තෑගිත් අරන් අවුරුදු නෑගම් එන අයර්ලන්තය

Ireland Tour of Sri Lanka 2023

345

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මේ මස 16 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. දෙරට ක්‍රීඩකයෝ පළමු වරට හමුවෙන මෙම තරගාවලියේ තරග 2 ම ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය – අප්‍රේල් 16 සිට 20 දක්වා
  • දෙවැනි ටෙස්ට් තරගය – අප්‍රේල් 24 සිට 28 දක්වා

අයර්ලන්තය තරග 2ක් සඳහා වන තරගාවලියකට සහභාගී වෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට වන අතර ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් තරගාවලි සඳහා එක් වෙන 10 වැනි රට ලෙසින් ද මෙය ඉතිහාසයට එක්වනවා.

2018 වසරේ දී ටෙස්ට් වරම් ලබා ගන්නා අයර්ලන්තය මේ දක්වා ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරගය 4කට පමණයි. ඔවුන්ගේ මංගල ටෙස්ට් තරගය පාකිස්තානයට එරෙහිව Dublin හිදී පැවති අතර එම තරගයෙන් කඩුලු 5ක පරාජයකට ඔවුන්ට මුහුණ දීමට සිදු වෙනවා. එතැන් සිට පැවති ඇෆ්ගනිස්තානය, එංගලන්තය සහ බංග්ලාදේශය සමඟ වූ තරගවල විසඳුම ද ඔවුන්ට අවාසිදායක වන පරාජිත තරග ගොන්නටයි වැටෙන්නේ.

ශ්‍රී ලංකාව මෙතෙක් ටෙස්ට් තරග 309කට සහභාගී වෙමින් මේ කෝඩුකාරයන් හා එක් වීමට නියමිතයි. එම තරග අතරින් තරග 98ක් ජයග්‍රාහී තරග ලෙසත් තවත් තරග 92ක් විසඳුමකින් තොරව අවසන් වූ තරග ලෙසත් සහ ඉතිරි තරග 119 පරාජිත තරග ලෙසත් ඉතිහාසයට එක්වනවා.

අයර්ලන්තය මෙරට දී එක් වෙන්නේ තම 5 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් වන අතර ශ්‍රී ලංකාව සහභාගී වෙන්නේ 135 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන්.

අයර්ලන්ත කෙටි තරග ඉතිහාසයේ මෙතෙක් කණ්ඩායමකට එරෙහිව ලබා ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව, පාකිස්තානයට එරෙහිව පැවති මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි ඉනිමේ දී වාර්තා කරන ලද ලකුණු 339 වන අතර අඩුම ටෙස්ට් ලකුණු ප්‍රමාණය Lord’s ක්‍රීඩාංගණයේ දී එංගලන්තය ඉදිරියේ ලකුණු 38කට දැවී යෑමයි.

අයර්ලන්ත ලකුණු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වී ඇත්තේ ටෙස්ට් ශතක 2ක් සහ අර්ධ ශතක 10ක් පමණයි. එය ක්‍රීඩකයන් 7 දෙනෙක් තුළ බෙදී යනවා.

අයර්ලන්ත ටෙස්ට් තරග ඉතිහාසයේ මෙතෙක් බිහිව ඇත්තේ නායකයන් දෙදෙනෙක් පමණක් වන අතර ඉන් පළමුවැන්නා තරග 3ක දී කබාය පැලැඳි William Porterfield වන අතර අනෙක් තැනැත්තා වන්නේ වත්මන් නායක Andrew Balbirnie. ඔහු නායකත්වය ලබා දෙමින් පිටියට පිවිස ඇත්තේ එක් තරගයකට පමණයි.

අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම: Andrew Balbirnie (capt), Mark Adair, Curtis Campher, Murray Commins, George Dockrell, Fionn Hand, Graham Hume, Matthew Humphreys, Tom Mayes, Andrew McBrine, James McCollum, PJ Moor, Harry Tector, Lorcan Tucker, Ben White.

Andrew Balbirnie

අයර්ලන්ත කණ්ඩායම මෙහෙයවන 32 හැවිරිදි වියේ පසුවෙන Andrew Balbirnie අයර්ලන්ත මංගල ටෙස්ට් තරගයේ සිට ම කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක් වන අතර එරට වෙනුවෙන් වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයකට ක්‍රීඩා කළ ක්‍රීඩකයා ද වෙනවා.

මේ දක්වා ඔහු ටෙස්ට් තරග 4කට සහභාගී වෙමින් ඉනිම 8ක දී ලබා ඇති ලකුණු සංඛ්‍යාව 165ක්. ඒ අතරට ඇෆ්ගනිස්තානයට සහ එංගලන්තයට එරෙහිව වාර්තා කරන ලද අර්ධ ශතක 2ක් ද ඇතුළත්.

Andrew McBrine

29 වැනි වියේ පසුවෙන Andrew McBrine දකුණතින් පිට දඟපන්දු යවන්නෙක් ලෙසින් කණ්ඩායම හා එක් වූව ද, වමත් පිතිකරුවෙක් ලෙසින් ද විශ්වාසය දිනා සිටින ක්‍රීඩකයෙක්.

මේ දක්වා ටෙස්ට් තරග 3ක දී කඩුලු 10ක් දවාගෙන ඇති Andrew McBrine, ඉන් කඩුලු 6ක් ම දවා ගන්නේ මේ මාසයේ පළමු සතියේ දී බංග්ලාදේශයේ Mirpur හි දී පැවැති ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දීයි. ලකුණු 118ක් ලබා දෙමින් පෑ එම දක්ෂතාව අයර්ලන්ත ඉතිහාසයේ පන්දු යවන්නෙක් ඉනිමක දී පෑ ඉහළ ම දක්ෂතාව ලෙසින් ද සැලකෙනවා.

අනතුරුව ඔහු දෙවැනි ඉනිමේ දී වාර්තා කරන ලද කඩුල්ල ද සමඟින් ඔහු තරගයේ දී ලකුණු 170කට කඩුලු 7ක් දවා ගන්නවා. එය අයර්ලන්ත ඉතිහාසයේ තරගයක හොඳම පන්දු යැවීම ලෙසින් ද වාර්තා කර ගැනීමට ඔහු සමත් වෙනවා.

පිතිකරුවෙක් ලෙසින් ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව ඉනිම් 6ක දී ලකුණු 109ක් වන අතර ඉන් ලකුණු 91ක් ම නිමා වූ බංග්ලාදේශයට එරෙහි තරගයේ දී වාර්තා කිරීමට සමත් වීම කැපී පෙනෙනවා.

Lorcan Tucker

26 හැවිරිදි වියේ පසුවෙන Lorcan Tucker තම මංගල ටෙස්ට් තරගයේ දී ම ශතක ලාභීන්ගේ ලැයිස්තුව ආක්‍රමණය කළ ක්‍රීඩකයෙක්. ඔහු තම පළමු ටෙස්ට් තරගයට සහභාගී වෙන්නේ පසුගිය දා නිමා වූ  බංග්ලාදේශය සමඟ වූ තරගයටයි.

එහි දෙවැනි ඉනිමේ දී පන්දු 162කට මුහුණ දෙන ඔහු හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 108ක් ලබා ගන්නවා. එය අයර්ලන්ත ශතක ලැයිස්තුවට වසර 5කට පසුව එක් වූ ශතකයක් ලෙසයි සටහන් වෙන්නේ.

මෙම ශතකය අයර්ලන්ත ඉතිහාසයේ දෙවැනි ටෙස්ට් ශතකය වන අතර පළමු ටෙස්ට් ශතකය වාර්තා කිරීමේ ගෞරවය මෙන් ම ඉනිමක වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා ලෙසින් ද Kevin O’Brien මේ ලැයිස්තුවේ ප්‍රමුඛ අසුනේ රැඳී සිටිනවා. ඒ පාකිස්තානයට එරෙහිව මංගල තරගයේ දෙවැනි ඉනිමේ දී වාර්තා කරන ලද ලකුණු 118ක් සමඟින්.

Harry Tector

23 හැවිරිදි වියේ පසුවෙන Harry Tector අයර්ලන්තය වෙනුවෙන් ටෙස්ට් වරම් හිමි වූ ළාබාලතමයා ලෙසින් මෙම සංචාරයට එක් වෙනවා. ඔහු නිමා වූ බංග්ලාදේශ සංචාරයේ දී ටෙස්ට් වරම් හිමි කර ගන්නා ලද අතර එම තරගයේ ඉනිම් 2 දී ම අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වෙනවා.

Mark Adair

27 හැවිරිදි වියේ පසුවෙන Mark Adair අයර්ලන්ත කණ්ඩායමේ ආරම්භක දකුණත් වේගපන්දු යවන්නා ලෙසින් කණ්ඩායම හා එක් වෙනවා. ඔහු මේ දක්වා සහභාගී වී ඇත්තේ ටෙස්ට් තරග 2කට පමණක් වන අතර දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 9ක්.

Ben White

24 වැනි වියේ පසුවෙන Ben White නිමා වූ බංග්ලාදේශ සංචාරයේ දී පා දඟපන්දු යවන්නෙක් ලෙසින් අයර්ලන්ත කණ්ඩායම හා එක් වෙන්නේ එකඳු හෝ පළමු පෙළ තරගයක් ක්‍රීඩා නොකරයි. එසේ වූවත් ඔහු තම මංගල ටෙස්ට් තරගයේ දී පළමු ඉනිමේ දී කඩුලු 2ක් සහ දෙවැනි ඉනිමේ දී කඩුල්ලක් දවා ගැනීමට සමත් වෙනවා.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම: දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, නිශාන් මධුශ්ක (කඩුලු රකින්නා), සදීර සමරවික්‍රම (කඩුලු රකින්නා), අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, මිලාන් රත්නායක, ප්‍රභාත් ජයසූරිය, රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙණිය, දුෂාන් හේමන්ත.

මේ දක්වා ටෙස්ට් තරග 84කට මුහුණ දී සිටින ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න දෙරට අතර පැවැත්වෙන පළමු තරගයේ දී නායකත්වයේ කබාය පලඳින්නේ 27 වැනි වතාවටයි.

නිමා වූ තරග 26න් තරග 10ක් ජයග්‍රහණය කරා මෙහෙයවා ඇති දිමුත්, තරග 6ක් විසඳුමකින් තොරව නිමා කර තිබේ. ඉතිරි තරග 10 පරාජිත තරග ලෙසයි සටහන් වෙන්නේ.

දිමුත් කරුණාරත්න ඇතුළු අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට 28 හැවිරිදි වියේ පසුවෙන පා දඟපන්දු යවන දුශාන් හේමන්ත පළමු වරට එක් කර සිටී.

දේශීය ක්‍රිකට් පිටියේ මෑත කාලීන කැපී පෙනෙන පන්දු යවන්නෙක් වූ දුශාන් හේමන්ත මේ දක්වා පළමු පෙළ තරග 44කට මුහුණ දෙමින් ශතක 3ක් සමඟින් ලකුණු 1993ක් සහ කඩුලු 98ක් දවා ගෙන සිටින තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක්.

දුශාන් හේමන්තට එසේ අයර්ලන්තයට එරෙහි ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානයක් හිමි වෙද්දී නවසීලන්ත තරග සංචාරයට එක් වූ නිරෝෂන් දික්වැල්ල, ඕෂධ  ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, ලහිරු කුමාර සහ කසුන් රාජිතට තම ස්ථාන අහිමිව තිබෙනවා.

ඔවුන්ට තම ස්ථාන අහිමි වෙද්දී ටෙස්ට් තරග 17ක දී කඩුලු 71ක් දවා ගෙන සිටින 26 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟපන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය නැවත කණ්ඩායමට කැඳවා තිබෙනවා. ඔහු අවසන් වරට ටෙස්ට් තරගයක් සඳහා එක් ව ඇත්තේ පසුගිය වසරේ ජූලි මාසයේ දී පැවති ඔස්ට්‍රේලියාව හා තරගාවලියටයි.

එමෙන් ම කඩුලු රකින ක්‍රීඩක 27 වැනි වියේ පසුවෙන සදීර සමරවික්‍රම ද නැවත ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් කිරීමට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා. සදීර අවසන් වරට ටෙස්ට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2017 වසරේ දෙසැම්බර් මස පැවැති ඉන්දිය සංචාරයට එක් වෙමින්.

කෙසේ වෙතත් නවසීලන්තයට එරෙහිව මංගල ටෙස්ට් වරම් හිමි කර ගත් නිශාන් මධුශ්ක නැවත වතාවක් තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් ව තිබෙනවා. එමෙන් ම එම තරග සංචාරය සඳහා එක් වූ 26 හැවිරිදි දකුණතින් මඳ වේග පන්දු යවන මිලාන් රත්නායක ද නැවත වතාවක් මෙම කණ්ඩායමට ද එක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා – අයර්ලන්ත තරගාවලියේ දී මේ දේවල් ද සිදු විය හැකියි,

  • ශ්‍රී ලංකාව – ටෙස්ට් ජයග්‍රහණ 100ක් වාර්තා කිරීමට අවශ්‍යව ඇත්තේ තරග 2ක ජයග්‍රහණ පමණයි.
  • රමේෂ් මෙන්ඩිස් – ටෙස්ට් කඩුලු 50ක් සඳහා අවශ්‍යව ඇත්තේ කඩුලු 4ක් පමණයි.
  • Andrew Balbirnie – අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු ලබා ගත් පිතිකරු වීමට ඔහුට අවශ්‍ය තවත් ලකුණු 94ක් පමණයි.
  • Andrew McBrine – අයර්ලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් ලබා ගත් පන්දු යවන්නා වීමට අවශ්‍ය තවත් කඩුලු 4ක් පමණයි.

ශ්‍රී ලංකා – අයර්ලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් ඔබ වෙත ගෙන ඒමට Thepapare.com සූදානම්, රැඳී සිටින්න Thepapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<