දිළිඳුකම පරදා ලොව දිනූ ඉන්දියාවේ රන් කෙල්ල

575

මේ වන විට සමස්ත මලල ක්‍රීඩා ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත්ව සිටින තරුණ ක්‍රීඩිකාවක් වන ඉන්දියාවේ Hima Das මේ දක්වා පැමිණ ඇති ගමන්මග ක්‍රීඩා ලොව ජයගැනීමට සිහින මවන ඕනෑම යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවකට ඉතා වටිනා ආදර්ශයකි.

“මම මලල ක්‍රීඩා පටන් ගත්ත කාලේ සපත්තු මොනවත්ම නැතුව නිකන්ම තමයි දිව්වේ. නමුත් මගේ පළවෙනි ජාතික තරගාවලියේ දී මගේ තාත්තා ‘spikes’ තියෙන සපත්තු දෙකක් මට ගෙනත් දුන්නා.

ඒක දුවද්දී දාන සාමාන්‍ය සපත්තු දෙකක් විතරයි. ඒ නිසා මම ඒකේ මගේ අතින්ම ‘Adidas’ කියලා ලියා ගත්තා. අපි කවුරුත් දන්නේ නැහැ අපේ ඉරණම ඉස්සරහට කොහොම වෙයි ද කියලා. ඉස්සර එහෙම ඉඳපු මගේ නමින්ම අද Adidas සමාගම සපත්තු නිෂ්පාදනය කරනවා.”

පසුගිය දිනෙක ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක Suresh Raina සමඟ පැවති Instagram සජීවී හමුවකට එක්වෙමින් ඇය මේ දක්වා පැමිණ ඇති ගමන්මග පිළිබඳව Hima සිය අදහස් දැක්වූයේ එලෙසය. 

ඒ අනුව දැඩි දරිද්‍රතාවය ඇතුළු අපහසුතා රැසක් මධ්‍යයේ මලල ක්‍රීඩාවට පිවිස ජාත්‍යන්තර මලල ක්‍රීඩා ඉසව්වක දී රන් පදක්කමක් දිනා ගත් ඉතිහාසයේ පළමු ඉන්දීය ක්‍රීඩිකාව වීමත්, ඉන් අනතුරුව සති 3ක් වැනි කෙටි කාලයක් තුළ ජාත්‍යන්තර තරගාවලිවල දී රන් පදක්කම් 5ක් ජයග්‍රහණය කිරීම දක්වාත් ඇය පැමිණ ඇති ගමන්ගම රෝස මල් යහනා ඇතිර තිබූ එකක් නොවන බව ඇගේ ජීවන කතාව කියවන ඕනෑම අයෙකුට පැහැදිලි වනු ඇත. 

නමුත් කෙතරම් දුක් කම්කටොළු ඇතත් දැඩි අධිෂ්ඨානය, ධෛර්යය, කැපවීම හා නොපසුබස්නා උත්සාහය තුළින් තම ජීවිතයට ඕනෑම ජයග්‍රහණයක් ලබා ගත හැකි බව මෙන්ම, තමන් සතු ඕනෑම සිහිනයක් සැබෑ කර ගත හැකි බව ද ඇය මුළු ලොවටම මේ වන විට පසක් කර ඇත. 

ටෝකියෝ ඔලිම්පික් ජය ගන්න සිහින දකින පඬුවස්නුවර තරුව

සිය විශිෂ්ට දක්‍ෂතා හමුවේ ‘The Golden Girl’ සහ ‘Dhing Express’ වැනි අන්වර්ථ නාමවලින් හැඳින්වෙන Hima Das 2000 වසරේ දී ඉන්දියාවේ Assam ප්‍රාන්තයේ Dhing නමැති ග්‍රාමයේ උපත ලබන්නේ ගොවිතැන් කටයුතු සිය ජීවිකාව කර ගත් දිළිඳු පවුලකට දාවයි. 

කුඩා කළ සිට දැඩි කඩිසර බවක් පෙන්නුම් කළ ඇය එහි දී පළමුව ඇලුම් කරන්නේ පාපන්දු ක්‍රීඩාවට වන අතර කෙදිනක හෝ පාපන්දු ක්‍රීඩිකාවක් වීමට ඇයට දැඩි ආශාවක් ද විය. ඒ අනුව ඇය ගමේ සිටි අනෙක් ළමුන් සමඟ නිතරම පාපන්දු ක්‍රීඩාවේ නිරත වන්නට වුවත් පාපන්දු ක්‍රීඩා කිරීමේ දී ඇය දුවන වේගය දුටු ඇගේ ශාරීරික අධ්‍යාපන ගුරුවරිය ඇයට මලල ක්‍රීඩාවේ නිරත වන ලෙසට උපදෙස් ලබා දෙන්නට විය. 

එම උපදෙස් මත මලල ක්‍රීඩා ආරම්භ කරන Hima කෙමෙන් කෙමෙන් එහි දී සුවිශේෂී දස්කම් දක්වන්නට විය. එහි දී ඇගේ මලල ක්‍රීඩා දිවියේ හැරවුම් ලක්‍ෂය සනිටුහන් වන්නේ 2016 වසරේ අන්තර් දිස්ත්‍රික් තරගාවලියක දී ඇයගේ වේගය සහ දක්‍ෂතාවන් Nipon Das නමැති පුහුණුකරුගේ ඇස ගැටීමත් සමඟයි. 

Hima Das කුඩා අවධියේ සිය පවුලේ සාමාජිකයින් සමඟ

ඉතා බාල තත්වයක තිබූ ‘spikes’ සපත්තු යුගලයකින් යුතුව වුවද ඇය ඉතා විශිෂ්ට දස්කම් දක්වමින් එහි මීටර 100 හා මීටර 200 ඉසව් ද්විත්වයේම රන් පදක්කම් දිනා ගනු ලැබුවේ Nipon ද ඇතුළුව රැස්ව සිටි සැවොම පුදුමයට පත්කරමිනි. 

අනතුරුව ඇය එහි ප්‍රාන්ත තරගාවලිය සඳහා ද සහභාගී වූ අතර එහි දී කිසිදු පුහුණුවකින් තොරව ඇය මීටර 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත් විය. මෙම දක්‍ෂතා හමුවේ Himaව ඉදිරියේ දී ප්‍රබල මලල ක්‍රීඩිකාවක් බවට දියුණු කළ හැකි බව තේරුම්ගත් Nipon විසින් ඇයව තවදුරටත් හොඳින් පුහුණු කිරීම උදෙසා Guwahati නගරය වෙත රැගෙන යන්නට ඇගේ පියාගේ අවසරය ලබා ගන්නට සමත් විය. ඒ අනුව Himaගේ මීළඟ නැවතුම්පල වන්නේ එම නගරයේ Sarusajai ක්‍රීඩා සංකීර්ණයයි. 

එහි දී ඇයගේ නවාතැන් පහසුකම් සඳහා වැය වන සම්පූර්ණ වියදම Nipon විසින් දරනු ලැබූ අතර එහි ‘State Academy’ය බොක්සිං සහ පාපන්දු ක්‍රීඩාවන් සඳහාම පමණක් වෙන්වී තිබුනත්, Himaව එම ඇකඩමිය තුළට ඇතුළත් කරගන්නා ලෙසට එහි නිලධාරීන් එකඟ කරගන්නට ද අනතුරුව ඔහු සමත් විය. අනතුරුව ඇය එහි දී ප්‍රදර්ශනය කරනු ලබන විශිෂ්ට දස්කම් හරහා මවිතයට පත්වන එම නිලධාරීන් ඇයව එම ඇකඩමියට ඇතුළත් කරගැනීම සඳහා ඔවුන්ගේ අවසාන අවසරය ලබා දෙනු ලැබීය.  

එහි දී පුහුණුවීම් කටයුතු ආරම්භ කරන විට ඇය මීටර 100 හා මීටර 200 ඉසව් ද්විත්වයේ දස්කම් දක්වා තිබුනත්, ඉසව්වේ අවසාන භාගය ඉතා වේගයෙන් දිවීමට ඇය දැක්වූ සුවිශේෂී හැකියාව සැලකිල්ලට ගනිමින් Nipon ඇයට උපදෙස් ලබා දී සිටින්නේ එතැන් පටන් මීටර 400 ධාවන ඉසව්ව වෙත ද යොමුවන ලෙසටයි. 

ඒ අනුව මීටර 400 ඉසව්වේ පළමු මීටර 300ක දුර තරමක් සෙමෙන් ධාවනයේ නියැලී අනතුරුව එහි අවසාන මීටර 100ක දුර තමාට හැකි උපරිම වේගයෙන් දිවීමට ඇය එහි දී පුහුණුවක් ලබන්නට විය. 

අනතුරුව 2018 ඕස්ට්‍රේලියාවේ Gold Coast හිදී පැවති 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර 400 ඉසව්ව සඳහා තරග කරන ඇය එහි අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගනු ලැබුවත් එහි දී අවාසනාවන්ත ලෙස ආබාධයකට ලක්වීමත් සමඟ ඇයට එම වටය අවසන් කරන්නට සිදු වන්නේ තත්පර 51.32ක කාලයක් වාර්තා කරගනිමින් 6 වැනි ස්ථානයේ රැඳෙමිනි. 

කෙසේ නමුත් ඇය එහි දී වාර්තා කර ගත් එම කාලය එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් Botswanaහි Amantle Montsho වාර්තා කරගත් කාලයට තත්පර 1.17ක් පමණක් පසුපසින් තිබීම මෙහි දී සුබවාදී ලකුණක් වන්නට විය. තවදුරටත් ඇය එහි මීටර 400×4 කාන්තා සහය දිවීමේ ඉසව්ව සඳහා සහභාගී වූ ඉන්දීය කණ්ඩායම ද නියෝජනය කරනු ලැබීය. 

“මා පැමිණියේ තරගය අවසන් කිරීමටයි” – ජෝන් අක්වාරි

එම පරාජයෙන් පසුබෑමට ලක්නොවන ඇය අනතුරුව එම වසරේම ජූලි මාසයේ දී ෆින්ලන්තයේ Tampere නුවර පැවති වයස අවුරුදු 20න් පහළ IAAF ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් මීටර 400 ඉසව්ව තත්පර 51.46ක කාලයක් වාර්තා කරගනිමින් අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගන්නේ සමස්ත මලල ක්‍රීඩා ලෝකයේම අවධානය තමන් වෙත යොමුකර ගනිමිනි. මේත් සමඟම ඇය ජාත්‍යන්තර මලල ක්‍රීඩා උළෙලක රන් පදක්කමක් ජයග්‍රහණය කළ පළමු ඉන්දීය ක්‍රීඩිකාව ලෙස ද ඉතිහාසයට එක්වීම මෙහි දී කැපී පෙනෙන්නට විය. 

Hima වයස අවුරුදු 20න් පහළ IAAF ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 රන් පදක්කම දිනා ගනිමින්’

පසුව ඇය එම වසරේම ඉන්දුනීසියාවේ දී පැවති ආසියානු තරගාවලියේ මීටර 400 ධාවන අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නට සමත් වූ අතර එහි දී තත්පර 50.79ක කාලයක් වාර්තා කරගනිමින් ඇය රිදී පදක්කමට හිමිකම් කියන්නේ එම ඉසව්වේ ඉන්දීය ජාතික වාර්තාව ද අලුත් කරමිනි. 

තවදුරටත් එහි මීටර 400×4 කාන්තා සහය දිවීමේ ඉසව්ව සඳහා සහභාගී වූ ඉන්දීය කණ්ඩායම ද නියෝජනය කළ ඇය එම ඉසව්වේ ද රිදී පදක්කම දිනා ගන්නට සමත් විය. කෙසේ නමුත් එහි දී ඇයට වැරදි ආරම්භයක් හේතු කොටගෙන මීටර 200 ධාවන ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගන්නට හැකියාවක් ලැබුණේ නැත. 

Hima 2018 ආසියානු තරගාවලියේ මීටර 400 රන් පදක්කම ජයග්‍රහණය කරමින්

මෙම දක්‍ෂතා අගයමින් එම වසරේ දී ම ඇයට ඉන්දීය රජය විසින් ‘Arjuna’ සම්මානය පිරිනැමීමට කටයුතු කෙරුණු අතර තවදුරටත් ඇයව UNICEF India හි ඉතිහාසයේ පළමු යොවුන් සන්නාම තානාපති ලෙස ද පත්කිරීමට කටයුතු කෙරිණ. 

2018 වසරේ දී දැක්වූ දක්‍ෂතාවන් 2019 වසරට ද ඒ ආකාරයටම රැගෙන ආ ඇය ජූලි මස 02 වැනි දින පෝලන්තයේ පැවති ‘Poznan Athletics Grand Pix’ තරගාවලියේ මීටර 200 ධාවන ඉසව්වට සහභාගී වෙමින් තත්පර 23.65ක කාලයක් වාර්තා කරගනිමින් එහි රන් පදක්කමත්, දින 5කට පසුව එරටම පැවති ‘Kutno’ මලල ක්‍රීඩා තරගාවලියේ දී එම ඉසව්වේම තත්පර 23.97ක කාලයක් වාර්තා කරගනිමින් එහි රන් පදක්කමත් දිනා ගන්නට සමත් විය. 

ඉන් නොනැවතුණු ඇය අනතුරුව එම මාසයේ දී ම චෙක් ජනරජයේ පැවති ‘Kaldno’ සහ ‘Tabor’ මලල ක්‍රීඩා තරගාවලිවලට එක්වෙමින් එම ඉසව්වේම පිළිවෙළින් තත්පර 23.43ක සහ තත්පර 23.25ක කාලයක් වාර්තා කරගනිමින් සිය තෙවැනි හා සිව්වැනි රන් පදක්කම්වලට ද හිමිකම් කියනු ලැබීය. 

අවමානයේ අළු මතින් නැගී සිටි ඇමරිකානුවා

අනතුරුව එරටම Nove Mesto නගරයේ දී පැවති තරගාවලියක දී මීටර 400 ඉසව්වෙන් තරග කළ ඇය තත්පර 52.09ක කාලයක් වාර්තා කරගනිමින් එහි ද රන් පදක්කම ජයග්‍රහණය කරනු ලබන්නේ දින 19ක් වැනි කෙටි කාලයක් තුළ අඛණ්ඩව රන් පදක්කම් 5කට හිමිකම් කියමින් ඉන්දියාවේ නාමය ලොව ඉහළින්ම රඳවමිනි. 

එම ජයග්‍රහණවලට අමතරව ඇය පසුගිය වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවල පැවැත්වූ IAAF ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වීමට නියමිතව සිටියත්, ඊට පෙර ඇතිවූ කොන්දේ ආබාධයක් හේතුවෙන් ඇයට එම තරගාවලියට එක්වීමට හැකියාවක් ලැබුණේ නැත. 

අනතුරුව එළඹි දෙසැම්බර් සහ මෙම වසරේ ජනවාරි මාසයේ දී උණ රෝගයක් වැළඳීම හේතුවෙන් සති 3කට අධික කාලයක් පුරාවට ඇයට පුහුණුවීම් කටයුතු සඳහා එක්වීමට අවස්ථාවක් නොලැබීමත් සමඟ ඇයගේ වේගය ද යම්තාක් දුරකට අඩාල වන්නට විය. 

Hima තරගයක් අතරතුර

කෙසේ නමුත් ‘Coronavirus’ වසංගත තත්වයත් සමඟ මාස කිහිපයක්ම ලොව රටවල් රැසක කටයුතු ඇණහිටීමත් සමඟ ඉන්දියාවේ ද රට පුරා කටයුතු නවතා දැමීම හරහා ඇය නැවතත් සිය සෞඛ්‍යය සාමාන්‍ය තත්වයට හරවා ගනිමින් මේ වන විට සිය සුපුරුදු දක්‍ෂතා අතරට පැමිණීමට සමත්ව ඇත.

“අපිට ක්‍රීඩාංගණයට යන්න අවසර නැති නිසා මම මගේ කාමරයේ අවශ්‍ය පුහුණුවීම් කටයුතු සිදු කරනවා. අපිට මීටර 30-40ක් විතර දිග තණපිටියක් තියෙනවා. මම පුහුණුවීම් වගේම ව්‍යායාම කටයුතුවලටත් ඒක යොදා ගන්නවා. 

ඒ වගේම මම ‘yoga’ වගේම මනස සැහැල්ලුවෙන් පවත්වා ගැනීමේ ව්‍යායාමත් සිදු කරනවා. මගේ ආහාර පුරුදු පවා මම වෙනස් කළා. මම දැන් මස් මාංශ කන එක නවත්තලා පලතුරු ආහාරයට ගැනීම වගේම වතුර පානය කිරීමත් ඉහළ නැංවුවා,” ඇය මෙම කාලය තුළ ඇගේ දින චර්යාව පිළිබඳව අදහස් දක්වමින් පැවසීය. 

ඒ අනුව සිය මලල ක්‍රීඩා දිවිය ආරම්භ කරන විට ධාවනයේ යෙදීම සඳහා සාමාන්‍ය තත්වයේ හෝ ‘spikes’ සපත්තු යුගලක් මිල දී ගැනීමට වත්කමක් නොමැතිව සපත්තු නොමැතිව ධාවනයේ යෙදුණු Hima මේ වන විට ලොව ප්‍රමුඛ පෙළේ පාවහන් සන්නාමයක් වන Adidas සමාගම සමඟ ගිවිසුමකට එළඹ ඇති අතර ඒ අනුව ඇයට අනුග්‍රාහකත්වය දක්වන ඔවුන් දකුණු සපත්තුවේ ‘Hima Das’ නාමය ද වම් සපත්තුවේ ‘Creating History’ යන පාඨය ද සහිතව විශේෂ සපත්තු යුගල ඇය වෙනුවෙන්ම නිෂ්පාදනය කරනු ලබයි. 

Hima වෙනුවෙන් ම Adidas සමාගම නිෂ්පාදනය කරනු ලබන සපත්තු

මලල ක්‍රීඩාවට පිවිසෙන විට ඊට අවශ්‍ය මූලිකම පහසුකම් පවා නොතිබීමත් සමඟ ඇය මුහුණ දුන් අභියෝග සහ අපහසුතාවන් හමුවේ ඉන් ඉවත්ව සිය සිහින පසෙකලා සාමාන්‍ය දිවිපෙවතක් ගතකිරීම ඇයට වඩාත් පහසු කටයුත්තක්ව තිබුණි. 

එවන් අවස්ථාවක දී ඕනෑම අයෙකුට ලබා ගත හැකි පහසුම තීරණය ද එය විය හැකිය. මන්ද යත් එවන් අපහසුතාවන් හමුවේ ඉදිරියට යෑම ඉතා අපහසු කටයුත්තක් වන බැවිනි. නමුත් එහි දී පහසු තීරණයෙන් සෑහීමකට පත්වී ඒ කෙරෙහි යොමු නොවෙමින් ඇය තීරණය කරනු ලැබුවේ කුමන ආකාරයේ බාධක කම්කටොළු තමන් ඉදිරියේ තිබුනත් උත්සාහය සහ කැපවීම තුළින් ඒ සියල්ලම පරයා කෙදිනක හෝ සිහිනය සැබෑ කරගැනීමටයි. 

ඒ අනුව අද වන විට ඇය එම සිහින සැබෑ කරගෙන මුළු ලොවම හඳුනන මලල ක්‍රීඩිකාවක් බවට පත්ව ඇති අතර එළඹෙන ඔලිම්පික් තරගාවලියට ද ඉදිරියේ දී සිය සුදුසුකම තහවුරු කරගනිමින් එහි දී ද සිය ඉසව් හරහා ඉන්දියාවට ගෞරවයක් රැගෙන ඒමට ඇය සිය උපරිම උත්සාහය දරනු ඇති බව නොඅනුමාන ය. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<