කුමක්ද විරාත් කෝලිගේ අර්බුදය?

2802
Virat Kohli
Courtesy - indiatimes.com

එක්දින ලකුණු 12,000 සීමාව පසු කළ වේගවත්ම පිතිකරුවා මෙන්ම විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල වැඩිම ලකුණු සාමාන්‍යය (51.50) හිමි විරාත් කෝලි නම් පිතිකරුවා ටෙස්ට් ද්විත්ව ශතක 7ක් ද ඇතුළු ටෙස්ට් ලකුණු 8000ක ද හිමිකරුවෙකි. සියලු ජාත්‍යන්තර ක්‍රිකට් රටාවලට ඔබින එතරම් පරිපූර්ණ වෙනත් පිතිකරුවෙකු ගැන ඔබේ මතකය කෙබඳු ද?

විරාත් කෝලිගේ විශේෂත්වය එයයි. ඔහු සිය රාජකාරිය මැනවින් හඳුනා ගෙන ඊට මැනවින් හැඩගැසිය හැකි, තීව්‍ර පිතිකරණ බුද්ධියක් මෙන්ම ස්වයං අභිමානයක් ද, අචල ආත්ම විශ්වාසයක් ද සහිත පිතිකරුවෙකි. නූතන ක්‍රිකට් ක්‍රීඩාවට සරිලනම පන්නයේ විශ්වාසවන්ත විශිෂ්ටයෙකි. එහෙත් මෙතෙක් වර්ණවත් ලකුණු දත්ත වාර්තාවක් රැකගෙන ආ ඔහු විසින් ක්‍රීඩා කළ අවසන් එක්දින ඉනිම් 21 දී සහ ටෙස්ට් ඉනිම් 30 දී කිසිදු ශතකයක් වාර්තා වී නොතිබීම විශ්වාස කළ හැකි ද?

කෝලි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට පය තැබූ 2008 දී ඔහුගේ දක්ෂතාවය ප්‍රදර්ශනය වුවද, ඔහු ලෝක පූජිත පිතිකරුවෙකු වනු ඇතැයි ක්‍රිකට් ලොවට එතරම් විශ්වාසයක් තිබුණේ නැත.

ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියට පය තබා ඉනිම් 13ක් පසු කරන තෙක් ද ඔහු ලෝක පූජිත පිතිකරුවෙකු වනු ඇතැයි ක්‍රිකට් ලොවට විශ්වාසයක් නොතිබිණි. දක්ෂ පිතිකරුවන් ලොව ඕනෑ තරම් සිටියි. ලෝක පූජිත පිතිකරුවෙකු වන්නට නම් අතිශය වැදගත් වන්නේ දිනෙන් දින අභියෝගාත්මක වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය මත ශක්තිමත්ව පය ගසාගෙන සිටීම සහ එහි වෙනස්කම් වලට ඉක්මනින් හැඩගැසීමේ හැකියාවයි. විරාත් කෝලි අතීතයේ දී එය ඔප්පු කොට ඇත.

Virat Kohli
ඔහු සටන්කාමියෙකි

2014 නවසීලන්තයේ වෙලිංටන් හිදී රැස්කළ ටෙස්ට් ශතකයෙන් පසුව ඔහු එංගලන්ත සංචාරයකට සහභාගී විය. එහි දී ඔහු පිතිකරණයේ යෙදුණු සියලු ඉනිම් මෙසේ පෙළගැස්විය හැකිය.

01, 08, 25, 00, 39, 28, 00, 07, 06, 20.

තරග 5කින් යුත් අසාර්ථක එංගලන්ත ටෙස්ට් සංචාරයකින් පසු ඔහු සැලුණේ නැත. මීළඟට පැවති ඕස්ට්‍රේලියානු සංචාරයේ දී ඔහුගේ එක් එක් ඉනිමේ දී ලකුණු රැස්වූයේ එංගලන්ත සංචාරයට සහභාගී වූ කෝලි සහ ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගී වන කෝලි යනු වෙනස් පිතිකරුවන් දෙදෙනෙකු යැයි හැඟෙන තරමිනි.

115, 141, 19, 01, 169, 54, 147, 46.

ඉහත එක පෙළට ඇත්තේ ඔහු විසින් 2014 ඕස්ට්‍රේලියානු සංචාරයේ තරග ටෙස්ට් තරග 4ක දී රැස්කළ ලකුණු ය. විරාත් කෝලි ලෝක පුජිත පිතිකරුවෙකු වන්නේ එලෙසය. අසාර්ථක කාල පරිච්ඡේදයන් (Bad patches) ඉක්මනින් සාර්ථක ඒවා බවට පරිවර්තනය කරගෙන ක්‍රිකට් පිටියේ වෙනස්කම් වලට අනුගත වීමේ හැකියාව ඔහුගේ පිතිකරණයේ කැපී පෙනෙන අංගයයි.

එක්දින ජාත්‍යන්තර පිටියේ දී ද එලෙසම ය. ලකුණු නැති සෑම කාලයක දී ම ඊට එරෙහිව කළ යුතු දෑ මැනවින් වටහා ගෙන, ඒ වෙනුවෙන් කැප වී ලකුණු ඇති කාල බවට පරිවර්තනය කර ගැනීමේ විශේෂ හැකියාවක් කෝලි හට ඇත.

ඔහුගේ මනස නිසි තැන ද?

එහෙත් මෑතක සිට ඔහුගේ පිතිකරණ දත්ත වාර්තාවන් එතරම් සෞඛ්‍ය සම්පන්න යැයි නොපෙනේ. සාමාන්‍ය පිතිකරුවෙකුට ඉනිම් 20-30ක් පවා ශතකයක් රහිතව ගමන් කළ හැකි නමුත් ප්‍රේක්ෂකයන් ඒ ගැන මවිත නොවිය හැකිය. එක්දින ඉනිම් 21ක දී සහ ටෙස්ට් ඉනිම් 30ක දී ඔහුට ශතකයක් අහිමි වීම ලොව ක්‍රිකට් ප්‍රේක්ෂකයන් අතර කතාබහක් බවට පත්වන්නේ එබැවිනි. ඔහු විශේෂ, නොඑසේ නම් සුවිශේෂ ගණයේ පිතිකරුවෙකි.

එහෙත් මෑතකාලීනව ලෝකයේ ඇතිවූ වසංගත තත්වය තුළ ක්‍රිකට් ක්‍රීඩාව පවත්වා ගෙන යාමට ජෛව බුබුළු (Bio bubbles) හඳුන්වා දීමත්, ඒවා තුළ ඒකාකාරීව මාස ගණන් රැඳී සිටීමට සිදුවීම නිසා ක්‍රීඩකයන්ගේ මානසිකත්වය දුර්වල වීමත් ගැන පසෙකින් අසන්නට ලැබේ. එමෙන්ම විරාත් කෝලි හට නායකත්වයේ පීඩනය ද දැඩිව දැනෙන්නට ඇත.

2021 මැද භාගයේ සිට 2022 වසරාරම්භය දක්වා ජෛව බුබුළු තුළ සිට ඔහු විසින් එකපෙළට සහභාගී වූ නවසීලන්ත සංචාරය, එංගලන්ත සංචාරය, IPL තරගාවලිය, දකුණු අප්‍රිකානු සංචාරය ආදී නොයෙක් තරග රටා සහිත තරගාවලි, නොයෙක් කාලගුණික දේශගුණික තත්වයන් යටතේ ක්‍රීඩා කිරීමට සිදුවීම, බිලියන ගණනක ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු, නායකත්වයේ පීඩනය යන මේ සියල්ල ඔහුගේ පිතිකරණය පසුපසට ඇදීමට තරම් ශක්තිමත්ව ඇති බව විචාරක මතයයි.

එහෙත් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු කෙමෙන් කෙමෙන් කෝලි කෙරෙන් ඈත් වන බව පෙනෙන්නට තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන හිටපු එංගලන්ත පිතිකරු කෙවින් පීටර්සන් මෙසේ පවසයි.

“නූතන ක්‍රීඩකයන් ගැන තදින් කතා කරන ප්‍රේක්ෂකයන් මෝඩයි කියලයි මට හිතෙන්නේ. මොකද මේ ජෛව බුබුළු ඇතුළේ ඉන්න එක හරිම අමාරුයි. ඔවුන් ඒ ගැන තදින් කතා කිරීම අසාධාරණයි. විරාත් කෝලි ගැන ඔබ හරියට බලලා නැහැ. ඔහුට ප්‍රේක්ෂකයන්ව ඕන. ඔවුන්ගෙන් ඔහු පන්නරයක් ලබනවා. ඔහු ප්‍රාසාංගිකයෙක්. මං හිතන්නේ බුබුලක ඉඳලා ඔහුගේ උපරිමයෙන් ක්‍රීඩා කරන්න ඔහුට අමාරුයි.”

>> කෙවින් පීටර්සන්ගේ ජීවිත කතාව

එය සත්‍යයකි. ක්‍රීඩකයන් ලෙස ඔවුන් ඒ අභියෝගය භාර ගත යුතු වුවත් එහි යථාර්ථය අප විසින් තේරුම් ගත යුතුය. ඒකාකාරී කොටුවක සිට ප්‍රාසාංගික ක්‍රීඩාවක නියැලීම කිසිවෙකුට පහසු නැත. වත්මන් ජෛව බුබුළු සංකල්පය (හරිහැටි ක්‍රියාත්මක වන විට) එක්තරා අතකින් සිරගෙයකි. කෝලි වැන්නෙකුට එය කෙසේ බලපාන්නට ඇත්ද?

පසුගිය ලෝක ටෙස්ට් ක්‍රිකට් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය දක්වා සිය කණ්ඩායමේ මෙහෙයවූ කෝලි 2021 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ දී නායකයෙකු ලෙස අසාර්ථක විය.

ඉන්පසුව විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් වන බව ඔහු විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දුන් පසු එහි සභාපති සව්රව් ගංගුලි හා යම් මතභේදයක් ගොඩනැගුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා වල පළවිය. 2022 දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචාරයෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ද සමුගැනීමට ඔහු තීරණය කළේ පීඩනය දෙගුණ තෙගුණ වීමෙන් විය යුතුය.

ඔහුගෙන් පසුව රෝහිත් ශර්මා ඉන්දීය නායකත්වය භාරගෙන ඉදිරියට ගියත් විරාත්ගේ පීඩනය මෙතෙක් අඩු වූ බවක් නොපෙන්වයි. පසුගිය දිනවල ශ්‍රී ලංකාවට එරෙහිව ශ්‍රෙයාස් අයියර් වැනි පිතිකරුවන් පහසුවෙන්ම ලකුණු රැස්කරද්දීත් ඉන්දියානු කණ්ඩායමේ ප්‍රබලම පිතිකරු ලෙස හැඳින්වෙන විරාත් කෝලි එතරම් සාර්ථක වූයේ නැත.

කාලයක් පුරාවට සියලු ක්‍රිකට් රටාවල ලෝක පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු පස්දෙනා ඇතුළත අනිවාර්ය අංගයක් වූ විරාත් කෝලිගේ නාමය මේ වන විට ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල අංක 9 දක්වා පල්ලම් බැස ඇත.

2019 වසරේ බංග්ලාදේශයට එරෙහිව රැස්කළ ටෙස්ට් ශතකයෙන් පසු මෙතෙක් ඔහු ටෙස්ට් ශතකයක් වාර්තා කොට නැත. තත්වය මෙසේ තිබිය දී ඔහුට පසුපසින් සිටින රිශාබ් පන්ට් ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ යෙදුණි. දශකයකට පමණ පසුව ලෝක පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු දස දෙනා ඇතුළත විරාත් කෝලි නොසිටින අවස්ථාවක් ගැන අසන්නට ලැබේවි ද?

>> විරාත් කෝලිගේ ජීවිත කතාව

අර්බුදයක් යනු වීරයන් බිහිකරන බිමකි. කෝලි එය හොඳින්ම දනියි. පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ කාලයේ සිටම පියාගේ අභාවය මැද, නොයෙකුත් අගහිඟකම් මැද ඔහුට නැගී සිටින්නට කියා දුන්නේ ජීවිතයේ අර්බුදයි. ඒ අර්බුදවලට එරෙහිව නැගී සිටි ඔහු ලොව ක්‍රිකට් පිතිකරණයේ අග්‍ර මාණික්‍යය විය.

කාලයකට පසුව යළි උදා වී ඇත්තේ අර්බුදයකි. එබැවින් මේ විරාත් කෝලිගේ යළි නැගිටීම සිදු වන පරිච්ඡේදය විය හැකිය. ඊට අවශ්‍ය තාක්ෂණය, අත්දැකීම් යන සියල්ල ඔහු සතුව ඇති බවට සැකයක් නැත. මානසිකත්වය පමණක් ඔහු විසින් සකස් කරගත යුතුව ඇති බව මගේ මතයයි.

කෝලි විසින් කළ යුත්තේ “අර්බුදයක් නැතැයි” ප්‍රශ්නයෙන් පලා යාම නොව, පවතින අර්බුදය හඳුනා ගෙන ඊට එරෙහිව ගත යුතු හොඳම තීරණ ගෙන තමන් විසින් නිර්මාණය කළ “විරාත් කෝලි” නම් දැවැන්ත නමට සාධාරණය ඉටු කිරීමයි.

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<