අයර්ලන්ත එක්දින සංචිතයට නවකයෙක්

අයර්ලන්ත කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2020

182

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා අයර්ලන්ත සංචිතය නම් කිරීමට එරට ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. ඇන්ඩි බැල්බර්නිගේ නායකත්වය යටතේ ක්‍රීඩකයන් 14 දෙනකුගෙන් සමන්විත මෙම සංචිතයට නවක ක්‍රීඩකයෙක් ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

අයර්ලන්තයට එරෙහි වන එංගලන්ත එක්දින සංචිතය

21 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක කර්ටිස් කැම්පර් මෙලෙස පළමු වරට අයර්ලන්ත ජාතික කණ්ඩායමට නම් කර තිබෙන අතර ඔවුන්ගේ එක්දින සංචිතය තුල නිත්‍ය ස්ථානයන් දිනාගෙන සිටි ස්ටුවර්ට් තොම්සන්, ෂෙන් ගෙට්කේට් සහ ආබාධයකට ලක්ව සිටි ඩේවිඩ් ඩෙලනි මෙම සංචිතයට එක් කර නොමැත. ‍

සංචිතය තෝරාගැනීමට පෙර අයර්ලන්ත ක්‍රිකට් බලධාරීන් ජූලි මස මැද දී ක්‍රීඩකයින් 21 දෙනෙකුගෙන් සමන්විත මූලික එක්දින සංචිතයක් නම් කළ අතර එම කණ්ඩායම එංගලන්ත ලයන්ස් කණ්ඩායම සමඟ පුහුණු තරගයකට එක් විය. ICC ලෝක එක්දින ක්‍රිකට් ශූරතාවලියේ තරගයක් ලෙස එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය සඳහා සිය අවසන් සංචිතය නම් කර ඇත්තේ එම පුහුණු තරගයට පසුවයි.

මේ මස 18 වැනිදා සවුත්හැම්ප්ටන් බලා පැමිණි සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන මෙම සුවිශේෂී ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (30) ආරම්භ වන අතර, දෙවැනි තරගය අගෝස්තු 1 වැනිදාත්, තෙවැනි සහ අවසන් තරගය 4 වැනිදාත් පැවැත්වීමට නියමිතය.

අයර්ලන්ත එක්දින සංචිතය – ඇන්ඩි බැල්බර්නි (නායක), පෝල් ස්ටර්ලිං, කර්ටිස් කැම්පර්, ගරෙත් ඩෙලනි, ජොෂ් ලිට්ල්, ඇන්ඩෘ මැක්බ්‍රීන්, බැරී මැකාති, කෙවින් ඕ බ්‍රයන්, විලියම් පෝටර්ෆීල්ඩ්, බොයිඩ් රැන්කින්, සිමි සිං, ක්‍රේග් යන්ග්, හැරී ටෙක්ටර්, ලෝර්කන් ටකර්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<