මැතිව්ස්ව දංගෙඩියට යැවීමෙන් ප්‍රශ්න ඔක්කොම විසඳෙයි ද?

544

වසර එකහමාරක් වැනි කාල සීමාවක දී ක්‍රීඩකයින් 43 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් එක්දින කණ්ඩායමට තෝරමින් ක්‍රිකට් පහළට හෙළුවේ යැයි චෝදනා ලත් සනත් ජයසූරිය ප්‍රමුඛ හිටපු තේරීම් කමිටුව වෙනුවට ග්‍රැහැම් ලැබ්රෝයි ප්‍රමුඛ වත්මන් තේරීම් කමිටුව පැමිණෙන විට අප සිතුවේ සියල්ල යළි යථා තත්ත්වයට පත්වනු ඇතැයි කියාය.

2011 වසරේ සිට මේ වන තෙක් පුහුණුකරුවන් 10කගේ අතට යමින් නන්නත්තාර වී සිටි අවස්ථාවක ඉෂ්ට දේවතාවක් සේ චන්දික හතුරුසිංහ මෙරට පුහුණුකරු ධුරය භාර ගන්නා විට අප සිතුවේ ක්‍රිකට්වලට ලබා තිබූ රාහු අපලයට තිත තැබෙනු ඇති බවයි. අතින් අතට මාරුවෙමින් තිබූ කණ්ඩායමේ නායකත්වය යළිත් ඇන්ජලෝ මැතිව්ස්ටම හිමිවද්දී අප සිතුවේ මේ තුන් කට්ටුව, ඇදහිය නොහැකි තරමේ වෙනසක් කරා අප ක්‍රිකට් ක්‍රීඩාව රැගෙන යනු ඇති බවයි. එහෙත් සිදුවී ඇත්තේ මොකද්ද?

සංචිතයේ වෙනස්කම් කිහිපයක් සමඟින් මැතිව්ස්ට එක් දොරක් වැසේ

ලබන 10 වැනිදා රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වන ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා තරග කරනු ලබන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා…

ක්‍රිකට් තිබූ තැනිනුත් පහළට ගොසිනි. කොටින්ම ඇෆ්ගනිස්ථානයට එරෙහිව වත් අපට ජයග්‍රහණය කර ගත නොහැකි මට්ටමට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටී තිබේ. ආසියානු ක්‍රිකට් තරගාවලිය තුළ දී බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය හමුවේ ලද නින්දා සහගත පරාජය හේතුවෙන් එම තුන් කට්ටුවෙන් කෙනෙකු හැළී ගොසිනි. ඒ කණ්ඩායම මෙහෙයවූ ඇන්ජලෝ මැතිව්ස් ය. ඔහු නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇත. එහෙත් එම ඉල්ලා අස්වීම, පුහුණුකරු සහ තේරීම් කමිටුවේ බලකිරීම මත සිදු කළ එකක් බවට ඇන්ජලෝ චෝදනා කර සිටියි. එම ඉවත් වීමෙන් පසු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාට ලිපියක් යොමු කරන මැතිව්ස්, නායකත්වයෙන් ඉවත්වන්නැයි පුහුණුකරු සහ තේරීම් කමිටු නිලධාරීන් දැන්වූ මොහොතේ තමා ඒ පිළිබඳව විමතියට පත්වූ බව ද සඳහන් කර තිබේ. තේරීම් කමිටුව සහ ප්‍රධාන පුහුණුකරු සමඟ අන්‍යෝන්‍ය අවබෝධයෙන් තීරණ ගත් පසුබිමක පරාජයේ වගකීම තනිකරම නායකත්වය පිටම පැටවීම පිළිබඳව එකඟ නොවන බවත් පවසන මැතිව්ස් ඒ හරහා තමන්ව පාවා දුන්නා වැනි හැඟීමක් ඇතිවී තිබෙන බවත් එම ලිපියේ සඳහන් කර තිබේ.

තවද ආසියානු කුසලානයේ දී බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය හමුවේ ලද පරාජයන්වලට තමාව බිල්ලට දී ඇති බව නායකත්වයෙන් ඉවත් වීමට දැනුම්දීමත් සමඟ තමා හොඳින් තේරුම්ගත් බව ද එම ලිපිය හරහා මැතිව්ස් චෝදනා එල්ල කර සිටියි.

නායකත්වය යනු ජයග්‍රහණයේ දී අසීමිත පැසසුම් ලැබෙන්නකි. පරාජයේ දී කප්පරක් දෝස් මුරයන් එල්ල වන්නේ ද නායකත්වය ඉලක්ක කර ගනිමිනි. විටෙක එය හිසේ රුදාව දැනෙන තරමේ වගකීමකි. එබැවින් එම ධුරයේ කටයුතු කිරීම දැලි පිහියෙන් කිරි කන තරමට සමානය. කණ්ඩායම් ක්‍රීඩාවක දී නායකයකුට පමණක් කණ්ඩායමක් තනියම දිනවිය නොහැක. ඇතැම් අවස්ථාවන්හිදී එසේ නොවනවාම නොවේ. එහෙත් ඒ වරක් දෙවරක් පමණි. එසේ නම් පරාජයක වගකීම නායකයා මතම පැටවීම 100%ක් සාධාරණ නැත.

“ආසියානු කුසලානයේ පරාජය වෙනුවෙන් මාව බිල්ලට දුන්නා” – මැතිව්ස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමට අත්වූ පරාජයට තමන් වරදකරුවෙකු කර තමාව බිල්ලට දී ඇති බව ඇන්ජෙලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට…

අප දන්නා හැටියට නම් කණ්ඩායමකට අවශ්‍ය අවසන් 11 දෙනා තීරණය කිරීමේ දී ප්‍රධාන අංශ කීපයක් පිළිබඳවම අවධානය යොමු කෙරේ. එහි දී නායකයා, පුහුණුකරු සහ තේරීම් කමිටුව අතර වන සාකච්ඡාවෙහි අවසන් එකඟතාවය අනුව ක්‍රීඩා කරන අවසන් 11 දෙනා නම් කරනු ඇත.  

අප මීට සුලු කලකට ඉහත මතකයට යමු. එහි තේරීම් සිදු කෙරුණේ සනත් ජයසූරිය මුලසුන ගත් තේරීම් කමිටුවයි. එම කාලසීමාවේ දී ශ්‍රී ලංකාව පිට පිටම තරගාවලි පිට තරගාවලි පරදිද්දී දංගෙඩියට දැක්වූයේ නායකයා පමණක් නොවේ. සනත් ප්‍රමුඛ තේරීම් කමිටුවට ද එම පරාජයන්හි කොටස්කරුවන් වූහ. එම පරාජයන්හි වැඩියෙන්ම බැණුම් ඇසුවේ සනත් ජයසූරිය ඇතුලු පිරිවරය. එසේ නම් මෙදා පරාජයේ දී මැතිව්ස් පමණක් වැරදිකරුවා වන්නේ කුමන පදනමක් යටතේ ද යන්න ගැටලුවකි.

පුහුණුකරුවන් අතර ලොව වැඩිම වැටුපක් ලබන පුහුණුකරු ඉන්නේ අපටය. සහායක පුහුණුකරුවන් ද ඔහුට සිතැඟි පරිදි තෝරා පත් කර ගත් අයය. පුහුණුකරු තේරීම් කමිටුවේ සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි. ඇතැම් විට පුහුණුකරු, තේරීම් කමිටු සාමාජිකත්වයේ කටයුතු කරන එකම කණ්ඩායම ද අප පමණක් විය හැකිය. ඉල්ලා අස්වුණු මැතිව්ස්ට නායකත්වයේ ඔටුන්න යළි පළඳවන්නේ ද හතුරුසිංහ පුහුණුකරු ලෙස පත්වීමෙන් පසුවය. සිය පුහුණුකරු ධුරය භාර ගත් දා සිට මැතිව්ස් සමඟ දීග කෑ  හතුරුසිංහ, පුහුණුකරු තනතුර භාරගෙන වසරකට වැඩි කාලයක් ගතවද්දීත් සිදුවුණු වෙනස්කමක් නොමැත. තරග ප්‍රතිඵලවලින් එය මනාව පිළිබිඹු කරයි.

සත්කාරකත්වය දරමින් පවත්වන ලද නිදහස් කුසලාන අවසන් මහ තරගයේ දී අසල්වැසි ඉන්දියාව සහ බංග්ලාදේශය තරග වදිනු හැටි අප නැරඹූවේ කියාගත නොහැකි තරමේ වේදනාවකිනි. මතක ඇති කාලෙක කණ්ඩායම් 3කට හෝ ඊට වැඩි සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකාවේ පැවැත්වූ තරගාවලියක අවසන් මහා තරග වරම දිනා ගැනීමට තරම් අපොහොසත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළේ හතුරුසිංහය. තේරීම් කමිටුව ලැබ්රෝයිලාගේය. දකුණු අප්‍රිකාව හමුවේ එක්දින තරගාවලිය 3-2ක් ලෙස පරාජය ලබද්දී පුහුණුකරු හතුරුසිංහය. තේරීම් කමිටුව ලැබ්රෝයිලාය.

ප්‍රධාන පුහුණුකරු ධුරයට හතුරුසිංහ පත්ව මේ ගෙවී යන්නේ 10 වැනි මාසයයි. එම කාල සීමාව තුළ ටෙස්ට් අංශය ගෙන බැලීමේ දී කිසියම් ප්‍රගතියක් ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන නමුත්, එක්දින තරග අංශයේ දී නම් තත්ත්වය ඉතාම කණගාටුදායක ය. (මේ ලිපිය ලියැවෙන්නේ එක්දින තරග අංශය පිළිබඳව වන බැවින් ටෙස්ට් තරග අංශය ගැන සඳහන් කිරීම ඵලක් නැත) එම කාලසීමාවේ දී අප ලද කැපී පෙනෙන ජයග්‍රහණයක් වෙත් නම් ඒ බංග්ලාදේශයේ දී ලද තුන්කොන් තරගාවලි ජයග්‍රහණය පමණි. එසේ නම් හතුරුසිංහගේ පැමිණීමෙන් ශ්‍රී ලංකාවේ එක්දින ක්‍රිකට්වලට තවමත් අත්වූ සෙතක් නොමැති බව කනගාටුවෙන් වුවද සටහන් තැබිය යුතුය. තේරීම් කමිටුව අතින් ගත්ත ද එය එකී ප්‍රතිඵලයේ ඡායා පිටපතකි.

විටින් විට ඇතිවූ ආබාධ හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වූවා හැරෙන්නට ගෙවී ගිය 2017 වසරේ සිට මේ දක්වා කණ්ඩායම තුළ සාර්ථකම පිතිකරුවා බවට පත්ව සිටින්නේ ඇන්ජලෝ මැතිව්ස්ය. හෙතෙම ඉනිම 22ක දී මුලු ලකුණු 888ක් ලබා සිටින්නේ ඉනිමක සාමාන්‍ය 59.20ක් රඳවා තබා ගනිමිනි.

එමෙන්ම ආසියානු කුසලාන තරගාවලියට පෙර දකුණු අප්‍රිකාව සමඟ තරගාවලියේ ද වැඩිම ලකුණු ලාභියා වූයේ ඇන්ජලෝ මැතිව්ස්ය. ඔහු තරග 5ක දී ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 78.33ක් රඳවා ගනිමින් මුලු ලකුණු 235ක් රැස් කර තිබේ. පිතිකරුවෙකු ලෙස මැතිව්ස් එසේ දක්ෂතා දක්වා තිබිය දී එම කාල වකවානුවේ දී උපුල් තරංග (41.09) හැරුණු කොට ශ්‍රී ලංකාව නියෝජනය කරන ලද නම් දැරූ එකම පිතිකරුවකු හෝ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 40 ඉක්මවා රඳවා ගැනීමට අසමත්ව සිටියි. එම දක්ෂතා දෙස අවධානය යොමු කිරීමේ දී පැහැදිළිවම පෙනී යන්නේ නායකයකු ලෙස තම වගකීම කණ්ඩායමට උපරිමයෙන් ලබා දීමට මැතිව්ස් සමත්වී තිබුණ ද සෙසු පිතිකරුවන්ගෙන් ලබා දිය යුතු දායකත්වය ලබා දී නොමැති බැව් නොවේද?

සනත් ජයසූරිය මහතා තේරීම් කමිටුවේ කටයුතු කරන ලද මාස 16ක කාල සීමාවේ දී තරග 37ක් සඳහා ක්‍රීඩකයින් 43ක් උපයෝගී කරගත්තේ යැයි චෝදනා එල්ල විය. එහෙත් ලැබ්රෝයි ඇතුලු පිරිවරගේ කාල සීමාව තුළ දී ශ්‍රී ලංකා පිල සහභාගි වී ඇත්තේ එක්දින තරග 20කට පමණි. ජයග්‍රහණ 6ක් පමණක් ලබා ඇති එම තරග සංඛ්‍යාව නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකයින් 34 දෙනෙකු උපයෝගී කරගෙන තිබෙන බව කිවහොත් පිළිගත හැකිද?

නමුත් යථාර්ථය එයයි. එමෙන්ම එම කාලසීමාවේ දී නියමිත පන්දුවාර 50 අවසන් වන තෙක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා පිල සමත්ව ඇත්තේ අවස්ථා 8ක දී පමණක් බැවින් යලි යළිත් ඇසිය යුත්තේ මෙහි තනි වගකීම මැතිව්ස් පිට පැටවීම කෙතරම් සාධාරණ ද? යන්නයි.

මෙකී තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරද්දී ජයසූරිය මහතා තරම් ලැබ්රෝයි මහතා බැනුම් අසන්නේ නැත. ඇතැම් විට එය ලැබ්රෝයි මහතාගේ වාසනාව වන්නට පුළුවන. එසේත් නැතිනම් ජයසූරිය මහතා තරම් ලැබ්රෝයි මහතා ජනතාව අතර ප්‍රසිද්ධ පුද්ගලයකු නොවීම ඊට හේතු වන්නට පුළුවන.

පරාජයේ දී මැතිව්ස්ගේ අඩුපාඩු දකින ලැබ්රෝයි මහතා ද සිය තනතුරට උපරිම සාධාරණය ලබා දෙනවා ද යන්න ගැටලුකාරී තත්ත්වයක වෙයි. තේරීම් කමිටු සභාපති තනතුරට පත්වන විටත් ලැබ්රෝයි මහතා දෙවැනි කාණ්ඩයේ තරග තීරකවරයෙකි. ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව අන්ත පරාජයක් ලබද්දී තේරීම් කමිටු සභාපතිවරයා වන ලැබ්රෝයි මහතා ජාතික ක්‍රිකට් තේරීමේ කටයුතු අමතක කර දමමින් තරග තීරක වෘත්තියේ නියැළීම ද මේ දිනවල බොහෝ දෙනාගේ අප්‍රසාදයට හේතුවී තිබෙන කරුණක් බවට පත්ව තිබේ. තේරීම් කමිටු සභාපති ධුරයේ කටයුතු කිරීම සඳහා ලැබ්රෝයි මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් ලක්ෂ 5කට ආසන්න මාසික දීමනාවක් ලබා දෙන පරිසරයක් තුළ තේරීම් සිදු කරන කණ්ඩායම අවමන් සහගත පරාජයක් ලබා නැවතත් සිය රට බලා පැමිණෙන මොහොතේ සිය වගකීම් පැහැර හරිමින් කටයුතු කිරීම කෙතරම් සදාචාර සම්පන්න ද යන්න, ඒ පිළිබඳව අප්‍රසාදය දක්වන පිරිස් විමසා සිටියි.

අප තවමත් දන්නේ මැතිව්ස් සිය ලිපිය හරහා ප්‍රධාන විධායක නිලධාරීවරයාට දැන්වූ දේ පමණි. ඇතැම් විට එම තිරය පිටුපස ඊට හාත්පසින්ම වෙනත් කතාවක් තිබෙන්නට ඉඩ තිබේ. එහි කතාවක් වෙත්නම් මේ කතාව මීට හාත්පසින්ම වෙනස් වනු ඇත. එහෙත් තවමත් පුහුණුකරු සහ තේරීම් කමිටුව සිය මුණිවත රකිමින් සිටින්නා සේ කිසිවක් නොකියයි. මේ සම්බන්ධ තවත් කතා කිහිපයක්ම ගොඩ නැගී තිබෙන නමුත්, ඒ සියල්ල නිල නොවන මට්ටමේ පවතින හෙයින් ඒ කිසිවක් පිළිගත හැකි මට්ටමේ නොවේ.

මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර 106කට සහභාගි වී තිබෙන අතර ඉන් අවස්ථා 49ක දී ජයග්‍රහණ ද, අවස්ථා 51ක දී පරාජයට ද පත්ව තිබේ. මැතිව්ස්ගේ ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ටෙස්ට් නායකත්වය දරන චන්දිමාල්ට ශ්‍රි ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය ද පවරන බවයි.

ඉහතින් සඳහන් කර කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කිරීමේ දී මෙම ලිපිය ලිවීමට හේතු වූ පරාජයේ තනි වගකීම ඇන්ජලෝ මැතිව්ස්ගේ කර මත පැටවීම කෙතරම් අසාධාරණ ද යන්නට ඕනෑ තරම් සාක්ෂි සපයනු ඇතැයි විශ්වාස කරමි. එවන් තත්ත්වයක් තිබිය දී එළඹෙන එංගලන්ත සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ද මැතිව්ස්ගේ නම ඉවත් කොට තිබෙන බව ඇතැම් මාධ්‍ය ඔස්සේ වාර්තා විය. මැතිව්ස් ඉදිරිපත් කරන ලද ලිපියට අදාළව ඇතැම් විට තේරීම් කමිටුවේ මෙන්ම පුහුණුකරුගේ සිත් රිදීමේ ඉඩකඩක් ඇතැයි අනුමාන කළ හැක. එහෙත් එම ලිපියෙන් කිසිවකුවටත් පෞද්ගලිකව පහරක් එල්ල කිරීමේ අවශ්‍යතාවක් මැතිව්ස් තුළ නොමැති බව නම් පැහැදිළිය.

ජාත්‍යන්තරයට පැමිණ කෙටි කලක් ඇතුළත ඇෆ්ගනිස්තානය පෙරළිකාර ජයග්‍රහණ රැසක් ලබා තිබේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය පරාජය කළා සේම දෙවැනි වටය යටතේ ඉන්දියාව හමුවේ බේරුණේ අනූනමයෙනි. ලකුණු සමව අවසන් වුවද එම තරගයේ වැඩි ගෞරව ඇෆ්ගනිස්තානය සතු විය.

ආධුනිකයන් හමුවේ පරාජය වීම සැබැවින්ම දුක්ඛදායකය. 1996 ලෝක කුසලාන තරගාවලියේ දී අර්ධ අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වූ එංගලන්තය ද එදා එවැනිම කනගාටුවකට මුහුණ දෙන්නට ඇත. මහේල ජයවර්ධනගේ නායකත්වය යටතේ 2005 වසරේ දී එංගලන්තයට ගොස් එක්දින තරගාවලිය 5-0ක් ලෙස ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් වද්දී එංගලන්ත ක්‍රීඩාලෝලීන් එවැනිම කනගාටුවකට පත්වන්නට ඇත.

මැතිව්ස්ගේ නායකත්වය යටතේ එංගලන්තය එංගලන්තයේ දී ම පරාජයට පත් කරද්දී මෙදා අප ඇෆ්ගනිස්තානය හමුවේ ලද පරාජයේ දී වූ පරිද්දෙන්ම ඔවුන් ලතවන්නට ඇත. ක්‍රිකට් ලෝකයාට හඳුන්වා දුන් රට බවට එංගලන්තය පත් වුවත් ඔවුන් මෙරට ඇතැම් ක්‍රීඩාලෝලීන් මෙන් කණ්ඩායමට නිග්‍රහ නොකළහ. නායකයාට අවමන් නොකළහ. ඔවුන්ගේ කීර්තිනාමය පළුදු වන ආකාරයේ කිසිවක් ෆේස්බුක් වල සටහන් නොතැබූහ. එබැවින් ඔවුන්ගේ ක්‍රිකට් විනාශ වූයේ නැත. පැරදුණු තැනින් ඔවුන් නැගිටිමින් අද ලොව පළමු කණ්ඩායම් අතර ඉහළින්ම වැජඹෙන්නේය. එසේ වන්නේ ඔවුන් තුළ පැහැදිලි ඉදිරි දැක්මක් ඇතිව කටයුතු කිරීම හේතුවෙනි.

තරගාවලියක් පරාජය වීමෙන් පසු නායකයින් වෙනස් කරන ප්‍රතිපත්තියක සිට තේරීම් කමිටුව ක්‍රියා කරන්නේ අද ඊයේක සිට නොවේ. මෙය පසුගිය මාස 18ක කාලය ඇතුළත දැක ගැනීමට හැකි වූ සුලබ සිද්ධි දාමයකි. එම වකවානුවේ දී මැතිව්ස්ට අමතරව උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, චාමර කපුගෙදර, ලසිත් මාලිංග සහ තිසර පෙරේරා ශ්‍රී ලංකා එක්දින පිලේ නායකත්වය හොබවා තිබේ. පුහුණුකරුවන්ට ද අත්වූයේ එම ඉරණමමය. කුමන මට්ටමේ අත්හදා බැලීම් සිදු කළ ද 2017 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ එක්දින තරග 41න් 30ක්ම පරාජයට පත්ව තිබේ. එයින් කියැවෙන්නේ නිසි සැලසුමක් හෝ නොමැතිව ‘හිසේ රුදාවට කොට්ටය මාරු කරන්නාක්’ මෙන් තරගාවලියක් පරාජය වූ සැණින් නායකත්වය වෙනස් කිරීමෙන් ඇතිවන සුගතියක් නොමැති බවයි. මීළඟ ලෝක කුසලාන තරගාවලිය සඳහා තව ඇත්තේ මාස 9ක් වැනි කෙටි කාලයකි. මේ විකාර වැඩ නැවතීමට දැන් කාලය එළඹ ඇත. එසේම ලද පරාජය ජයග්‍රහණය සඳහා පන්නරයක් කරගනිමින් යළිත් එකාවන්ව හිඳ ක්‍රීඩාව පිබිදිය යුතුය. දක්ෂතාව සොයා යා යුතුය. එසේ නොවුණහොත් සිදුවන්නේ ආසියානු කුසලාන තරගාවලියේ මුහුණ දුන් ප්‍රතිඵලයට වඩා අන්ත ලෙසින් ලෝක කුසලානයට මුහුණ දී හිස් අතින් සිය රට බලා පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවීමයි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<