VIMAN ස්ට්‍රීට් ක්‍රිකට් තරගාවලියේ සවි බලයට චමරි එක් වෙයි

The VIMAN Street Cricket Cup

45

VIMAN ස්ට්‍රීට් ක්‍රිකට් කප් තරගාවලිය නිල වශයෙන් දියත් කරමින් තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද (21) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හි පැවැත්වුණා.  

VIMAN නගරාසන්න නිවාස ව්‍යාපෘතිය යටතේ මෙහෙයවනු ලබන මෙම තරගාවලිය බිම් මට්ටමේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව පෝෂණය කිරීම අරමුණ වී තිබෙන අතර එය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු, VIMAN සහ ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමඟ අත්වැල් බැඳ ගත්තා. 

පෙබරවාරි මස 02 වන දා ජා-ඇල දී පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව පුරා පාසල් 8කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් අවුරුදු 16න් පහළ සහ 19න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වීමට නියමිතයි.  

අද පැවති තරගාවලිය නිල වශයෙන් දියත් කිරීමේ උත්සවයේ දී එහි නිල ලාංඡනය එළි දැක්වීම ද සිදු කළ අතර එයට ආසියානු කුසලානයේ දී චමරි එල්ල කළ පහරක් ඇතුළත් කර තිබීම ද විශේෂත්වයක්. 

එම අවස්ථාවට සම්බන්ධ වූ ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස්හි විකුණුම් හා අලෙවිකරණ ප්‍රධානී නඩීම් ෂම්ස් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, 

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ වශයෙන්ම ප්‍රතිරූපී චරිතයක් වන චමරි අතපත්තු සමඟ VIMAN ස්ට්‍රීට් ක්‍රිකට් කප් තරගාවලිය දියත් කිරීමට හවුල් වීමට ලැබීම ගැන අපි විශාල වශයෙන් සතුටු වෙනවා.  

බිම් මට්ටමෙන් අරඹමින් රට පුරා තරුණ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ප්‍රවර්ධනය කිරීමේ කාර්යයට මෙම මුලපිරීම නියෝජනය කරන්නේ සුවිශේෂී පියවරක්. ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස්හිදී අපි, ජන සම්පත මත ආයෝජනය කිරීමෙන් සහ සංවර්ධනය සඳහා අවස්ථා ගොඩනැගීම හරහා අපගේ දේශයේ අනාගතයට නවමු අර්ථයක් එක් කිරීම සඳහා දැඩිව කැපවී සිටිනවා.  

ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි ඇය තුළ තිබෙන දැඩි උනන්දුව සහ කැපවීම නිසා චමරි මෙම මුලපිරීම සඳහා සුදුසුම හවුල්කාරිය වනවා. මෙම ප්‍රයත්නය හරහා එක්ව, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවන් සඳහා ශක්තිමත් අනාගතයක් ගොඩනගමින්, ඊළඟ පරම්පරාවේ ක්‍රිකට් ක්‍රීඩිකාවන් තුළ උනන්දුවක් ඇති කිරීමට සහ ඔවුන් තුළ පවතින විභවයන් සඵල කර ගැනීමට ඔවුන්ට උපකාර කිරීම අපගේ අරමුණයි.” 

මෙම මුලපිරීම පිළිබඳ සිය අදහස් දක්වමින් චමරි අතපත්තු ප්‍රකාශ කළේ, 

“ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස, අපේ රටේ මීළඟ පරපුරේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සවිබලගැන්වීම සහ පෝෂණය කිරීම මට විශාල වගකීමක් ලෙස හැඟෙනවා.  

මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමට සාර්ථකම ලෙස බලපෑමක් ඇති කරන ක්‍රමය වන්නේ ක්‍රීඩාව කෙරෙහි දැඩි ඇල්මක් දක්වන දක්ෂ ගැහැණු ළමයින් හඳුනා ගැනීම සහ ඔවුන්ට ශක්තිමත්ව ගොඩ නැගීමට, වීශිෂ්ටත්වය කරා ළඟා වීමට සහ ඔවුන්ගේ උපරිම හැකියාවන් වර්ධනය කර ගැනීමට අවස්ථා නිර්මාණය කිරීම බව මම දැඩි ලෙස විශ්වාස කරනවා.  

ගැහැණු ළමුන් තුළ සැඟවුණු දක්ෂතා හෙළි කරමින්, ඔවුන්ගේ කුසලතා ප්‍රදර්ශනය කිරීමට වේදිකාවක් ලබා දීමට සහ ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ ඔවුන්ගේ බලාපොරොත්තුවලට ආරම්භක ස්ථානයක් ලබා දීමට නිර්මාණය කර තිබෙන මුලපිරීමක් වන VIMAN ස්ට්‍රීට් ක්‍රිකට් කප් තරගාවලිය දියත් කිරීමට ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමඟ මම සම්බන්ධ වුනේ විශාල අභිමානයකින් සහ සතුටකින්.  

මෙලෙසින් අපි එක්ව මග පාදන්නේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ දීප්තිමත් අනාගතයක් සඳහායි.” 

VIMAN ස්ට්‍රීට් ක්‍රිකට් කප් තරඟාවලිය, ක්‍රීඩාව සහ ප්‍රජා මූලිකත්වය හරහා ශ්‍රී ලංකාවේ තරුණ පරපුර, විශේෂයෙන්ම තරුණ කාන්තා ප්‍රජාව බලගැන්වීම සඳහා ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් දක්වන පොදු කැපවීම පිළිබිඹු කරනවා.  

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<