එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවේ අපරාජිත බව ගිලිහෙයි

IMC Over 50s World Cup

199
IMC Over 50s World Cup

අවුරුදු 50න් ඉහළ International Masters එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් අපරාජිතයන් ලෙසින් වැජඹුන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (15) එංගලන්තය හමුවේ එම කිරුළ බිම තැබුවා.

කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9ක පරාජයකට මුහුණ දීමට සිදු වූ අතර එය ඔවුන් මෙම තරගාවලියේ පිට පිට ජයග්‍රහණය කළ තරග 4කට පසුව ලත් පළමු පරාජයයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම

 

සමන් ජයන්ත (නායක), ඉන්දික ද සේරම්, Rory Ingram, රුවින් පීරිස්, ශේන් ප්‍රනාන්දු, සුවන්ජි මදනායක, උපුල් චන්දන, පුඤ්ඤකාන්ත අබේගුණසේකර, දමින්ද විජේසේකර, චමින්ද රාජපක්ෂ, රේණුක නොනිස්, පූජිත උඩුවන.

එංගලන්ත වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම

 

David Snellgrove (නායක), Giles Ecclestone, Roy Smith, Sean Cooper, Kshitij Desai, Tuan Hadgie, Charlie Knightley (කඩුලු රකින්නා), Naseer Ahmed, Nick Phillips, Marcus Sharp, Jon Whileman, Zulfi Butt.

කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායමට ලබා ගත්ත ද එය එතරම් ම සාර්ථක තීරණයක් වූයේ නැහැ. එම අසාර්ථක වීම අවසාන වෙන්නේ සියලුම දෙනා ලකුණු 147කට සීමා වෙමින් දැවී යෑමත් සමඟිනුයි. ඒ ඔවුන්ට තවත් පන්දුවාර 15ක් ඉතිරි ව තිබියදීයි.

මෙවර තරගාවලියේ ඔවුන් ලබා ගත් අඩු ම ලකුණු සංඛ්‍යාව මෙය වූ අතර ඔවුන්ගේ මෙම ආරම්භය සනිටුහන් වෙන්නේ පළමු කඩුලු 4 ලකුණු 30ක් වෙද්දී දැවී යෑමත් සමඟිනුයි. එම අවාසනාවන්ත ඉරණම උදා කිරීමේ දී නායක සමන් ජයන්ත (13), රුවින් පීරිස් (0), Rory Ingram (6) සහ ඉන්දික ද සේරම් (1) අඩු ලකුණුවලට තම ඉනිම් සීමා වෙමින් දැවී ගියා.

එම දැවී යෑම්වලින් අනතුරු ව ඉනිමේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 37ක සබඳතාවක් එක් කිරීමට ශේන් ප්‍රනාන්දු සහ සුවන්ජි මදනායක සමත් වීම කැපී පෙණුනා. ශේන් ප්‍රනාන්දු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 16කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳී ගියා.

අනතුරු ව පිටියට පිවිසි උපුල් චන්දන (9) ද අඩු ලකුණින් තම ඉනිම සීමා කර ගත් අතර ඒ සමඟින් ශ්‍රී ලංකා ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 77ක් බවට පත් වුනා.

එතැන් සිට පිටියට පිවිසි අය අතුරින් පුඤ්ඤකාන්ත අබේගුණසේකර පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා ගත් අතර ඊට අමතර ව ශ්‍රී ලංකා ඉනිමේ  වැඩිම ලකුණුලාභියා වූ සුවන්ජි මදනායක පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.

අනතුරු ව පිටියේ දැවී ගිය ක්‍රීඩකයන් අතුරින් දමින්ද විජේසේකර පන්දු 47කට මුහුණ දෙමින් ලකුණු 16ක් ද සහ චමින්ද රාජපක්ෂ පන්දු 15කට මුහුණ දෙමින් ලකුණු 3ක් ද ලබා ගත් අතර ඉනිම අවසන් වන විට රේණුක නෝනිස් පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු පුවරුව සැකසීමේ දී අතිරේක ලකුණු 33ක් ද එක් වූ අතර කඩුලු දවා ගැනීමේ දී Marcus Sharp ලකුණු 21කට කඩුලු 4ක් දවා ගනිමින් කැපී පෙණෙන පන්දු යැවීමක නිරත වූ අතර Nick Phillips කඩුලු 3ක් ද සහ Zulfi Butt කඩුලු 2ක් ද ලෙසින් බෙදා ගත්තා.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 148ක හඹා යන ඉනිමට පිටියට පිවිසි එංගලන්ත ඉනිම Giles Ecclestone සහ නායක David Snellgrove විසින් ආරම්භ කළා. නමුත් ඔවුන්ට වැඩි වේලාවක් පිටියේ රැඳී සිටීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉඩ ලබා දෙන්නේ නැහැ. 6 වැනි පන්දුවාරයේ දී එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 14ක් වෙද්දී දැවී යනවා.

එහි දී සුවන්ජි මදනායක ප්‍රතිවාදී කණ්ඩායමේ නායක David Snellgrove (8) කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරමින් දවා ගන්නවා.

එය එම ඉනිමේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පෑ එක ම දක්ෂතාව වූවා. අනතුරු ව පිටියේ එක් වූ Roy Smith සහ Giles Ecclestone තරගය ජයග්‍රහණය කරන තෙක් පිටියේ රැඳී සිටියා. ඒ අනුව ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට නොදැවී ලකුණු 134ක සබඳතාවක් එක් කරනවා.

එහි දී Giles Ecclestone පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 55ක් ද සහ Roy Smith පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 79ක් ද ලබා සිටිනවා.

ඔවුන් මෙම ජයග්‍රහණය ලබා ගන්නේ තමන් සන්තකව තවත් පන්දුවාර 15ක් ඉතිරි කර ගනිමිනුයි.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 50න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 147 (43.0) ශේන් ප්‍රනාන්දු 16, සුවන්ජි මදනායක 22, දමින්ද විජේසේකර 16, Marcus Sharp 4/21, Zulfi Butt 2/26, Nick Phillips 3/28

එංගලන්ත වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායම – කඩුල්ලක් දැවී 148 (29.5) Giles Ecclestone නොදැවී 55, Roy Smith නොදැවී 79

එංගලන්ත වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 9ක ජයක්.

අද පැවැති අනෙකුත් තරගවල සාරාංශය

  • නැමීබියාව සහ නවසීලන්තය අතර වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේ දී.

නවසීලන්තය – සියලුම දෙනා දැවී 289 (42.4)

නැමීබියාව – සියලුම දෙනා දැවී 125 (37.3)

නවසීලන්ත වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 164ක ජයක්.

  • වේල්සය සහ ඕස්ට්‍රේලියාව අතරබණ්ඩාරගම PUSAක්‍රීඩාංගණයේ දී.

වේල්සය – කඩුලු 7ක් දැවී 219 (45.0)

ඕස්ට්‍රේලියාව – කඩුලු 7ක් දැවී 220 (44.1)

ඕස්ට්‍රේලියා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 3ක ජයක්.

 

  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇමෙරිකාව අතර කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය – සියලුම දෙනා දැවී 105 (25.0)

ඇමෙරිකාව – කඩුල්ලක් දැවී 111 (10.3)

ඇමෙරිකා වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

  • පාකිස්තානය සහ කැනඩාව අතර කොළඹ, වෙළඳ සේවා  ක්‍රීඩාංගණයේ දී.

පාකිස්තානය – කඩුලු 8ක් දැවී 264 (45.0)

කැනඩාව – සියලුම දෙනා දැවී 134 (28.1)

පාකිස්තාන වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 147ක ජයක්.

  • ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ, ඩී. එස්. සේනානායක විද්‍යාලයීයක්‍රීඩාංගණයේ දී.

ඉන්දියාව – කඩුලු 7ක් දැවී 318 (45.0)

දකුණු අප්‍රිකාව – සියලුම දෙනා දැවී 162 (29.1)

ඉන්දීය වයස අවුරුදු 50න් ඉහළ කණ්ඩායමට ලකුණු 156ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<