සන්ජුගේ ප්‍රහාරය නිසා දිල්ලි පිළට ලකුණු 97ක ජයක්

1884
ESPN cricinfo​

ඉන්දියානු නැගී එන ක්‍රීඩක සන්ජු සැම්සන්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට මෙවර තරගාවලියේ ප්‍රථම ජයග්‍රහණය හිමිකර ගැනීමට ඊයේ (11) අවස්ථාව උදාවිය. ඒ ප්‍රතිවාදී රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම පරාජයට පත් කරමිනි.

ඩිවිලියර්ස් හදවත් දිනා ගනිද්දී කිංග්ස් XI තරගය දිනා ගනියි

ගතවන මොහොතක් පාසා කුමක් හෝ විශේෂිත සිදුවීමක් වාර්තා වන අයි.පී.එල්. පිටියේ ඊයේ දිනයේ (10) බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට…

කාසියේ වාසිය දිනා ගත් පූනේ නායක අජින්ක්‍යා රහානේ මුලින් පන්දුවට පහර දීමට දිල්ලි ක්‍රීඩකයින්ට ඇරයුම් කළේය. ඒ අනුව ඉනිම අරඹන දිල්ලි කණ්ඩායමේ මුල්ම කඩුල්ල ලකුණු 2දී බිඳ වැටෙන්නේ ආදිත්‍ය තාරේ ලකුණු නොලබාම පිටියෙන් ඉවත් කිරීමට දීපක් චහර් සමත්වීම නිසයි. ඒ අනුව ඉනිම ගොඩ නැගීමේ වගකීම භාර වන්නේ එංගලන්ත ක්‍රීඩක සෑම් බිලින්ග්ස්ට සහ 22 හැවිරිදි යොවුන් ක්‍රීඩක සන්ජු සැම්සන්ටයි.

ආරම්භය බිඳ වැටුණු දිල්ලි ඉනිමට දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 69ක සබඳතාවයක් ගොඩ නැංවීමට ඔවුන් දෙදෙනා සමත් විය. පිටියේ ස්ථාවර වීමට වැඩි වේලාවක් නොගත් සන්ජු කවර් සහ පොයින්ට් කලාප හරහා පන්දුව යොමු කරමින් තමා මුහුණ දුන් මුල් පන්දු 14 තුලදී ලකුණු 31ක් රැස්කර ගත්තේය. අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් සෑම් බිලින්ග්ස් ද සාර්ථක ලෙස පිත්ත හැසිරවීම නිසා දිල්ලි කණ්ඩායමට පවර්ප්ලේ අවස්ථාව නිමාවෙද්දී එක් කඩුල්ලකට ලකුණු 62ක් ලබා ගැනීමට හැකිවිය.

කෙසේ වෙතත් තහීර්, සැම්පා සහ රාජට් භාතියා වැනි මද වේග පන්දු යවන්නන් හඳුන්වා දීමත් සමග සැම්සන්ගේ ප්‍රහාරය තරමක් දුරට හීන වී ගිය අතර කඩුලු අතර දුවගොස් ලකුණු ලබා ගැනීමට ඔහු පෙළඹුණි. නමුත් අනෙක් අන්තයේ සිටි රිශාබ් පන්ට් පන්දු 22කින් ප්‍රවේගකාරී ලකුණු 31ක් ලබා ගැනීම නිසා දිල්ලි පිළට ලකුණු වේගය පිළිබඳ ගැටලුවක් පැණ නැගුණේ නැත. ඉනිමේ අවසන් භාගය උදාවීමත් සමඟ නැවතත් තම ගියරය මාරු කළ සැම්සන්ස් තමා මුහුණ දුන් අවසන් පන්දු 17 තුල දී පූනේ කණ්ඩායමෙන් ලකුණු 48ක් උදුරා ගැනීමට සමත් විය. අශෝක් ඩින්ඩාගේ 18 වැනි පන්දු වාරයට ලකුණු 19ක් ලබාගත් සන්ජු, ඇඩම් සැම්පාගේ දඟ පන්දුවකට හයේ පහරක් එල්ල කරමින් තම මංගල ශතකයට හිමිකම් කීවේය.

ඔහු ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව ඉන්දියානු විස්තර විචාරකයෙකු මෙන්ම හිටපු පිතිකරුවෙකු ද වන සුනිල් ගවස්කාර් ප්‍රකාශ කර සිටියේ සන්ජු සැම්සන්ගේ පිතිකරණ රටාව ශ්‍රී ලාංකේය සුපිරි පිතිකරු මහේල ජයවර්ධනගේ ක්‍රීඩා ශෛලියට සමානතාවයක් දක්වන බවයි. කෙසේ වෙතත් තවමත් එක් ජාත්‍යන්තර තරගයකට පමණක් ක්‍රීඩා කර ඇති සන්ජුට මහේලගේ තත්ත්වයට ලඟා වීමට නම් තව බොහෝ දුරක් ගමන් කිරීමට සිදුවනු ඇත. පන්දු 63ක් තුල වාර්තා වුනු සන්ජුගේ ශතකයට හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් ඇතුළත් විය.

දිල්ලි ඉනිමේ නිමා වීමට පන්දු 10ක් පමණක් ඉතිරිව තිබිය දී පිටියට පැමිණෙන ක්‍රිස් මොරිස් බිහිසුණු ප්‍රහාරයක නිරත වෙමින් නොදැවී ලකුණු 38ක් රැස් කරන්නේ පූනේ කණ්ඩායමේ අවසන් ජයග්‍රහණ බලාපොරොත්තුව ද සුණුවිසුණු කර දමමිනි. ඔහුගේ සුපිරි ප්‍රහාරයට හසුවුනු ඇඩම් සැම්පා 19වැනි පන්දු වාරයට ලකුණු 22ක් ලබා දුන් අතර, බෙන් ස්ටෝක්ස්ගෙන් ලකුණු 23ක් ගිලිහී ගියේය. පන්දු 9ක් පමණක් වැයවුණු මොරිස්ගේ ප්‍රහාරයට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. එබැවින් මොරිස් පිටියට පැමිණෙන විට කඩුලු 4ක් දැවී ලකුණු 166ක් ලබා සිටි දිල්ලි පිළට ලකුණු 205ක් රැස්කර ගැනීමට හැකිවිය.

මෙම ලකුණු ප්‍රමාණය හඹා යාම සඳහා පිටියට පිවිසි රයිසින් පූනේ කණ්ඩායමෙන් කිසිදු සාර්ථකත්වයක් දකින්නට නොලැබුණු අතර ලකුණු 108ක් තුල දී තම සියලුම කඩුලු අහිමි කර ගැනීමට ඔවුන්ට සිදුවිය. දිල්ලි පිතිකරුවන් ප්‍රබල ප්‍රහාරයක් දියත් කල තණතිල්ලේදී කිසිදු පූනේ පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව ඉක්මවා යාමට නොහැකි වීම විශේෂත්වයක් බවට පත්විය.

වයස අවුරුදු 38ක් වුවත් තම වේග පන්දුවේ ශක්තිය හීන කර නොගත් සහීර් කාන් කඩුලු 3ක් දවා ගනිමින් ඊයේ සුවිශේෂී දක්ෂතාවයන් ප්‍රකට කළේය. පා දඟ පන්දු යවන ක්‍රීඩක අමිත් මිෂ්රාටද පූනේ පිතිකරුවන් තිදෙනෙකු ගොදුරු විය. සමස්ථයක් වශයෙන් දිල්ලි පිළේ පන්දු යැවීම ඉතාමත් ඉහළ මට්ටමක පැවතුණු අතර ඒ හේතුවෙන් ලකුණු 97ක විශිෂ්ට ජයක් ඔවුන්ට හිමිවිය.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද රාත්‍රී 8ට පැවැත්වෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ අංක 1 පසුවන සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ මාලිංග සහ අසේල නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර උණුසුම් තරගයයි.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් – කඩුලු 4ක් දැවී ලකුණු 205 (පන්දුවාර 20): සන්ජු සැම්සන් 102, ක්‍රිස් මොරිස් 38*, රිශාබ් පැන්ට් 31, සෑම් බිලින්ග්ස් 24, ඉම්රාන් තහීර් 1/24, දීපක් චහර් 1/35, ඇඩම් සැම්පා 1/45.

රයිසින් පූනේ – සියල්ලන්ම දැවී ලකුණු 108 (පන්දුවාර 16.1): මායන්ක් අගර්වාල් 20, රාජට් භාතියා 16, දීපක් චහර් 14, එම්.එස්. දෝනි 11, අමිත් මිෂ්රා 3/11, සහීර් කාන් 3/20, පැට් කමින්ස් 2/24.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට