මේධානි තවත් ඉසව්වකින් ලෝක ශූරතාවයට

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තේරීම් තරගාවලිය - 2021

362
Junior National Trails 2021 Results

අගෝස්තු මාසයේ කෙන්යාවේ දී පැවැත්වීමට නියමිත ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීම ඉලක්ක කරගනිමින් ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තේරීම් තරගාවලියක් අද (27) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුනා.

එහි දී කාන්තා මීටර් 100 ඉසව්ව නියෝජනය කළ මේධානි ජයමාන්න එම ඉසව්ව තත්පර 11.85ක කාලයකින් අවසන් කරමින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර එම කාලය මෙවර යොවුන් ලෝක ශූරතාවයේ පරිසාධන කාලය සමකිරීම නිසාවෙන් ඇය එම ඉසව්වෙන් ලෝක ශූරතාවයට සුදුසුකම් ලැබුවා.

මේධානි ලෝක ශූරතාවයට සුදුසුකම් ලැබූ දෙවැනි ඉසව්ව මෙය වන අතර ඇය පසුගිය මාසයේ ඉන්දියාවේ පැවති මලල ක්‍රීඩා තරගාවලියක දී මීටර් 200 ඉසව්වෙන් මෙවර ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා තිබුණා.

තේරීම් තරගාවලියේ මීටර් 100 ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් දුල්යානා සුළුදාගොඩ (තත් 12.05) සහ බිනාරා බණ්ඩාර (12.20) හට හිමි වුනා.

පිරිමි මීටර් 100 ඉසව්වේ ජයග්‍රහණය තත්පර 10.78ක කාලයකින් තරගය අවසන් කළ චලිත් පියුමාල් සතු වූ අතර තත්පර 11.05ක කාලයකින් තරගය නිමා කළ එච්. එස්. මල්වෙන්නා දෙවැනි ස්ථානය සහ තත්පර 11.32ක කාලයකින් තරගය අවසන් කළ ටී. බී. උඩගෙදර තෙවැනි තැන දිනා ගත්තා.

තරගාවලියේ වඩාත් කැපී පෙනෙන ඉසව්වක් වූ පිරිමි මීටර් 400 තරගයේ ජයග්‍රහණය හිමි වුනේ ඉසුරු අබේවර්ධන හටයි. ඉසුරු එම ඉසව්ව නිමා කිරීමට ගත කළ කාලය තත්පර 46.90ක් ලෙස සටහන්ව තිබුණා.

මීටර් 400 ඉසව්වේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්ව ඇති ඉසුරු ලබන මාසයේ පැවැත්වෙන ලෝක ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට මීට පෙර සමත්ව තිබීම ද විශේෂත්වයක්.

මීටර් 400 ඉසව්වේ දෙවන ස්ථානය ආර්. ඩී බණ්ඩාර (තත් 47.55) විසින් දිනා ගත් අතර තෙවැනි ස්ථානය ආර්. එස්. ජයසුන්දර හට හිමි වුනා.

කාන්තා මීටර් 400 ඉසව්ව තත්පර 55.19ක කාලයකින් අවසන් කරමින් ජය ගත්තේ ටී. ඩි. කරුණාරත්නයි. එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් ලක්ෂිමා මෙන්ඩිස් (තත් 55.29) සහ සංජනා එදිරිසිංහ (තත් 56.76) විසින් දිනා ගත්තා.

මිනිත්තු 2:12.14ක කාලයකින් මීටර් 800 ඉසව්ව නිමා කළ ශානිකා ලක්ෂානි කාන්තා මීටර් 800 ඉසව්ව ජයග්‍රහණය කළ අතර ඇය ද මීට පෙර ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව තිබුණා.

එම ඉසව්ව මිනිත්තු 2:14.78ක කාලයකින් නිමා කළ එන්. වික්‍රමසිංහ දෙවැනි ස්ථානය සහ මිනිත්තු 2:39.74ක කාලයකින් අවසන් කළ නිවන්තිකා චන්ද්‍රසිරි තෙවැනි තැනත් දිනා ගත්තා.

පිරිමි මීටර් 800 ඉසව්වේ ජය ඩී. බුලත්ගහපිටිය (මිනිත්තු 1:53.79) සතු වූ අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන ඩී. තෙන්නකෝන් (මිනිත්තු 1:556.84) සහ එස්. බණ්ඩාර (මිනිත්තු 1:58.52) හට හිමි වුනා.

පිරිමි උස පැනීම ඉසව්ව ජය ගැනීමට රොෂේන් දුල්මින්ට හැකි වුනේ මීටර් 2.00ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින්. මීටර් 1.95 බැගින් දක්ෂතා දැක්වූ පී. ප්‍රනාන්දු සහ ටී. විශ්මිත දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගත්තා.

කාන්තා දුර පැනීම ඉසව්ව මීටර් 5.62ක දක්ෂතාවක් පෙන්නුම් කරමින් ජයග්‍රහණය කිරීමට ඉෂාරා සමන්මලී සමත් වූ අතර මීටර් 5.58ක දස්කමක් පෙන්නුම් කළ චලනි කෝෂිකා දෙවැනි ස්ථානයත්, මීටර් 5.56ක දක්ෂතාවක් පෙන්නුම් කළ එම්. හේරත් තෙවැනි තැනත් දිනා ගත්තා.

පිරිමි හෙල්ල විසිකිරීම ඉසව්ව මීටර් 68.33ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින් ජය ගත්තේ රමේෂ් තරංග විසිනුයි. එම ඉසව්වේ දෙවැනි ස්ථානය කේ. ජයවර්ධන (මීටර් 56.32) විසින් සහ තෙවැනි ස්ථානය ඒ. කජාන් (මීටර් 48.87) විසින් දිනා ගත්තා.

උස පැනීම ඉසව්වේ මීටර් 1.70ක දක්ෂතාවයක් පෙන්නුම් කළ මිනෝලි ප්‍රනාන්දු එහි ප්‍රථම ස්ථානය දිනා ගත් අතර මීටර් 1.64ක දක්ෂතාවක් පෙන්නුම් කළ පෙහන්සා ගමගේ හට දෙවැනි තැන හිමි වුනා.

එම්. අබේසේකර පිරිමි දුර පැනීම ඉසව්ව ජය ගැනීමට සමත් වුනේ මීටර් 7.31ක දක්ෂතාවයක් දක්වමිනි. එහි දෙවැනි ස්ථානය ඉෂාන් දුලාන්ජ (මීටර් 7.14) සහ තෙවැනි ස්ථානය ජේ. එස්. මිරන්ද (මීටර් 6.94) හට හිමි වුනා.

කාන්තා මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 16.14ක කාලයකින් අවසන් කර ජය ගැනීමට සෙනුරි අනුත්තරා සමත් වූ අතර තත්පර 17.55ක කාලයකින් අවසන් කළ දහම්සා කහන්ගම දෙවැනි ස්ථානයත්, තත්පර 24.78ක කාලයකින් අවසන් කළ එල්. දිසානායක තෙවැනි තැනත් දිනා ගත්තා.

තත්පර 14.34ක කාලයකින් තරගය අවසන් කර පිරිමි මීටර් 110 කඩුලු පැනීම ඉසව්ව ජයග්‍රහණය කිරීමට කවීෂ බණ්ඩාරට හැකි වුනා. එම ඉසව්වේ දෙවැනි ස්ථානය රන් පෙරේරා (තත් 14.66) විසින් දිනා ගත් අතර තෙවැනි ස්ථානය සිතිජ ඩයස් (තත් 14.70) හට හිමි වුනා.

කොරෝනා වසංගතය නිසාවෙන් මෙම තේරීම් තරගාවලිය දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් සීමිත ඉසව් කිහිපයකට පමණක් සීමා කරමින් පැවැත්වීමට කටයුතු කර තිබුණා.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<