Six Nations තරගාවලියටත් කොරෝනාව අකුල් හෙළයි

97

Six Nations රග්බි ශූරතාවලිය යටතේ ඉදිරි සති කිහිපයේ දී පැවැත්වීමට නියමිත තරග කිහිපයක්ම තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ ද යන්න පිළිබඳව මේ වන විට දැඩි ගැටලුකාරී තත්වයක් උද්ගත වී ඇති බව ප්‍රධාන පෙළේ විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කිහිපයක්ම සඳහන්කොට තිබුණි.

කොරෝනා කෙරුවාවෙන් හොංකොං සැණකෙලිය කල් යයි

මේ දින වල ලොව පුරා වසංගතයක් මෙන් පැතිර යන මාරාන්තික නව කොරෝනා වෛරසය දැනටත් බොහෝ ක්‍රීඩාලෝලීන්…….

නව කොරෝනා වයිරසයේ බලපෑමෙන් ඉතාලිය ඇතුළු කොට ගෙන සමස්ත යුරෝපයම මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ පා ඇති නිසාවෙන් ඉතාලිය කේන්ද්‍රකර ගනිමින් සංවිධානය කර තිබූ දෙස් විදෙස් ක්‍රීඩා තරගාවලි රැසක්ම තාවකාලිකව අත්හිටුවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ අතරින් එළඹෙන මස 7 සහ 8 යන දිනයන්හීදී අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ Six Nations තරගාවලියේ අයර්ලන්තය සහ ඉතාලිය අතර  තරගය ස්ථිර වශයෙන්ම නොපැවැත්වීමට ගත් තීරණය වඩාත් කැපී පෙනුණි. 

තවද Six Nations ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලියේ පිරිමි අදියරට සමගාමීව කාන්තා සහ වයස අවු.20න් පහළ තරගාවලීන් ද්විත්වයක් ද පැවැත්වෙන බැවින් එම තරග බොහොමයක් ද පවතින වාතාවරණය යටතේ කල් දැමීමට සිදුව ඇති බව වාර්තා වේ.

මාර්තු මස 14 සහ 15 යන දෙදින එංගලන්ත පිරිමි, කාන්තා සහ වයස අවු.20න් පහළ රග්බි කණ්ඩායම් ඉතාලියේ තරග සංචාරය කිරීමේ අපේක්ෂාවෙන් සිටි නමුත් ක්‍රීඩකයින් ඇතුළුව සියළුම දෙනාගේම ආරක්ෂාව සඳහා ප්‍රමුඛ ස්ථානය ලබා දී කටයුතු කිරීම කාලෝචිත බැවින් එම තරග සියල්ලම වෙනත් දිනයක දී පැවැත්වීමට සැලසුම් සකස් කරමින් සිටින බව ද ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

ආසියානු පාපන්දුවටත් කොරෝනා ආසාදනය වෙයි

ආසියානු පාපන්දු සම්මේලනය විසින් ආසියානු ශූරයින්ගේ ලීග් තරගාවලියේ තරග හයක් කල් දමන්නට තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් තවමත් ඉතාලි රජය විසින් මේ පිළිබඳව තමන් වෙත නිල වශයෙන් දැනුම් දීමක් සිදු නොකළ බව සඳහන් කර සිටින ඉතාලි රග්බි පාපන්දු සම්මේලනය ඉස්මතු කළ කාරණය නම් රෝමය සහ ඒ අවට ප්‍රදේශයන්ගෙන් තවමත් ආසාදිතයන් හඳුනාගෙන නොමැති නිසාවෙන් අවසන් තීරණයක් ගැනීමට කලබල විය නොමැති බවයි.

තත්වය එසේ වූවත් එංගලන්තය සහ ඉතාලිය අතර කාන්තා රග්බි තරගය දියත් කිරීමට නියමිතව තිබූ උතුරුදිග ඉතාලියේ පාදුවා නගරය මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ වසා දමා ඇති බැවින් නිසැකවම එම තරගය අවලංගු කිරීමට සිදු වනු ඇතැයි බව බොහෝ දෙනාගේ අදහසයි. 

මේ අතර Six Nations තරගාවලි කාලසටහනේ  සිදු කිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉදිරි සතියේ දී පැවැත්වීමට නියමිත ලෝක රග්බි සමුළුවේ හදිසි කැඳවුම් සැසිවාරය අවස්ථාවක් කරගැනීමට Six Nations සාමාජික සම්මේලනයන් අපේක්ෂා කරන බවද සදහන් වේ. 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<