දිලීප්ගේ ප්‍රහාරයෙන් Ratnam පරදා Renownට විශිෂ්ට ජයක්

Super League Pre-Season 2021

232
Up Country Lions FC VS Sea Hawks FC, Renown SC VS Ratnam SC

Super League 2021 පාපන්දු තරගාවලියේ පූර්ව තරග කාලසීමාවේ අවසන් තරග ලෙස අද (24) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති තරගවලින් Sea Hawks FC සහ Ratnam SC කණ්ඩායම් පරාජය කරමින් ජයග්‍රහණය ලබා ගන්නට Up Country Lions FC සහ Renown SC ක්‍රීඩකයන් සමත් වුනා.

Up Country Lions FC – Sea Hawks FC

තරගයේ 25 වැනි මිනිත්තුවේ දී පන්දුව දඬුවම් රාමුව තුළ දී Sea Hawks ක්‍රීඩකයෙකුගේ අතෙහි වැදීම නිසාවෙන් ලද දඬුවම් පහරක් ඉතා උපායශීලීව ගෝලය වෙත එල්ල කරමින් තරගයේ මුල්ම ගෝලය ලබා ගැනීමට හිටපු ශ්‍රී ලංකා නායක කවිඳු ඉෂාන්ට හැකි වුනා.

පළමු අර්ධය තුළ දී ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථා කිහිපයක් ගෝල රකින්නන්ගේ දස්කම් නිසාවෙන් වැළකී ගියා.

පළමු අර්ධයේ අවසාන මිනිත්තු කිහිපයේ දී ගෝලයක් ලබා ගැනීමට තිබූ ආසන්නතම අවස්ථා සාර්ථකව නිමා කිරීමට Sea Hawks ක්‍රීඩක චතුර පොන්නප්පෙරුම අසමත් වීම නිසා මුල් අර්ධය ගෝල රහිතව අවසන් කිරීමට Sea Hawks ක්‍රීඩකයන්ට සිදු වුනා.

පසුබෑමක් සහිතව දෙවන අර්ධයට පිවිසි Sea Hawks වෙනුවෙන් 57 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ජපන් ක්‍රීඩක Kaneshiro දඬුවම් රාමුවේ සිට පන්දුව ගෝලය වෙත එල්ල කරමින් තරගයේ ගෝල තත්වය සම කිරීමට සමත් වුනා.

එම ගෝලයේ උණුසුම පහවීමටත් පෙර 58 වැනි මිනිත්තුවේ දී නිදහස් පහරක් මගින් දඬුවම් රාමුවට යොමු කළ පන්දුවක් ප්‍රතිවාදී ගෝල රකින්නා මගහැර ගෝලය වෙත යොමු කරමින් සිය කණ්ඩායමට අවශ්‍ය වූ ගෝල පරතරය ලබාදීමට Up Country Lions ක්‍රීඩක අංජන වික්‍රමසිංහට හැකි වුනා.

Sea Hawks ක්‍රීඩකයන්ට අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වෙමින් තරගයේ 82 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුව තුළ සිට ගෝලයට පහරක් එල්ල කරමින් නැවතත් ගෝල තත්වය සම කිරීමට Sea Hawks ක්‍රීඩක ධනුෂ්ක මධුශංක සමත් වුනා.

එම ගෝලය ලබා ගැනීමෙන් සුළු වේලාවකට පෙර එනම් තරගයේ 85 වැනි මිනිත්තුවේ දී දඬුවම් රාමුවේ සීමා ඉර අසල සිට වේගවත් පහරක් එල්ල කරමින් සිය කණ්ඩායමට තෙවැනි ගෝලය රැස්කර දීමට Up Country Lion ක්‍රීඩක මාරියෝදාස් නිදර්ශන් සමත් වුනා.

නැවතත් තරගයේ අවසන් අතිරේක කාලයේ දී ක්‍රියාත්මක වූ Up Country Lion ක්‍රීඩක කවිඳු ඉෂාන් දඬුවම් රාමුවෙන් පිටත සිට අලංකාර පහරක් එල්ල කරමින් තරගයේ සිව්වැනි ගෝලය රැස් කරමින් සිය කණ්ඩායමේ ජය තහවුරු කළා.

අවසන් ලකුණු තත්වය: Up Country Lions FC 4 – 2 Sea Hawks FC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • Up Country Lions FC: කවිඳු ඉෂාන් 25’ (P) & 90+2’, අංජන වික්‍රමසිංහ 58’, මාරියෝදාස් නිදර්ශන් 85’
  • Sea Hawks FC: Kaneshiro 57’, ධනුෂ්ක මධුශංක 85’

කහ කාඩ්පත්: 

  • Up Country Lions FC: සුජාන් පෙරේරා 40’

 තවත් පාපන්දු පුවත් කියවන්න: 

Renown SC – Ratnam SC

තරගය ආරම්භයේ සිටම ප්‍රබල ක්‍රීඩා විලාශයක් පෙන්වූ Renown වෙනුවෙන් 5 වැනි මිනිත්තුවේ දී මුල්ම ගෝලය රැස්කිරීමට හසන් රාසා සමත් වුනා. නැවතත් ක්‍රියාත්මක වූ Renown වෙනුවෙන් නායක දිලීප් පීරිස් දෙවන ගෝලය රැස් කිරීමට සමත් වුනේ තරගයේ අවශ්‍ය ආරම්භය සිය කණ්ඩායමට ගෙන දෙමින්. 

ප්‍රතිවාදීන් හට හුස්ම ගැනීමටවත් කාලයක් ලබානොදුන් දිලීප් පීරිස් නැවතත් තරගයේ 14 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වෙමින් දඬුවම් රාමුව තුළට පැමිණි පන්දුවක් දැල වෙත යොමු කරමින් තරගයේ තෙවැනි ගෝලය රැස්කිරීමට සමත් වුනා.

එම අර්ධය තුළ දී කිසිදු ගෝලයක් ලබා ගැනීමට Ratnam ක්‍රීඩකයන්ට නොහැකි වීම නිසාවෙන් පළමු අර්ධය ගෝල 3-0ක් ලෙස දැඩි පසුබෑමකට ලක්වෙමින් අවසන් කිරීමට ඔවුන්ට සිදු වුනා.

පළමු අර්ධයේ දී ලබා ගත් රිද්මය දෙවන අර්ධය තුළ දී ද පවත්වා ගැනීමට Renown ක්‍රීඩකයන් සමත් වූ අතර තරගයේ 64 වැනි මිනිත්තුවේ දී ලැබූ පන්දුවක් ප්‍රතිවාදී ගෝල රකින්නා පසුකරමින් ඉදිරියට ගෙන ගොස් ගෝලය වෙත එල්ල කරමින් ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කිරීමට Renown නායක දිලීප් පීරිස් සමත් වුනා.

Ratnam ක්‍රීඩකයන්ට හිස එසවීමටවත් කිසිදු ඉඩක් නොදුන් Renown නායක දිලීප් පිරීස් තරගයේ 67’ වැනි මිනිත්තුවේ දී සිය කණ්ඩායමේ පස්වැනි ගෝලය මෙන්ම ඔහුගේ සිව්වැනි ගෝලය රැස්කිරීමට සමත් වුනේ තරගයේ සම්පූර්ණ ගෞරව සිය කණ්ඩායමට ගෙන දෙමින්.

83 වැනි මිනිත්තුවේ දී නැවතත් සිය කණ්ඩායම වෙනුවෙන් ක්‍රියාත්මක වූ Renown ක්‍රීඩක අෆාම් අක්‍රම් ගෝලය අසලට ලැබූ පන්දුවක් අලංකාර ලෙස ස්ථාන ගත කරමින් තරගයේ හයවැනි ගෝලය රැස්කිරීමට සමත් වුනා.

තරගයේ මුළු කාලය අවසන් වන තුරුම කිසිදු ගෝලයක් ලබා ගැනීමට Ratnam ක්‍රීඩකයන්ට නොහැකි වීම නිසා ගෝල 6-0ක් ලෙස දැවැන්ත පරාජයක් ලැබීමට Ratnam ක්‍රීඩකයන්ට සිදු වුනා.

අවසන් ලකුණු තත්වය: Renown SC 6 – 0 Ratnam SC

ගෝල රැස්කළ ක්‍රීඩකයින්:

  • Renown SC: හසන් රාසා 5’, දිලීප් පීරිස් 7’, 14’, 64’, 67’, අෆාම් අක්‍රම් 83’

කහ කාඩ්පත්: 

  • Renown SC: මොහොමඩ් රියාල් 48’ & 74’, ශාමිල් අහමඩ් 81’
  • Ratnam SC: මොහොමඩ් මුර්ශිඩ් 74’

රතු කාඩ්පත්: 

  • Renown SC: මොහොමඩ් රියාල් 74’

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <