නවකයින්ගේ දක්ෂතා නිසා මුම්බායි පිළට තවත් ජයක්

1612
IPL Sunrisers hyderabad v Mumbai indians

ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම වැජඹුණු සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට මෙවර තරගාවලියේ ප්‍රථම පරාජය උරුමකර දීමට ඊයේ (12) මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. අයි.පී.එල්. තරග බිමේ පැවැත්වෙන බොහෝමයක් තරග වල දී විදෙස් ක්‍රීඩකයින් සුපිරි දක්ෂතා දැක්වූවත් ඊයේ දිනයේ මුම්බායි පිළ වෙනුවෙන් නවක ක්‍රීඩකයින් රැසක් දක්ෂතා දක්වමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා කැටුව යාම සුවිශේෂී සිදුවීමක් බවට පත්විය.

සන්ජුගේ ප්‍රහාරය නිසා දිල්ලි පිළට ලකුණු 97ක ජයක්

ඉන්දියානු නැගී එන ක්‍රීඩක සන්ජු සැම්සන්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට මෙවර තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය හිමිකර…

කාසියේ වාසිය දිනා ගත් මුම්බායි ඉන්දියන්ස් පිළ ප්‍රතිවාදී සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම පිතිකරණ සඳහා කැඳවන්නේ තමන් සතු දක්ෂ පන්දු යැවීමේ බල ඇණියෙන් ආරම්භක වාසියක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. නමුත් ඊට එරෙහිව සාර්ථක ප්‍රතිරෝධයක් දැක්වූ ඩේවිඩ් වෝනර් සහ ශිකර් ධවාන් යන ආරම්භක පිතිකරුවන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක විශිෂ්ට සබඳතාවයක් ගොඩ නැගූහ. කලකට පසු ලකුණු අතරට පිවිසි ධවාන් ඊයේ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 48ක් රැස් කළේය.

සන්රයිසර්ස් කණ්ඩායමට හිමිවුනු මෙම ශක්තිමත් අඩිතාලම ඔස්සේ විශාල ලකුණු ගණනක් කරා ඉනිම ගොඩ නැගීම කණ්ඩායමේ සෙසු පිතිකරුවන්ගේ වගකීම බවට පත් වුවත් එය නිසි ආකාරයෙන් ඉටු වන බවක් පෙනෙන්නට නොතිබිණ. ඒ යුවරාජ් සින්, දීපක් හූඩා, නමන් ඕජා වැනි පිතිකරුවන් ඊයේ තනි ඉලක්කමේ ලකුණු වලට සීමාවුනු බැවිනි. එබැවින් සන්රයිසර්ස් කණ්ඩායමේ අවසන් කඩුලු 7 ලකුණු 72ක් තුලදී බිඳ වැටී ලකුණු 158කට සීමා වන්නට ඔවුන්ට සිදුවිය.

සන්රයිසර්ස් පිළ වෙනුවෙන් කවදත් තම වගකීම උපරිමයෙන් ඉටු කරන ඩේවිඩ් වෝනර් ඊයේ හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 49ක් රැස් කළේය. ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට අවශ්‍ය වූයේ පන්දු 34ක් පමණි. සන්රයිසර්ස් ඉනිමේ සාර්ථක වූ අනෙක් එකම පිතිකරුවා ලෙස බෙන් කටින් පන්දු 10කින් ලකුණු 20ක් ලබා ගත්තේය. මුම්බායි පිළ වෙනුවෙන් ඉතාමත් පාලනයකින් යුතුව පන්දු යැවූ ජස්ප්‍රිට් බූම්රාහ් ලකුණු 24කට කඩුලු 3ක් දවා ගනිද්දී හර්බජාන් සින්ට කඩුලු 2ක් හිමිවිය. මීට අමතරව හොඳින් පන්දු යැවූ ලසිත් මාලිංග සහ හාර්දික් පාණ්ඩ්‍යා එක් කඩුල්ල බැගින් බිඳ හෙලූහ.

සන්රයිසර්ස් පිළෙන් හිමිවූ ලකුණු 159ක අභියෝගය භාරගත් මුම්බායි පිතිකරුවන්ගේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 28කට සීමාවිය. ඒ ලකුණු 14ක් ලබා සිටි ජෝස් බට්ලර්ගේ කඩුල්ල අශිශ් නෙහ්රාගේ පන්දුවක් හමුවේ බිඳ වැටුණු බැවිනි. මුම්බායි කණ්ඩායමේ නායකත්වය දැරූවද මේ දිනවල ලකුණු ඉඩෝරයකට මුහුණ දී සිටින රෝහිත් ශර්මාට ද ඊයේ දිනයේදී ලකුණු 4කට සීමා වන්නට සිදුවිය. කෙසේවෙතත් තම කණ්ඩායමට විශාල පීඩනයකට හසු වීමට ඉඩ නොදුන් පාතිව් පටෙල් හතරේ පහර 7ක් සමගින් වේගවත් ලකුණු 39ක් රැස් කළේය.

කෙසේවෙතත් ජෝස් බට්ලර්, කිරන් පොලාර්ඩ් වැනි විදේශීය ක්‍රීඩකයින්ට ඉහළ දක්ෂතා දැක්වීමට නොහැකි වුනු මෙම තරගයේ මුම්බායි පිළ වෙනුවෙන් වැඩි වගකීමක් හිමිවන්නේ නවක ක්‍රීඩකයින් වන නිතිශ් රනාට සහ කෘනාල් පාණ්ඩ්‍යාටයි. එම වගකීම අකුරටම ඉටුකල ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 38ක් එක් කරමින් මුම්බායි කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන මානය දක්වා ගෙන එන්නට සමත් විය. වමත් පිතිකරු නිතිශ් රනා ඊයේ හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමගින් රැස්කල ලකුණු 45 මුම්බායි ජයග්‍රහණයට බොහෝ සෙයින් හේතුවිය.

කෘනාල් පාණ්ඩ්‍යා ද කණ්ඩායමට අත්‍යවශ්‍යම මොහොතේදී ලකුණු වේගය ඉහළ දමමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමගින් ලකුණු 37ක් රැස් කළේය. සන්රයිසර්ස් පන්දු යවන්නන් අසරණ කළ ඔහුගේ ඉනිමට වැයවුනේ පන්දු 20ක් පමණි. මෙම නවක ඉන්දියානු පිතිකරුවන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් අන්දමන්ද වුනු සන්රයිසර්ස් කණ්ඩායමට මෙවර අයි.පී.එල් තරගාවලියේ ප්‍රථම පරාජය වැළඳගන්නට සිදුවිය.

පන්දු යැවීමේදී දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක බුවනේශ්වර් කුමාර් ලකුණු 21කට කඩුලු 3ක් බිඳ හෙලමින් ඉහළ දක්ෂතා ප්‍රකට කළේය. මෙම තරගයේදී එක් කඩුල්ලකට පමණක් හිමිකම් කියූවද ඇෆ්ගනිස්තානු දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් කාන් සිය පන්දුවාර 4 ලකුණු 19කට සීමා කිරීමට සමත් විය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය හිමිවූයේ කඩුලු 4කිනි. තරගයේ වීරයා සම්මානය දක්ෂ පන්දු යැවීමක නිරත වුනු ජස්ප්‍රිට් බූම්රාහ්ට හිමිවිය.

මෙවර අයි.පී.එල්  තරගාවලියේ පෙරමුණේ පසුවුනු සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම මෙම තරගයේදී පසුබෑමත් සමග ප්‍රසාද ලකුණු සටහනේ අංක 1ට පැමිණෙන්නට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත් විය. මේ වනවිට අයි.පී.එල් 10 වැනි අදියරේ තවමත් අපරාජිතව සිටින එකම කණ්ඩායම වන පන්ජාබ් කණ්ඩායම සහ ප්‍රබල කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 8ට ආරම්භ වීමට නියමිතව ඇත.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් – කඩුලු 8ක් දැවී ලකුණු 158 (පන්දුවාර 20): ඩේවිඩ් වෝනර් 49, ශිකර් ධවාන් 48, බෙන් කටින් 20, නමන් ඕජා 9, දීපක් හූඩා 9, ජස්ප්‍රිට් බූම්රාහ් 3/24, හර්බජාන් සින් 2/23, හාර්දික් පාණ්ඩ්‍යා 1/22, ලසිත් මාලිංග 1/30.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 6ක් දැවී ලකුණු 159 (පන්දුවාර 18.4): නිතිශ් රනා 45, පාතිව් පටෙල් 39, කෘනාල් පාණ්ඩ්‍යා 37, ජෝස් බට්ලර් 14, කිරන් පොලාර්ඩ් 11, බුවනේශ්වර් කුමාර් 3/21, දිපක් හූඩා 1/18.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට