ඊජිප්තුව පළමු ලෝක කුසලාන ජය ලබයි

FIFA 2026

21
FIFA 2026

2026 පාපන්දු ලෝක කුසලානයේ 11 වැනි දිනය අද (22) උදෑසන නිමාවට පත් වුනා.

එකොළොස් වැනි දිනයට අදාළ ව තරග 04ක් ඊයේ (21) සහ අද දිනයේ දී ක්‍රියාත්මක වූ අතර, මෙම තරග සියල්ල ම ඉතා උණුසුම් ලෙසින් ක්‍රියාත්මක වීම විශේෂත්වයක්.

ස්පාඤ්ඤය සහ සෞදි අරාබිය

තරගාවලියේ තමන් ක්‍රීඩා කළ පළමු තරගයේ දී Cape Verde හමුවේ කිසිදු ගෝලයක් වාර්තා කිරීමට සමත් නොවූ ස්පාඤ්ඤය මෙවර ගෝල හතරක් වාර්තා කරමින් තරගය ජය ගැනීමට සමත් වුනා.

මෙහි දී ස්පාඤ්ඤය වෙනුවෙන් පළමු ගෝලය Lamin Yamal විසින් වාර්තා කිරීමට සමත් වූ අතර, ඉන් පසුව Mikel Oyarzabal විසින් පළමු අර්ධය තුළ තවත් ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වුනා.

පෙර තරගයේ පළමු මිනිත්තු 30 තුළ එකදු පහරක් හෝ එල්ල කිරීමට සමත් නොවූ Mikel විසින් මෙම තරගයේ පළමු අර්ධය තුළ ගෝල දෙකට අමතරව Assist එකක් ද වාර්තා කරමින් ලෝක කුසලානයක එවැනි දස්කමක් පෑ පළමු ස්පාඤ්ඤ ක්‍රීඩකයා වීමට සමත් වුනා.

මෙම ජයත් සමඟ ස්පාඤ්ඤයට ලෝක කුසලානයේ ඉදිරි වටයට පිවිසීමට ඇති අවස්ථාව ඉතා ඉහළ තත්වයකට පත් වුනා.

බෙල්ජියම සහ ඉරානය

මෙම තරගයේ දී ඉරානය විසින් බෙල්ජියමට එරෙහිව ඉතා විශිෂ්ට දස්කම් පාමින් තරගය ජය පැරදුමෙන් තොරව නිමා කර ගැනීමට සමත් වුනා.

මෙහි දී ඉරාන දැල් රකින්නා වන Alireza Beiranvand විසින් අවස්ථා හතක දී ගෝල ලබා නොදී ආරක්ෂා වීමට සමත් වූ අතර, එය ඉරාන දැල් රකින්නකු විසින් ලෝක කුසලාන ඉතිහාසයේ දැක්වූ දෙවැනි හොඳම දක්ෂතාව ලෙසයි සටහන් වුනේ.

මෙම තරගයේ දී බෙල්ජියම විසින් ගෝල අවස්ථා 23ක් සඳහා උත්සාහ කළ නමුත් ඉන් එකක්වත් සාර්ථක වුනේ නැහැ. එය දෙවැනි වන්නේ 1994 වසරේ දී ඔවුන් සෞදි අරාබිය හමුවේ ගෝල අවස්ථා 24ක් උත්සාහ කරමින්, ඒවා අසාර්ථක වූ අවස්ථාවට පමණයි.

එමෙන්ම මෙම තරගයත් සමඟ බෙල්ජියම ලෝක කුසලානයේ මිනිත්තු 406ක් එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට අසමත් වී සිටීමත් සුවිශේෂී සිදුවීමක්.

උරුගුවේ සහ කේප් වර්ඩ්

මෙම දිනය තුළ ක්‍රියාත්මක වූ වඩාත් උණුසුම් තරගය ලෙස මෙය හඳුන්වා දිය හැකි.

තරගයේ පළමු ගෝලය සිය ලෝක කුසලාන ඉතිහාසයේ පළමු ගෝලය ලෙස Cape Verde ක්‍රීඩක Kevin Pina විසින් වාර්තා කළ නමුත් තරගයේ 44 සහ 45+6 මිනිත්තු වල දී උරුගුවේ විසින් ගෝල ද්විත්වයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණට පැමිණීමට සමත් වුනා. කෙසේ වෙතත් තරගයේ 61 වැනි මිනිත්තුවේ දී කේප් වර්ඩ් ක්‍රීඩක Helio Varela විසින් ගෝලයක් වාර්තා කරමින් තරගය නැවතත් සම මට්ටමට රැගෙන ඒමට සමත් වුනා.

මෙම තරගයත් සමඟ උරුගුවේ සහ කේප් වර්ඩ් කණ්ඩායම් දෙකම සිය තරග ද්විත්වයම ජය පැරදුමෙන් තොරව නිමා කර ගැනීමට සමත් වී සිටීමත් විශේෂත්වයක්.

නවසීලන්තය සහ ඊජිප්තුව

තරගයේ 15 වැනි මිනිත්තුවේ දී නවසීලන්තය විසින් පළමු ගෝලය වාර්තා කළ නමුත්, තරගයේ 58, 67 සහ 82 මිනිත්තු වල දී ඊජිප්තුව විසින් ගෝල ත්‍රිත්වයක් වාර්තා කරමින් සිය පළමු ලෝක කුසලාන ජය සනිටුහන් කර ගැනීමට සමත් වුනා.

මෙහි දී ප්‍රබල ඊජිප්තු ක්‍රීඩක Mohamed Salah විසින් විසින් ගෝලයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එය ඔහු විසින් ඊජිප්තුව වෙනුවෙන් වාර්තා කළ 68 වැනි ගෝලය ලෙසයි වාර්තා අතරට එක් වුනේ.

තරගාවලියේ දොළොස් වැනි දිනයට අදාළ ව අද සහ හෙට (23) දිනවල දී තවත් තරග හතරක් පැවැත්වීමට නියමිතයි.

  • අද රාත්‍රි 10.30 – ආජන්ටිනාව සහ ඔස්ට්‍රියාව
  • හෙට අලුයම 2.30 – ප්‍රංශය සහ ඉරාකය
  • හෙට උදෑසන 5.30 – නෝර්වේ සහ සෙනගාලය
  • හෙට උදෑසන 8.30 – ජෝර්දානය සහ ඇල්ජීරියාව

එම තරග තොරතුරු ද සමඟින් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>