නිල් මහා සංග්‍රාමය කල් යයි

රාජකීය - සාන්ත තෝමස් 142වන නිල් මහා සටන

236

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර වාර්ෂිකව පැවැත්වෙන සුප්‍රසිද්ධ නිල් මහ සංග්‍රාමයේ 142 වැනි අදියර, දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කර තිබෙනවා.

මෙවර සංග්‍රාමය 2021 මැයි 6 වැනිදා සිට 8 වැනිදා දක්වා හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, ක්‍රීඩකයින් හට සිදු කළ PCR පරීක්ෂණවල දී ක්‍රීඩකයින් සිව්දෙනෙකු හට COVID-19 වයිරසය ආසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙන නිසාවෙන් තරග සංවිධායකයින් විසින් මේ තරගය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ThePapare.com වෙත අද (26) තහවුරු කළා.

තවද මස්ටෑන්ග් කුසලානය වෙනුවෙන් දෙවිදුහල් අතර පැවැත්වෙන එක්දින සීමිත පන්දුවාර වාර්ෂික ක්‍රිකට් සංග්‍රාමය මෙවර විස්සයි විස්ස තරගයක් ලෙස 2021 මැයි 10 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණ ද, එය ද පෙර සැලසුම් කර පරිදි පැවැත්වෙන්නේ නැහැ.

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් යම් යම් සීමාවලට යටත්ව ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව මෙවර නිල් මහ සටන පැවැත්වීමට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර තිබූ නමුත්, උද්ගත වී ඇති හදිසි තත්වය සහ රටේ ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් තරග සංවිධායකයින් විසින් මේ තීරණය ගෙන තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

මෙවර සංග්‍රාමයේ දී, තුන් ඉරියව් ක්‍රීඩක ශලින් ද මෙල් විසින් ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට නායකත්වය ලබා දෙන විට, සුපිරි පිතිකරු අහන් වික්‍රමසිංහ රාජකීය කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නට නියමිතව තිබුණා.

රාජකීය-සාන්ත තෝමස් නිල් මහා සංග්‍රාමයට වසර 142ක් පුරා විහිදුණු වර්ණවත් ඉතිහාසයක් හිමි වෙනවා. ලොව දීර්ඝතම කාලයක් අඛණ්ඩව පැවති ක්‍රිකට් තරගාවලි අතර මෙය දෙවැනි වන්නේ ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හී සාන්ත පීතර විදුහල හා ප්‍රින්ස් ඇල්ෆ්‍රඩ් විදුහල අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගයට පමණයි. එය ඇරඹී ඇත්තේ රාජකීය-සාන්ත තෝමස් තරගය ආරම්භ වීමට වසරකට පෙරයි. 

එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹෙන්නේ රාජකීය-සාන්ත තෝමස් වාර්ෂික මහා තරග ඇරඹුමෙන් දෙවසරකට පසුවයි.

142 වැනි නිල් මහ සටන නැවත පැවැත්වෙන දිනයක් පිළිබඳව තරග සංවිධාකයකයින් ඉදිරියේ දී දැනුම් දීමට බලාපොරොත්තු වන අතර එහි නවතම තොරතුරු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින්. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<