මොරටුව උණුසුම් කරන 70 වැනි රන් සටන

306
Schools Cricket

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ සාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වෙන 70 වැනි මොරටු රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මෙම මස 13 සහ 14 දෙදින පුරා මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 

සාන්ත තෝමස්වරුන් සතු පලිහ ගැනීමට රාජකීයන් සූදානමින්?

ලොව පැරණිතම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරග අතර දෙවැනි ස්ථානය හිමි කොළඹ රාජකීය…

වේල්ස් කුමර විද්‍යාලයීය කණ්ඩායම මෙවර මෙහෙය වීමේ වගකීම පැවැරී ඇත්තේ නඳුක ප්‍රනාන්දු වෙතය. සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය කණ්ඩායම ජනිශ්ක පෙරේරා විසින් මෙහෙයවයි. 

පාසල් ක්‍රිකට් තරගාවලියේ B කාණ්ඩය නියෝජනය කළ වේල්ස් කුමරුවන් එම කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් වෙමින් අවසන් වටය නියෝජනයට සුදුසුකම් ලබා ගත්හ. එපමණකින් නතර නොවූ ඔවුන් මේ වන විට අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටියි. 

තරගාවලියේ C කාණ්ඩය නියෝජනය කළ සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ පාසල් ක්‍රිකට් තරගාවලියේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී තම ගමන නාලන්දාව ඉදිරියේ පරාජය වෙමින් නතර කර ගත්හ. ඔවුන් හට එම කාණ්ඩයේ හිමි වූයේ සිව්වන ස්ථානය යි. 

වේල්ස් කුමර විද්‍යාලය 

වේල්ස් කුමරුවන් නිමා වූ තරග සමයේ දී තරග 15කට ක්‍රීඩා කළ ද එකඳු හෝ සම්පූර්ණ තරග ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වෙන්නේ නැත. එසේ වූවත් ඔවුන් කොළඹ රාජකීය විද්‍යාලය, මොරටු විද්‍යාලය, කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය, මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය, ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය, කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය යන විද්‍යාල වලට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කර ඇත. 

අනෙකුත් තරග අතුරින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය වෙතින් පූර්ණ පරාජයක් ලබන ඔවුන් කොළඹ මහානාම විද්‍යාලය, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය, කොළඹ තර්ස්ටන් විද්‍යාලය, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය, මහනුවර ධර්මරාජ විද්‍යාලය, ගාල්ල මහින්ද විද්‍යාලය යන විද්‍යාල සමඟ පැවති තරග වලදී පළමු ඉනිමේ පරාජයන් හිමි විය. 

තරග විසඳුම් හා සැසඳීමේ දී වේල්ස් කුමරුවන් තරමක් පසුපසින් සිටිය ද පෞද්ගලික දක්ෂතා අතර සුවිශේෂී චරිත කිහිපයක්ම ඔවුන් සතුය. ඒ අතුරින් වඩාත් බලාපොරොත්තු සහගත ක්‍රීඩකයා වන්නේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන කාවින්ද ද මෙල් ය. ඔහු කණ්ඩායමේ ශතක ලාභී ලැයිස්තුවේ සිටින්නේ කොළඹ රාජකීය කණ්ඩායමට එරෙහිව ශතකයක් රැස්කර ගෙනය. 

වේල්ස් කුමරුවන් වෙනුවෙන් මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට එරෙහිව ශතකයක් වාර්තා කළ තරිඳු අමරසිංහ ද පිතිකරණ ලැයිස්තුවේ විශේෂ ස්ථානයක් හිමිකර ගෙන සිටියි. කණ්ඩායමේ අනෙක් ශතක ලාභියා වන්නේ ඔමේෂ් මෙන්ඩිස් ය. ඔහු කොළඹ ඉසිපතනයට එරෙහිව තම ශතකය වාර්තා කර ඇත. 

තවද වේල්ස් කුමරුවන්ගේ පිතිකරු ලැයිස්තුවේ පසිඳු පැතුම, විනුජ රාම්පෝල්, දිනුර ප්‍රනාන්දු  පසුවෙති. ඔවුන් හරි හරියට ඔට්ටු වීමට නායක නඳුක ප්‍රනාන්දු සහ රවිඳු ජනිත් සූදානම්ව සිටින්නේ පන්දු යවන්නන්ගේ බලකාය ශක්තිමත් කිරීමටය. 

වේල්ස් කුමර විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම:  

නඳුක ප්‍රනාන්දු (නායක), කාවින්ද ද මෙල්, අනුප හේෂාන්, පසිඳු පැතුම්, තරිඳු අමරසිංහ, රවිඳු ජනිත්, ලක්ෂාන් පෙරේරා, විදත් දිලේන්ද්‍ර, රදීශ පෙරේරා, ඔමේෂ් මෙන්ඩිස්, රිතික ප්‍රනාන්දු, දිනුර ප්‍රනාන්දු, මෙෂිත් ද සිල්වා, අශාන් ප්‍රනාන්දු, රෙහාන් චාමික, තනුජ් කවිශාන්, උපේක ප්‍රනාන්දු, කුංචන පෙරේරා, විනුජ රාම්පෝල්. 

නිලධාරීන්: ලකි රොජර් (ප්‍රධාන පුහුණුකරු), රජීව ක්‍රිශාන් (සහාය පුහුණුකරු), කසුන් දේවප්‍රිය (ක්‍රිකට් ක්‍රීඩා භාර ආචාර්ය).  

 

මහින්ද විදුහල සීමිත පන්දුවාර කොටසේ අවසන් හතරට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් ඊයේ

සාන්ත සෙබස්තියන් විද්‍යාලය 

සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයන් රන් සටනට පිවිසෙන්නේ මෙවර පාසල් ක්‍රිකට් තරගාවලියේ දී කුරුණෑගල සාන්ත ආනා සහ මාතර සාන්ත තෝමසුන්ට එරෙහිව පූර්ණ ජයග්‍රහණ වාර්තා කර ගනිමින් ප්‍රතිවාදීන් නොලත් සතුටකින් යුතුවය. 

ඊට අමතරව ඔවුන් සහභාගී වූ තරග අතුරින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය, කඳාන සාන්ත බෙනඩික් විද්‍යාලය, කොළඹ සහිරා විද්‍යාලය, කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ වෙස්ලි විද්‍යාලය, කොළඹ ලුම්බිණි විද්‍යාලය යන විද්‍යාල වලට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ ලබා ඇත. 

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාල වෙතින් පූර්ණ පරාජයන් ලබා ඇති සාන්ත සෙබස්තියන් විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය, කඳාන ද මැසනොඩ් විද්‍යාලය, ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය, වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය, කොළඹ රාජකීය විද්‍යාල වෙතින් පළමු ඉනිමේ පරාජයන් ලබා ඇත. ඊට අමතරව විසඳුමක් නොමැතිව අවසන් වූ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය සමඟ තරගයක් ද ඔවුන්ගේ ලැයිස්තුවේ ඇත. 

මේ තරග 15 අතුරින් සාන්ත සෙබස්තියන් විද්‍යාල වෙනුවෙන් කැපී පෙනෙන දක්ෂතා දක්වා ඇත්තේ දුනිත් ජයතුංග ය. ඔහු තම කණ්ඩායම වෙනුවෙන් ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට සහ කොළඹ වෙස්ලි විද්‍යාලයට එරෙහිව ශතක දෙකක් වාර්තා කර ඇත. ඊට අමතරව ඔහුගේ ලකුණු ගිණුමේ අර්ධ ශතක 6ක් ද ඇතුළත් ය. 

ඔහුට අමතරව සුඛිත ප්‍රනාන්දු අර්ධ ශතක 7ක් ද, නිකිත අභිලාෂ් අර්ධ ශතක 5ක් ද රැස්කර ගනිමින් මෙවර වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ ප්‍රධාන ප්‍රතිවාදීන් වීමට සිටියි. 

පන්දු යවන්නන් අතුරින් කළණ සංදීප වෙත තබා ඇති බලාපොරොත්තු ඉහළ ය. ඔහු මෙම තරගවාරයේ දී කඩුලු 5කට වඩා වැඩියෙන් දවා ගත් අවස්ථා 3ක් වාර්තා කර ඇත්තේ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව ලකුණු 43කට කඩුලු 8ක් දවා ගනිමින් එය තම හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ගනිමිනි. ඔහු පිතිකරුවෙකු ලෙස ද අවශ්‍ය අවස්ථාවල දක්ෂතා දැක්වීමේ ද සමත්කම් දක්වයි. 

ඊට අමතරව නදීර ප්‍රනාන්දු, මාතර සාන්ත තෝමස් විද්‍යාලයට එරෙහිව ලකුණු 48කට කඩුලු 7ක් දවා ගනිමින් පෑ දක්ෂතාව සාන්ත සෙබස්තියන් වෙනුවෙන් මෙම තරගවාරයේ පෑ හොඳම පන්දු යැවීමේ දක්ෂතාව විය. සසික පෙරේරා, සුපුන් ප්‍රනාන්දු ද සාන්ත සෙබස්තියන් වෙනුවෙන් දක්ෂතා දක්වන පන්දු යවන්නෝ ලෙසින් හඳුන්වයි. 

ඉඳුවර ද අල්විස් සහ ජනිශ්ක පෙරේරා තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් කණ්ඩායම ශක්තිමත් කිරීමට පෙර මග බලා සිටිති. 

සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම:  

ජනිශ්ක පෙරේරා (නායක), නවෝද් සිල්වා, සනත් පෙරේරා, නදීර ප්‍රනාන්දු, සඳුන් ප්‍රනාන්දු, දිදුල පීරිස්, අශාන් ප්‍රනාන්දු, සවිඳු රොද්‍රිගෝ, නිලාශ් පෙරේරා, කළණ සංදීප, බිහඟ මෙන්ඩිස්, සුපුන් ප්‍රනාන්දු, චකිල පෙරේරා, දුලාර ප්‍රනාන්දු, සුකිත ප්‍රසන්න, සසික පෙරේරා, නිශිත අභිලාශ්, තඩුල කවීශ, දුනිත් ජයතුංග. 

නිලධාරීන්: ඉමාල් බොතේජු (ප්‍රධාන පුහුණුකරු), සමිත් ප්‍රනාන්දු (දෙවැනි පෙළ පුහුණුකරු). 

රන් සටන් ඉතිහාසය

රන් සටන් ඉතිහාසයේ ආරම්භය 1933 වසරයි. මංගල මහා තරගයේ දී වේල්ස් කුමර විද්‍යාලය ඩන්කන් ප්‍රනාන්දු විසින් මෙහෙය වූ අතර සාන්ත සෙබස්තියන් විද්‍යාලයීය කණ්ඩායම එව්ජින් ද සිල්වා විසින් මෙහෙයවමින් තරගමාලාවේ පළමු නායකයන් ලෙසින් ඉතිහාසයට එක් වී ඇත. එතැන් සිට ගෙවී ගිය ඉතිහාසයේ 6 වතාවක් වේල්ස් කුමරුවන් ද තෙවතාවක් සාන්ත සෙබස්තියන්වරුන් ද කුසලානය දිනා ඇත. 

තරග ඉතිහාසයේ මංගල ජයග්‍රාහකයන් වන්නේ වේල්ස් කුමරුවන් ය. ඒ 1935 වසරේ දී අර්නි ද සිල්වාගේ නායකත්වයෙන් ලැබූ ජයග්‍රහණය යි. සාන්ත සෙබස්තියන් විද්‍යාලය තරග ඉතිහාසයේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කරන්නේ 1962 වසරේ දී ප්‍රියන්ත ප්‍රනාන්දුගේ නායකත්වය යටතේය. 

රන් සටන් ඉතිහාසයේ අවසන් වරට ජයග්‍රාහකයන් ලෙසින් ගෞරවය දිනා ඇත්තේ සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ ය. ඒ 2011 වසරේ සනිත ද මෙල්ගේ නායකත්වයෙන් යුතුව ලැබූ ජයග්‍රහණය යි. තරගමාලාවේ වැඩි ජයග්‍රහණ ලැබූව ද වේල්ස් කුමරුවන්ට වසර 43කින් මෙපිට ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට හැකි වී නොමැත. ඔවුන් අවසන් වරට ජයග්‍රහණය කර ඇත්තේ 1977 වසරේ ප්‍රේම්ලාල් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතුවය. 

තරග ඉතිහාසයේ ක්‍රීඩකයෙකු විසින් රැස්කර ගත් පෞද්ගලික වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා පොත් අතර පවතින්නේ 1991 වසරේ දී වේල්ස් කුමර විද්‍යාලයේ නිලන්ත බෝපගේ විසින් නොදැවී රැස්කර ගත් ලකුණු 179 යි. එකී වාර්තාවේ සාන්ත සෙබස්තියන් විද්‍යාලය ඉදිරියේ ලියැවී ඇත්තේ 1966 වසරේ දී ජෙරල්ඩ් මෙන්ඩිස් විසින් රැස්කර ගත් ලකුණු 148 යි. 

දක්ෂතම පන්දු යැවීම ලෙසින් වාර්තා වන්නේ 2009 වසරේ දී සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ අනුක් ද අල්විස් ලකුණු 53කට දවා ගත් කඩුලු 8 ය. වේල්ස් කුමරුවන් වෙනුවෙන් එම වාර්තාව ලියැවෙන්නේ සුරංග විජේනායක ලකුණු 33කට දවා ගත් කඩුලු 7 ය. 

ඩිල්ශාන්ගේ වික්‍රමයෙන් ජයග්‍රහණය ශ්‍රී ලංකාවට

Road Safety World Series විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම හා…

රන් සටන් ඉතිහාසයේ කණ්ඩායමක් විසින් ඉනිමක දී රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ වේල්ස් කුමරුවන් විසින් 1958 වසරේ දී කඩුලු 9ක් දැවී රැස්කර ගත් ලකුණු 415 ය. එකී වාර්තාව සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් 1966 දී කඩුලු 7කට රැස්කර ගත් ලකුණු 321 ලෙසින් සටහන් ව ඇත. අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසින් වාර්තා පොත්වල සටහන්ව ඇත්තේ සාන්ත සෙබස්තියන් විදයාලය 1937 වසරේ දී ලකුණු 36කට දැවී යෑමය.  ප්‍රතිවාදී වේල්ස් කුමරුවන් ඉදිරියේ එය සටහන් ව ඇත්තේ 1984 දී සියලු දෙනා දැවී රැස්කර ගත් ලකුණු 67 යි. 

මේ අතීත මතකයන් ද සමඟින් පැවැත්වෙන රන් සටන, මෙවර ද පෙර වසර වලදී සේම දැඩි උණුසුම් තරගකාරීත්වයක් ගනු ඇතැයි විශ්වාස කළ හැකිය. 70 වැනි රන් සටනට එක්වෙන වේල්ස් කුමරුවන්ටත් සාන්ත සෙබස්තියන්වරුන්ටත් Thepapare.com වෙතින් උණුසුම් සුබ පැතුම් එක් කරමු. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<