නැවත ආරම්භයේ පළමු ගෝල අතරට Coronaත් එක්වෙයි

435
Jesus Corona

නව කොරෝනා වසංගත තත්වය හේතුවෙන් යුරෝපය පුරා පාපන්දු තරග මාස 3ක පමණ කාලයක් ඇණහිට තිබී ඒවා නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලිය යටතේ ආරම්භ වූ  පෘතුගාල ලීගයේ වාර්තා වූ පළමු ගෝල අතරට Jesus Corona නමැති ක්‍රීඩකයෙකුගේ ගෝලයක් ද ඇතුළත්ව ඇත. 

ඒ අනුව මාස 3කට ආසන්න විවේකයකින් අනතුරුව පෘතුගාලයේ Primeira League තරගාවලිය ඊයේ (03) දිනයේ දී ආරම්භ වූ අතර එහි දෙවැනි තරගය ලෙස පැවැත්වුනේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන ප්‍රබල FC Porto සහ Famalicao කණ්ඩායම් අතර තරගය යි. එහිදී තරගයේ ලකුණු තත්වය සම කරමින් 74 වන මිනිත්තුවේ දී Porto ක්‍රීඩක Jesus Corona වාර්තා කරගත් ගෝලය, ඔහුගේ නාමය හේතුවෙන් පාපන්දු ලෝලීන් රැසක් අතර දැඩිව කතාබහට ලක්විය. 

නව කොරෝනා වසංගතය හේතුවෙන් ලොව පුරා කටයුතු අඩාල වූ පසුබිමක් තුළ “Corona” යනුවෙන් තම නාමය සටහන්ව තිබීම වර්තමානය තුළ එතරම් සුබවාදී දෙයක් නොවුනත් මෙහිදී Jesus Corona හට අවශ්‍යව තිබුනේ සිය කණ්ඩායම නැවතත් තරගයට අවතීර්ණ කරගැනීම පමණි. ඒ අනුව තරගයේ 48 වන මිනිත්තුවේ දී ප්‍රතිවාදී ක්‍රීඩක Fabio Martins වාර්තා කරගත් ගෝලයත් සමඟ Famalicao කණ්ඩායම තරගයේ ඉදිරියට එන්නට සමත් වූ නමුත් Jesus Corona තරගයේ 74 වන මිනිත්තුවේ දී Porto වෙනුවෙන් වාර්තා කරගත් ගෝලයත් සමඟ තරගයේ ලකුණු තත්වය නැවතත් සම විය. 

කෙසේ නමුත් ඉන් මිනිත්තු 4කට පමණ පසුව Famalicao ක්‍රීඩක Pedro Goncalves තරගයේ ඔවුන්ගේ දෙවන ගෝලය වාර්තා කරගැනීමත් සමඟ තරගය අවසන් වූයේ ගෝල 2-1ක් ලෙස Famalicao කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය හිමිකර දෙමිනි. 

නව කොරෝනා වසංගතය හේතුවෙන්ම අඩපණ වූ යුරෝපයේ පාපන්දු ක්‍රීඩාව පෘතුගාලය තුළ ආරම්භ වීමෙන් පසුව එහි පළමු ගෝල ලාභීන් අතරට Corona නාමය ද එක්වීම දෛවයේ සරදමක් ලෙස සමහර පාපන්දු ලෝලීන් අර්ථකථනය කර සිටියි. තවත් සමහරෙක් එය හඳුන්වනු ලැබුවේ පාපන්දු ක්‍රීඩාව යුරෝපය තුළ නැවතත් සාමාන්‍ය අතට හැරෙමින් පවතින පසුබිමක සිදුවූ මෙම සිදුවීම සුබවාදී ලකුණක් වන බවයි. කෙසේ හෝ සමස්තයක් ලෙස මෙම සිදුවීම මුළු පාපන්දු ලෝකයේ ම පුදුමයට හේතු වී ඇත. 

මෙක්සිකෝ ජාතික පාපන්දු කණ්ඩායම සහ Porto කණ්ඩායම නියෝජනය කරනු ලබන 27 හැවිරිදි Jesus Corona සිය වෘත්තීය පාපන්දු දිවිය ආරම්භ කරනු ලැබුවේ 2010 වසරේ දී මෙක්සිකෝවේම Monterrey පාපන්දු සමාජය සමඟ යි. එහි වසර 3ක කාලයක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ඔහු නෙදර්ලන්තයේ FC Twente වෙත කණ්ඩායම් මාරුවක් ලබා ගන්නා අතර එහි ඔහු වසර 2ක කාලයක් ක්‍රීඩා කරනු ලබයි. පසුව 2015 වසරේ දී Porto සමඟ එක්වීමෙන් අනතුරුව මේ වන විට ඔහු එහි වැදගත් ක්‍රීඩකයෙකු ලෙස සිය ස්ථානය ස්ථාපිත කරගන්නට සමත්ව ඇත්තේ winger සහ right-back ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරමින් දක්‍ෂතා දක්වමිනි. 

තවත් කියවන්න; 

කෙසේ නමුත් Jesus Corona එළඹෙන ක්‍රීඩක හුවමාරු කාල සීමාවේ දී එංගලන්තයේ ප්‍රබල Chelsea පාපන්දු සමාජය සමඟ එක්වනු ඇතැයි පසුගිය කාලය පුරාවට පුවත් පැතිර ගිය අතර ඔහුගේ නියෝජිතවරයා වන Matias Bunge මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ දෙපාර්ශවය අතර ඊට අදාළව ආරම්භක සාකච්ඡා පැවැත්වීමක් සිදුවූ බවයි. 

“අපි එක් අවස්ථාවක දී Chelsea සමඟ ඒ ගැන සාකච්ඡාවන් සිදුකළා. ඒත් අපිට දැන්ම කියන්න බැහැ Corona ඔවුන්ගේ පළමු, දෙවන හෝ නැත්නම් තුන්වන විකල්පය ද කියලා. දැනට ඒවා පැතිරිලා යන කටකතා විතරයි.” 

“අපිට ඒ ගැන හරියටම කියන්න තව ටිකක් කල් ඉන්න වෙනවා. සාකච්ඡා ඉදිරියට ගිහින් ලීග් තරගාවලි නැවතත් ආරම්භ වුනාට පස්සේ තමයි අපිට ඊළඟට වෙන්නේ මොකක්ද කියලා කියන්න පුළුවන්. මොකද මේ වෙනකොට මේ කටයුතු සිදුවෙන එක නැවතිලා තියෙන්නේ.” 

මෙම තරගවාරය තුළ ඉහළ දස්කම් දක්වමින් සිටින Jesus Corona සියලුම තරගාවලි වලදී ගෝල 3ක් වාර්තා කරගනිමින් තවත් ගෝල 17ක් සඳහා පන්දු පිරිනැමීම් (assists) සිදුකර ඇත. 

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<