අකිලගේ පන්දු යැවීමේ ඉරියව් ගැන සැකයක් – ICC

953

සංචාරක එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර පසුගිය දා ගාල්ලේ දී නිමා වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණත් පිට දඟපන්දු යවන ක්‍රීඩක අකිල දනංජයගේ පන්දු යැවීම සැක සහිත යැයි පිටියේ විනිසුරුවරුන් වාර්තා කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.

ඒ අනුව ඉදිරි දින 14ක කාලය ඇතුළත පන්දු යැවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයකට පෙනී සිටීමට අකිලට දනංජයට සිදු වනු ඇත.

ගාල්ලෙන් ඇරඹී ගාල්ලෙන්ම නිමා වූ විශිෂ්ටයාගේ සුවිශිෂ්ට මෙහෙවර

2010 වසරේ මුත්තයියා මුරලිදරන් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් නික්ම යාමෙන් පසු ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් තරග ජයග්‍රහණය කිරීමට තරමක් අපහසු වනු ඇති බවට එම අවදියේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්…

වයස අවුරුදු 19 දී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් අකිල දනංජය පළමුවෙන්ම ක්‍රීඩා කළ තරගාවලිය වන්නේ 2012 වසරේ පැවැත්වුණු විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි.

එතෙක් පුරා වසර 6කට ආසන්න කාලයක් තිස්සේ දේශීය මෙන්ම විදේශීය වශයෙන් පැවැත්වුණු ප්‍රධාන පෙළේ ක්‍රිකට් තරගාවලි කිහිපයකටම දායකත්වය දක්වා ඇති අකිල  පන්දුව දමා ගැසීමේ චෝදනාවට ලක්වන්නේ පළමු වතාවටයි. ඔහු මේ දක්වා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග 30කට, විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරග 16කට සහ ටෙස්ට් තරග 4කට සහභාගි වී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇත.

එංගලන්ත කණ්ඩායමට එරෙහිව ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති පළමුවැනි ටෙස්ට් තරගයට සහභාගි වූ අකිල දනංජය එහි ඉනිම් දෙකේ දී ලකුණු 183ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් දවා ගැනීමට සමත් වූයේ කඩුලු දෙකක් පමණි. නමුත් එංගලන්තය සමඟ 3-1ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත්වූ එක්දින ක්‍රිකට් තරගාවලියේ දී පැවති එක්දින තරග 5ටම සහභාගී වූ අකිල එහි දී ලකුණු 179කට කඩුලු 9ක් දවා ගත්තේ තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා වෙමිනි.

මේ දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් තරග 50කට ක්‍රීඩා කර ඇති අකිල දනංජය එම තරගවල දී කඩුලු 79ක් දවා ගෙන ඇත. ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලෙස සටහන් වන්නේ බංග්ලාදේශයට එරෙහිව ඩකා හිදී පැවති මංගල ටෙස්ට් තරගයේ දී ලකුණු 24කට කඩුලු 5ක් දවා ගැනීමයි. ඔහුගේ දක්ෂ පන්දු යැවීම නිසාම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් හා මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් නියෝජනය කිරීමට ද අකිලට වරම් ලැබුණි.

දකුණු අප්‍රිකානු ජාතික මාරියස් එරැස්මස් සහ නවසීලන්ත ජාතික ක්‍රිස් ග්‍රැෆනි යන විනිසුරුවරුන් දෙදෙනා ගාල්ලේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පිටියේ විනිසුරුවරුන් ලෙසින් කටයුතු කළහ. කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් (ICC) පවත්වනු ලබන පරීක්‍ෂණයේ නිල ප්‍රතිඵල ලැබෙන තුරු ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල දී පන්දු යැවීමේ අවස්ථාව අකිල දනංජයට හිමි වෙන බවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<