ඩිමෝ සවිබල ගැන්වීමත් සමඟ ආරම්භ වන 2016 ජීප් රැලි තරඟාවලිය

330
DIMO partners SLARDAR to bring Jeep Rally Championship 2016
TSD RALLY CHAMPIONSHIP 2016 නමින් හැඳින්වෙන මෙම තරඟාවලිය ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ පැදිකරුවන්ගේ  සංගමය (SLARDAR) සහ  කොළඹ මෝටර් ක්‍රීඩා සමාජය (CMSC) එක්ව සංවිධානය කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පැවැත්වෙන මෙම ජීප් රැලි තරඟාවලිය සඳහා  ඩිමෝ සමාගම අනුග්‍රහාකත්වය පිරිනමනු ලබයි. දිවයින පුරා විසිරී සිටින දක්ෂතා වලින් පිරිපුන් රියදුරන්ගේ දක්ෂතා තවත් ඔප් නැංවීම සඳහා  සංවිධානය කෙරෙන මෙම ජීප් රථ රැළිය,  රාත්‍රී රැළි තුනකින් සමන්විත වෙයි.
 
SLARDAR 1000 රැළියේදී දිවයින පුරා කිලෝමීටර් 1000 ක දුරක් ආවරණය කිරීමට අපෙක්ෂා කරන අතර එය  පෙබරවාරි 19 සිට 21 වන දා දක්වා  පැවැත්වීමට නියමිතව තිබේ. මිළඟ අදියර Colombo Rally Challenge ලෙස නම් කර ඇති අතර ඒ යටතේ කිලෝමීටර් 400 ක දුරක් ආවරණය කිරීමට නියමිතව තිබේ. එම රැළිය ජුනි 18 සහ 19 යන දිනවල දි පැවැත්වෙන අතර එහි ඊළග අදියර  ඔක්තෝබර් 8 සහ 9 යන දිනවල තවත් කිලෝමීටර 400 ක දුරක් ආවරණය කරමින් පැවැත්වීමට නියමිතව තිබේ.
 
ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ පැදිකරුවන්ගේ  සංගමයේ (SLARDAR) සභාපති නිශාන් වාසලතන්ත්‍රි  මහතා සඳහන් කලේ මෙම තරඟාවලිය ශ්‍රී ලංකාවේ මුල් වරට පැවැත්වෙන දුෂ්කරතම  ජීප් රථ ධාවන තරඟාවලිය වනු ඇති බවයි. ඉතා රළු මං මාවත්  සහ විවිධ  තත්වයන්ගෙන් යුත් මං මාවත් වල රිය ධාවනය කිරීම පිළිබඳ  පුළුල් අත්දැකීමක්  මෙහිදී රියදුරන්ට අත් විඳිය හැකි බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 
ඇතැම් අවස්ථාවල ශිතල දේශගුණයක් සහිත කඳුකරයේ ද, තවත් විටෙක වියළි දේශගුණයක් සහිත රළු මං මාවත් වලද,  රිය පැදවීමට මෙම රැළියේදී අවස්ථාව හිමිවන අතර එය මිනිසා සහ  යන්ත්‍රය අතර අපුරු සංකලනයක් වනු ඇති බව ද හෙතෙම සඳහන් කලේය.
 
මේ පිළිබඳව අදහස් දැක්වු  DIMO සභාපති රංජිත් පණ්ඩිතගේ මහතා සඳහන් කර ඇත්තේ දිවයිනේ මුල්  වරට සංවිධානය කෙරෙන මෙම  ජීප් රැලි තරඟාවලිය සඳහා සහයෝගය දැක්වීමට අවස්ථාව හිමිවීම පිළිබඳව තමා සතුටට පත්වන බවත්  ශ්‍රී ලංකා රේසිං රියදුරන්ගේ සහ පැදිකරුවන්ගේ  සංගමය (SLARDAR) හා එක්ව කටයුතු කිරීමට ලැබීම ද භාග්‍යයක් කොට සලකන බව ද ඒ මහතා වැඩ්දුරටත් සඳහන් කලේය.
 
“JEEP-WRANGLER” – SLARDAR 1000 ප්‍රථම වටය DIMO 800  ප්‍රදර්ශනාගාරය අසලින් රාත්‍රී 7.02 ට ඇරඹෙන අතර ,පැය හතර හමාරක  කාලයක් ධාවනය කර කුරුණෑගලදී  පැය භාගයක විවේකයක් ලබා නැවතත් කුරුණෑගලින් ධාවනය අරඹා රළු අතුරු මංමාවත් ඔස්සේ ගමන් කර උදෑසන 6ට පමණ මහනුවරට ළගාවීමට නියමිතය.
ඉන්පසුව  ඊළග දිනයේ දි  පස්වරු 4 ට කැන්ඩි සිටි සෙන්ටර්  රථ ගාලෙන් ගමන් අරඹන මෙම රැළිය  මහනුවර ආශ්‍රිත මං මාවත් වල පැය  හතරහමාරක කාලයක් ධාවනය කිරීමට නියමිතය. පසුව මහනුවරදී පැය දෙකක විවේකයක් ලබාගන්නා අතර ඉන් අනතුරුව  තවත් පැය හතර හමාරක කාලයක් තුළ රත්නපුර  හෝ අවිස්සාවේල්ලට ළගාවීමට නියමිතය.
 
හතරවන සහ අවසාන අදියරයන්  අවිස්සාවේල්ලෙන් හෝ රත්නපුරයෙන් ගමන් අරඹන  මෙම රැළිය  පෙබරවාරි 21 වන දින උදෑසන 7ට නැවත  DIMO 800  ප්‍රදර්ශනාගාරය අසලට ළගාවීමට නියමිතය. ඉන් අනතුරුව  පෙරවරු 11 ට SLARDAR 1000  ඉසව්වේ ත්‍යාග ප්‍රධානෝත්සවය වැත්වීමට නියමිතව තිබේ.
 
තරඟ ඉසව් තුනකින් යුත් සමස්ත තරඟාවලියේ අවසන් ජයග්‍රාහකයින් වෙත සම්මාන ප්‍රදානය 2016  නොවැමබර් 26 වන දින රත්මලාන ඊගල් ලේක් හිදි පැවැත්වීමට නියමිතව තිබේ.