Vivo හැලෙයි; TATA එයි

916

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළ චීනය කේන්ද්‍රකර ගත් Vivo සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් ඉවත්ව කොට ඉදිරි වසර සඳහා අනුග්‍රාහකත්වය Tata සමාගම වෙත ලබා දීමට IPL තරගාවලි සංවිධායකයින් තීරණය කර තිබෙනවා.

ඊයේ (11) පැවති සාකච්ඡාවකට පසුව ඔවුන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් අතර ඒ අනුව 2022 සහ 2023 යන වසර දෙකේ දී Tata සමාගම IPL තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.

Vivo සමාගම තවත් වසර දෙකක කාලයක් ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරීමට නියමිතව තිබූ පසුබිමක ඔවුන් ඉන් ඉවත්ව තිබෙන නිසා ඒ අනුව ඉදිරි වසර දෙකක කාලය තුළ IPL තරගාවලිය ‘TATA IPL’ ලෙස හැදින්වීමට නියමිතයි.

Vivo සමාගම 2018 වසරේ දී IPL තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා ගත්තේ වසර 5ක කාලයක් සඳහා වන අතර ඒ සඳහා ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 2,199ක ලංසුවක් තබා තිබුණා.

එහි දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට එක් තරග වාරයක් වෙනුවෙන් ලැබෙන මුදල ඉන්දීය රුපියල් කෝටි 440ක්. කෙසේ වෙතත්, ඉන්දු – චීන දේශ සීමා ආශ්‍රිතව ඇති වූ ගැටුම් පදනම් කර ගනිමින් Vivo සමාගමට එරෙහිව ඉන්දියාවේ බොහෝ පාර්ශවවලින් දැඩි විරෝධයක් එල්ල වූ බැවින් එම සමාගම 2020 වසරේ දී ද ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුනා.

ඒ අනුව 2020 වසරේ දී Dream 11 සමාගම ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා ගත් අතර අනතුරුව 2021 වසරේ දී යළිත් Vivo සමාගම ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලැබුවා.

ඉන්දීය ක්‍රිකට් පරිපාලකයින් සමඟ Vivo ආයතනය අත්සන් කළ පළමු ගිවිසුමට අනුව 2022 වසරේ දී Vivo සමාගමේ ප්‍රධාන අනුග්‍රාහකත්වය අවසන් වීමට නියමිතව තිබුණා. නමුත් 2020 වසරේ දී ඔවුන්ට ප්‍රධාන අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට සිදු වූ බැවින් එම ගිවිසුම 2023 වසර දක්වා දීර්ඝ කෙරුණා.

මෙවර IPL තරගාවලිය සඳහා කණ්ඩායම් 10ක් සහභාගී වන අතර එය පැවැත්වෙන කාලසමය කුමක්ද යන්න තවමත් නිල වශයෙන් තහවුරු කර නැහැ. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පෙබරවාරි 12 සහ 13 දිනවල දී බැංගලෝර් හිදී පැවැත්වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<