යොවුන් ලෝක කුසලානය දිනූ ශ්‍රී ලාංකික පුහුණුකරුගේ කාලය දික්වෙයි

3699

2020 19න් පහළ ලෝක කුසලාන ශූරතාව ජයග්‍රහණය කිරීම සඳහා බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමට මඟ පෙන්වූ නවීඩ් නවාස් ඇතුළු පුහුණු කාර්‍ය මණ්ඩලයේ ගිවිසුම් ගත කොන්ත්‍රාත්තුව 2022 වසර දක්වා දීර්ඝ කිරීමට එරට ක්‍රිකට් පරිපාලනය තීරණය කර ඇත.

බංගලාදේශ පොඩ්ඩන් සමඟ වැඩ ඇරඹූ ශ්‍රී ලංකාවේ නවීඩ් නවාස්

ඒ අනුව ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ නවීඩ් නවාස්, පන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කරන අබ්දුල්ලා අලි අක්තාර් (බංග්ලාදේශ ජාතික), පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන බාසිත් අලී (බංග්ලාදේශ ජාතික) සහ ශාරීරික යෝග්‍යතා පුහුණුකරු ලෙස කටයුතු කරන රිචර්ඩ් ස්ටෝයිනර් (එංගලන්ත ජාතික) යන පුහුණු කාර්‍ය මණ්ඩලය සඳහා මෙලෙස කොන්ත්‍රාත්තු ගිවිසුම් දීර්ඝ කර තිබේ.

දකුණු අප්‍රිකාවේ පැවති 19න් පහළ ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තය පරාජයට පත් කරමින් අවසන් මහා තරගය සඳහා වරම් දිනා ගත් බංග්ලාදේශය එහි දී ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් මේ ශූරතාව ජයග්‍රහණය කරන ලදි.

“අපේ 19න් පහළ ලෝක කුසලාන සංචිතයට සම්බන්ධ වූවන් විශාල වැඩ කොටසක් කරලා තියෙනවා. එහෙම නැතිව ලෝක කුසලානයක් දිනන්න බැහැ. ඒ නිසා ඔවුන් සමඟ 2022 වසර දක්වා දිගටම කටයුතු කිරීමට අපි මීට පෙර තීරණය කර තිබෙනවා. ඒක 19න් පහළ ලෝක කුසලානය වුනත් අපේ රටට ඒක ක්‍රිකට් ලෝක කුසලානයක් දින්නා වගේ තමයි” යැයි BCB ප්‍රධාන විධායක නිසාමුදීන් චෞද්රි මහතා පැවසීය.

බංග්ලාදේශයට ලෝක ක්‍රිකට් ශූරතාවක් පළමු වරට දිනා දීමට සමත් වූ කණ්ඩායම සඳහා මඟ පෙන්වූ පුහුණුකරුවෙකු වූ නවාස් මහතා 2009 වර්ෂයේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු සිදු කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායම සමඟ ද විවිධ මට්ටමින් සිය කාර්යභාරයන් ඉටු කරමින් අත්දැකීම් රාශියක් ලබාගෙන ඇති ක්‍රිකට් පුහුණුකරුවෙකි.

මේ වන විට 46 වැනි වියේ පසුවන වමත් පිතිකරුවෙකු වන නවාස් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් (1998 – 2002 කාල වකවානුවේ දී) එක් ටෙස්ට් ක්‍රිකට් තරගයක් හා එක්දින ක්‍රිකට් තරග 3ක් ක්‍රීඩා කර ඇති අතර පළමු පෙළ ක්‍රිකට් තරග 131ක් ක්‍රීඩා කරමින් ලකුණු 6892ක් ලබාගෙන ඇත්තේ අර්ධ ශතක 42ක් හා ශතක 12ක් ලබා ගනිමිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<