වසර 24ක වාර්තාවක් අලුත් කරමින් දෙවන දිනය නිමාවේ

373
42nd games - day 2

ඉකුත් සැප්තැම්බර් 30 වන දා යාපනයේදි ආරම්භ වූ 42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ  දෙවන දිනය අද (01) නිමාවට පත්වූයේ තවත් වාර්තා කිහිපයක් ද අලුත් කරමිනි. එම වාර්තා අතුරින් කාන්තා මීටර 800 ඉසව්වේ තරග වාර්තාව සුවිශේෂි වේ.

පසුගිය ලිපි: ප්‍රථම දිනයේදීම මලල ක්‍රීඩා වාර්තා පොත් අලුත් වෙයි

එම සුවිශේෂීතාවයට හේතුව වන්නේ 1992 වර්ෂයේදි බාසිලෝනා නුවරදි එස්. ධම්මිකා මැණිකේ විසින් තබනු ලැබූ ශ්‍රී ලංකා වාර්තාවක්, අද යාපනයේදී ඩබ්. කේ. එල්. නිමාලී විසින් අලුත් කිරීමට සමත් වීමයි. ධම්මිකා මැණිකේ විසින් මිනිත්තු 02 තත්පර 03.85ක කාලයක් වාර්තා කරමින් තබා තිබූ එම වාර්තාව නිමාලී විසින් අලුත් කරනු ලැබුවේ මිනිත්තු 02 තත්පර 03.70ක කාලයකිනි.

එම කාලයත් සමඟින් නිමාලී කාන්තා මීටර 800 අවසාන වටයේ රන් පදක්කම දිනා ගත් අතර කරට කර පැවති තරගයකින් පසුව  දකුණු පළාතේම ජී. ටී. ඒ. අබේරත්න (මිනිත්තු 02:03.7) විසින් රිදී පදක්කම දිනාගනිද්දී ලෝකඩ පදක්කම දිනා ගත්තේ දකුණු පළාතේම ක්‍රීඩිකාවක් වන කේ. ඒ. ඩී. සදකාන්තී විසිනි (මිනිත්තු 02:08.4).

මේ අතර පිරිමි රිටි පැනීමේ ඉසව්වෙන් එම්. එච්. ඉශාර සඳරුවන්, ඔහු මීට පෙර තබා තිබූ ජාතික වාර්තාව දෙවරක් අලුත් කරමින් නව තරග වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඔහු මෙම වසර තුලදී මීටර 5ක උසක් තරණය කරමින් තබා තිබූ වාර්තාව අද උදෑසන නැවත අලුත් කරනු ලැබුවේ මීටර 5.10ක උසක් තරණය කරමිනි. අධික සුළං සහිත කාළගුණයක් මෙම ප්‍රදේශයේ පැවතියද එම බාධක ජය ගනිමින් ඔහු මෙම වාර්තාව අලුත් කරන්නට සමත් විය.

මෙම තරගය නැරඹීම සදහා ඊයේ දිනයේ කාන්තා රිටි පැනීම ඉසව්වේ ජාතික වාර්තාව අලුත් කරමින් රන් පදක්කම දිනා ගත් ජේ. අනීතා ක්‍රීඩිකාව පැමිණ සිටීම විශේෂත්වයකි. රිටි පැනීම ඉසව්වෙන් එම්. එච්. අයි. සඳරුවන් රන් පදක්කම දිනා ගනිද්දි වයඹ පළාතේ එල්. ඒ. ආර්. කේ. කේ. විසින් මීටර 4.50ක උසක් වාර්තා කරමින් රිදී පදක්කමට හිමිකම් කී අතර මීටර 4.40ක උසක් තරණය කල  කේ. කනතීපන් විසින් ලෝකඩ පදක්කම දිනාගන්නා ලදි.

ඉන්පසුව පැවති කාන්තා දුර පැනීම තරග ඉසව්වේ රන් පදක්කම, බස්නාහිර පළාතේ එස්. එල්. සාරංගී සිල්වා විසින් දිනා ගනු ලැබුවේ මීටර 5.99ක දුරක් වාර්තා කරමිනි. මිටර 5.85ක දුරක් වාර්තා කල දකුණු පළාතේ එච්. ඒ. ඩි. දනංජනී රිදී පදක්කම දිනා ගනිද්දී, එහි ලෝකඩ පදක්කම මීටර 5.76ක දුරක් වාර්තා කල බස්නාහිර පළාත් ක්‍රීඩිකා ඒ. යූ. කුමාරී පුලවන්ස විසින් ජයග්‍රහණය කරන ලදි. තරමක උණුසුම් දේශගුණික තත්වයක් යටතේ වූවද තරගාවලිය පුරාවට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජවය හා උද්යෝගාත්මක ක්‍රීඩා රටාව දිනය නිමාවන තෙක්ම දක්නට ලැබීම විශේෂී කරුණකි.

කවපෙත්ත විසිකිරීමේ කාන්තා තරග ඉසව්ව ඉන්පසුව ඇරඹි අතර එහි රන් පදක්කම ඌව පළාතේ පී. කේ. ඒ. ඒ. මදුවන්තී විසින් දිනා ගනු ලැබුවේ කවපෙත්ත මීටර 38.20 දුරකට විසි කරමිනි. රිදී පදක්කම බස්නාහිර පළාතේ පී. ඒ. අයි. මදුරංගී පෙරේරා (මීටර 38.03) දිනා ගත් අතර ලෝකඩ පදක්කම ඒ. ජී. වි. වි. ලක්මාලී ( මීටර 35.74) විසින් දිනා ගන්නා ලදි.

මීටර 800 පිරිමි ධාවන තරගයේ රන් පදක්කම ඌව පළාතේ එස්. ඊ. එම්. අයි. බී. අයි. එම් හේරත් (මිනිත්තු 01:51.9) විසින් දිනා ගනිද්දී බස්නාහිර පළාතේ ඩබ්. ඒ. ඩී. කුමාර (මිනිත්තු 01:52.3) විසින් රිදී පදක්කම ජයග්‍රහණය කරන ලදි. එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවේ ඌව පළාතේ එම්. එම්. කූපන් කුශාන්ත් (මිනිත්තු 1:52.3) විසිනි.

පිරිමි යගුලිය විසිකිරීමේ තරගයේදී වයඹ පළාතේ කේ. ආර්. සමිත ජයවර්ධන මීටර 14.69ක දුරක් වාර්තා කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගනිද්දී ඉසෙඩ්. ටී. එම්. ආසික් (මීටර 13.79) විසින් එහි රිදී පදක්කම දිනාගන්නා ලදි. බස්නාහිර පළාතේ සී. ෆර්නැන්ඩස් (මීටර 13.64) විසින් එම ඉසව්වේ ලෝකඩ පදක්කමට හිමිකම් කියන ලදි.

ඉන්පසුව පැවති දුර පැනීමේ තරගයෙන් නැගෙනහිර පළාතේ එම්. අයි. එම්. මිෆ්‍රාන් රන් පදක්කම දිනා ගනු ලැබුවේ මීටර 7.72ක දුරක් වාර්තා කරමිනි. එහි රිදී පදක්කම වයඹ පළාතේ කේ. කේ. එම්. කුමාර විසින් දිනා ගත්තේ මීටර 7.64ක දුරක් වාර්තා කරමිනි. බස්නාහිර පළාතේ ඩී. එම්. ලියනපතිරණ මීටර 7.60ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කමට හිමිකම් කියන ලදි.

අද දිනයේ පැවති තවත් තරග ඉසව්වක් වන කාන්තා හෙල්ල විසි කිරීමේ තරගයෙන් සබරගමුව පළාතේ එච්. එල්. එන්. ඩී. ලේකම්ගේ මීටර 52.01ක දුරකට හෙල්ල විසි කිරීමෙන් රන් පදක්කම දිනා ගනු ලැබීය. එහි රිදී පදක්කම මීටර 41.67ක දුරක් වාර්තා කල දකුණු පළාතේ ඩී. එස්. වයි. කෞෂල්‍යා ලක්මාලී විසින් දිනා ගත් අතර ලෝකඩ පදක්කම ඌව පළාතේ පී. පී. එස්. ක්ලැරන්ස් විසින් දිනාගත්තේ මීටර 40.75ක දුරක් වාර්තා කරමිනි.

කාන්තා සහ පිරිමි මීටර 4×100 සහය දිවීමේ තරගයේ කාන්තා අංශයෙන් රන් පදක්කම දිනා ගනු ලැබූවේ බස්නාහිර පළාත් කණ්ඩායම විසිනි. එහිදි ඔවුන් වාර්තා කල කාලය තත්පර 48ක්. එහි දෙවන ස්ථානය තත්පර 48.5ක කාලයක් වාර්තා කල දකුණු පළාත් කණ්ඩායම විසින් හිමිකර ගනිද්දී තත්පර 49.6ක කාලයක් වාර්තා කල ඌව පළාත ලෝකඩ පදක්කම දිනා ගන්නා ලදී.

පිරිමි 4×100 සහය දිවීමේ තරගයේ දී වයඹ පළාත් කණ්ඩායම තත්පර 41.6ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගත් අතර, තත්පර 41.7ක කාලයක් වාර්තා කල දකුණු පළාත් කණ්ඩායම රිදී පදක්කම දිනාගන්කා ලදි. තත්පර 42.2ක කාලයක් වාර්තා කල සබරගමුව පළාත් කණ්ඩායමට එම තරගයේ ලෝකඩ පදක්කම හිමිවිය.

හෙට තරගාවලියේ අවසාන දිනයයි. තරගාවලියේ ජය සංකේත, කුසලාන ප්‍රදානය සහ තරගාවලියේ සියලු තොරතුරු දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com සමඟින්.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට