබා ගෙනයි.

අවසන් නිගමනය

තරග ඉතිහාසය පිරික්සා බලන කළ සත්කාරක නවසීලන්ත කණ්ඩායමට මෙම තරගයේ වැඩි වාසිය තිබුනත්, තරගය තුළ අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වාගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු අවිනිශ්චිතතාවයම මත රැඳුණු ක්‍රීඩාවක් වන නිසාවෙනි.

පළමු ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකාව – දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න (උපනායක), දනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප්.

නවසීලන්තය – කේන් විලියම්සන් (නායක), ටොම් ලේතම්, ජීට් රාවල්, රොස් ටේලර්, හෙන්රි නිකෝල්ස්, බීජේ වොට්ලින්ග්, කොලින් ඩී ග්‍රන්ඩ්හෝම්, ටිම් සවුති, අජාස් පටෙල්, ට්‍රෙන්ට් බෝලට්, මැට් හෙන්රි

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය 2018/19 – ටෙස්ට් තරග කාලසටහන

  • පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය – දෙසැම්බර් 15 – 19 – වෙලින්ග්ටන් හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 3.30ට)
  • දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය – දෙසැම්බර් 26 – 30 – ක්‍රයිස්චර්ච් හිදී (ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 3.30)

තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<