Anderson දැන්ම යන්නේ නැහැ ලු!

The Ashes 2023

3158

තමන්ට තවමත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමේ අදහසක් නොමැති බව එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක James Anderson විසින් නැවත වරක් අවධාරණය කර තිබෙනවා.

මේ දිනවල පැවැත්වෙන 2023 අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ දී James Anderson විසින් සිය සුපුරුදු රිද්මයෙන් බැහැරව ක්‍රීඩා කරන බව පෙනී යාමත් සමඟින් ඔහු ක්‍රීඩාවට සමුදේවි ද යන ගැටලුව නැවත ප්‍රධාන මාතෘකාවක් බවට පත්වුනා.

මෙතෙක් තරගාවලියේ තරග 4ක දී ඉනිම් 7ක් තුළ පන්දු යවා ඇති Anderson විසින් දවා ගැනීමට සමත් වී ඇත්තේ කඩුලු 5ක් පමණයි. නමුත් මෙතෙක් තරගාවලියේ තරග පහක ඉනිම් 6ක් තුළ කඩුලු 6ක් දවා ගැනීමට එංගලන්තය තුන් ඉරියව් ක්‍රීඩක Joe Root විසින් පවා සමත් වී තිබෙනවා. Anderson කණ්ඩායමේ නිත්‍ය වේගපන්දු යවන්නෙකු ලෙස ක්‍රීඩා කළත්, Rootටත් වඩා පසුපසින් සිටීම ඊයේ (28) දිනයෙ දී සමාජ මාධ්‍යජාලා ඔස්සේ ද කතාබහට ලක් වෙන අයුරු දකින්නට ලැබුණා.

(මෙහි Root විසින් කඩුලු 5ක් දවා ගෙන ඇති බව සඳහන් වුනත්, පසුව ඔහු විසින් තවත් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා.)

එමෙන්ම 2023 අළුබඳුන තරගාවලියේ අවසන් ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන හෙට (30) දිනයේ දී Anderson විසින් සිය 41 වැනි උපන්දිනය ද සැමරීමට නියමිතයි.

නමුත් තමන්ට තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට කිසිදු අදහසක් නොමැති බවයි Anderson නම් පවසන්නේ.

“මම විසින් ම තීරණයක් ගන්න කැමතියි. නමුත් කතාවලට සවන් නොදී ඉන්න මම උත්සාහ කරනවා. මොකද පසුගිය වසර 6ක කාලය තුල, සමහර විට ඊටත් වඩා දිගු කාලයක් තිස්සේ මට ඒ ප්‍රශ්නය තිබුණා (ක්‍රීඩාවෙන් සමුගැනීම ගැන).

ඔබ පන්දු යවන්නකු ලෙස 30 වැනි වියට පා තැබූ වහාම ‘ඔබට තව කොපමණක් කාලයක් ඉතුරු වෙලා තියෙනවා ද?’ කියලා අහන්න පටන් ගන්නවා.

පසුගිය වසර තුන, හතරක කාලය තුළ මම වෙන කවරදාකටත් වඩා හොඳින් පන්දු යැවුවා කියලා මට හිතෙනවා. මම ඉතා හොඳ පාලනයකින් යුතුව පන්දු යවන බව මට දැනෙනවා. මගේ ශරීරය හොඳින් තියෙනවා. මගේ දක්ෂතා එදා වගේම අදත් හොඳින් තියෙනවා.

ඒ නිසා මම නරක (දුර්වල) ලෙස පන්දු යවනවා කියලා හෝ මගේ වේගය අඩු වෙලා කියලා මට හිතෙන්නේ නැහැ. මට තවමත් මේ කණ්ඩායම වෙනුවෙන් බොහෝ දේවල් ලබා දෙන්න පුළුවන් කියලයි හැඟෙන්නේ.”

සමුගැනීම පිළිබඳ ඇසෙන ප්‍රශ්න නිසා තමන් කන් වසා ගෙන සිටින බව පවසන Anderson විසින් අවධාරණය කරන්නේ මෙවැනි අසාර්ථක කාල සමයන් වෘත්තීය ක්‍රීඩකයින්ට මුණ ගැසෙන බවයි.

“අවාසනාවන්ත ලෙස අපි දන්නවා වෘත්තීය ක්‍රීඩකයින්ට මේ වගේ අසීරු කාල මුණ ගැහෙනවා. ඒක ඔබ පන්දු යවන්නෙක් වුනත් පිතිකරුවෙක් වුනත් වෙන දෙයක්.”

තමන් තවමත් සිය උපරිමයෙන් කඩුලු දවා ගැනීමට උත්සාහ කරන බවයි Anderson පවසන්නේ. නමුත් අවාසනාවන්ත ලෙස ඔහුගේ උපරිම උත්සාහය හෝ එසේ කඩුලු දවා ගැනීමට පිටිවහලක් වුනේ නැහැ.

පස් වැනි අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ දී (ඊයේ) ඔහු විසින් දවා ගැනීමට සමත් වුනේ එක් කඩුල්ලක් පමණයි.

ක්‍රීඩාවට සමුදීම තමන්ගේ තනි තීරණයක් වුව ද, තවදුරටත් කණ්ඩායමට තෝරා ගන්නවා ද නැද්ද යන්න තමන්ගේ අතේ ඇති තීරණයක් නොවන බවත් Anderson විසින් වටහා ගෙන තිබෙනවා.

“තේරීම් කටයුතු (කණ්ඩායමට) වෙනස් ම දෙයක්. Stokesy සහ Baz (Brendon McCullum) කියනවා නම් අපි හිතපු තරම් ඔබ කඩුලු ගත්තේ නැහැ කියලා, මගෙන් ඒකට විරෝධයක් නැහැ.

නමුත් සමුගැනීම සම්බන්ධයෙන් නම්, මට දැන්ම ම යන්න අදහසක් නැහැ. තව ගොඩක් දේවල් දෙන්න ඉතුරු වෙලා තියෙනවා කියලයි මට දැනෙන්නේ.”

මේ අතර අළුබඳුන පස්වැනි තරගයේ දෙවැනි දිනය වූ ඊයේ තරගය නතර කරන විට තරගයේ ඉනිම් දෙකක් සම්පූර්ණයෙන්ම නිමා වී තිබුණා. තරගයේ පළමු දිනයේ දී එංගලන්තය විසින් සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 283ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට පිළිතුරු සැපයූ ඕස්ට්‍රේලියාව ඊයේ දිනයේ දී සිය පළමු ඉනිම නිමා කරන විට ලකුණු 295ක් ලකුණු පුවරුවේ සටහන් කිරීමට සමත් වුනා.

මෙහි දී ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 7ක් ලකුණු 185ක දී දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නන් විසින් සමත් වූ නමුත් Steve Smith සමඟ එක් වූ ඕස්ට්‍රේලියානු නායක Pat Cummins සහ, ඉනිමේ අංක 10 පිතිකරු ලෙස පැමිණි Todd Murphyගේ වේගවත් ඉනිම නිසා ඕස්ට්‍රේලියාව විසින් එංගලන්තයට වඩා ලකුණු 12ක් ඉදිරියට පැමිණීමට සමත් වුනා.

ඒ අනුව තරගයේ තෙවැනි දිනය වන අද (29) මෙම තරගයේ දිශානතිය පිළිබඳ යම් ඉඟියක් ලබා දෙනු ඇති බව විශ්වාස කළ හැකි.

2023 අළුබඳුන තරගාවලිය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<