ඩිවිලියර්ස් හදවත් දිනා ගනිද්දී කිංග්ස් XI තරගය දිනා ගනියි

1212
IPL Royal Challengers v Kings XI Punjab
Photo by Shaun Roy - IPL - Sportzpics

ගතවන මොහොතක් පාසා කුමක් හෝ විශේෂිත සිදුවීමක් වාර්තා වන අයි.පී.එල්. පිටියේ ඊයේ දිනයේ (10) බොහෝ දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වූයේ දකුණු අප්‍රිකානු සුපිරි ප්‍රහාරක ඒ.බී. ඩිවිලියර්ස් ක්‍රීඩා කළ ප්‍රවේගකාරී ඉනිමයි. නමුත් ඩිවිලියර්ස්ගේ මෙම තනි වෑයමට තම සැලසුම් පාවා නොදුන් කිංග්ස් XI ක්‍රීඩකයින් කඩුලු 8ක පහසු ජයක් තහවුරු කර ගත්හ.

මාලිංගගේ ආගමනයත් සමග මුම්බායි ඉන්දියන්ස් වැඩ අල්ලයි

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇරඹුනු දා පටන්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සිය වගකීම නොපිරිහෙලා ඉටුකර ඇති ලසිත් මාලිංග ඊයේ දිනයේ…

ඊයේ දිනයේ පැවති එකම අයි.පී.එල් තරගය බවට පත්වූ මෙහි කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වෙන්නේ බැංගලෝර් නායක ශේන් වොට්සනුයි. ඒ අනුව මුලින් පන්දුවට පහර දී විශාල ලකුණු ගණනක් කරා යාම ඔහුගේ සිහිනය බවට පත්විය. ආබාධයක් හේතුවෙන් බැංගලෝර් කණ්ඩායමේ ප්‍රථම තරගය අහිමි වුනු ඩිවිලියර්ස් මෙම තරගයේදී නැවතත් කණ්ඩායම සමග එක්වී තිබුනේ කොදෙව් දැවැන්තයා – ක්‍රිස් ගේල් වෙනුවටයි. පන්ජාබ් කණ්ඩායම ද ස්වප්නිල් සින් වෙනුවට වැඩි වේගයක් සහිත වරුන් ආරෝන් කණ්ඩායමට කැඳවා තිබුණි.

ආරම්භයම වරද්දා ගත් රෝයල් චැලේන්ජර්ස් ක්‍රීඩකයින් තම මුල්පෙළ කඩුලු 3ම ලකුණු 22ක් තුල දී අහිමි කර ගැනීම පන්ජාබ් කණ්ඩායමේ ජය මාවත කල එළි කිරීමට බොහෝ සෙයින් හේතුවිය. මීට පෙර තරග වලදීත් පන්ජාබ් කණ්ඩායම හොඳින් දක්ෂතා දක්වා ඇති මෙම තණතීරුවේ බැංගලෝර් කණ්ඩායම පවර්ප්ලේ පන්දුවාර 6 තුල දී රැස්කර ගන්නේ ලකුණු 23ක් පමණි. ඒ අතරතුර දී පන්ජාබ් ක්‍රීඩකයින් නිලකුණු පන්දු 22ක්ම යවා තිබුණි.

බිඳ වැටුණු රෝයල් චැලේන්ජර්ස් ඉනිම පිළිසකර කිරීමේ කාර්‍ය භාරගත් ඩිවිලියර්ස් තමා මුහුණ දුන් මුල් පන්දු 28දී ලකුණු 31ක් රැස්කර ගත්තේය. නමුත් වැඩිපුර පිතිකරණ අන්තය ලබාගත් මන්දීප් සින් සහ ස්ටුවර්ට් බිනී පන්දු ගණනටත් වඩා අඩුවෙන් ලකුණු රැස් කිරීම බැංගලෝර් කණ්ඩායමට ලකුණු වේගය ඉහළ දමා ගැනීම සඳහා ප්‍රබල බාධකයක් විය. නමුත් ඉනිමේ අවසන් භාගයේ දී තම ප්‍රහාරය වැඩි දියුණු කල ඩිවිලියර්ස් තමා මුහුණ දුන් අවසන් පන්දු 18දී පන්ජාබ් පිළෙන් ලකුණු 58ක් උදුරා ගත්තේය.

අවසානයේ ඔහු තම ඉනිම නිමා කර ක්‍රීඩාගාරය බලා පියවර මැන්නේ හතරේ පහර 3ක් සහ හයේ පහර 9ක් සමගින් නොදැවී ලකුණු 89ක් රැස්කර ගනිමිනි. පන්දු 46ක් පමණක් වැයවුණු මෙම විශිෂ්ට ඉනිම දැකබලා ගත් ප්‍රේක්ෂකයින් දැවැන්ත ජය ඝෝෂාවකින් ඩිවිලියර්ස් වෙත තම සතුට පළකර සිටියහ. කෙසේ වෙතත් බැංගලෝර් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 148ක් පමණි. පන්දු යැවීමේ දී වරුන් ආරෝන් කඩුලු දෙකක් බිඳ හෙලූ අතර බැංගලෝර් ලකුණු වේගය අඩු කිරීමට මූලිකත්වය ගත් අක්සාර් පටෙල් තම පන්දුවාර 4 නිමා කලේ ලකුණු 12ක් ලබා දී එක් කඩුල්ලක් දවා ගනිමිනි.

ඩිවිලියර්ස්ගේ තනි මහන්සියෙන් ගොඩ නැගුණු රෝයල් චැලේන්ජර්ස් ලකුණු පුවරුව හඹා යාමට හොඳ දායකත්වය සැපයූ හෂිම් අම්ලා සහ මනන් වොහ්රා පන්ජාබ් කණ්ඩායමට ලකුණු 62ක වේගවත් ආරම්භයක් ලබා දුන්හ. ඔවුන් දෙදෙනාම ප්‍රවේගකාරී පිති හරඹයක යෙදෙමින් පන්දු යවන්නන්ගෙන් ලකුණු උදුරා ගැනීම නිසා බැංගලෝර් පිළේ අවසන් ජයග්‍රහණ බලාපොරොත්තු ද ක්‍රමයෙන් හීන වී ගියේය.

පන්දු 38කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමගින් නොදැවී ලකුණු 58ක් රැස් කරගත් හෂිම් අම්ලා පන්ජාබ් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. ලකුණු 34ක් ලබා සිටි වොහ්රා දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි ග්ලේන් මැක්ස්වෙල් පිට පිටම දෙවැනි වතාවටත් නොදැවුනු විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 43ක් රැස් කළේය. ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ සබඳතාවය ලකුණු 72කි. ඒ අනුව පන්දු 33ක් ඉතිරිව තිබිය දී කඩුලු 8ක පහසු ජයක් හිමි කරගත් පන්ජාබ් කණ්ඩායම මෙවර තරගාවලියේ අපරාජිත බව රැක ගැනීමට සමත් විය.

තරගයේ වීරයා සම්මානය බැංගලෝර් පිළේ ලකුණු වේගය අඩාල කල වමත් දඟ පන්දු යවන ක්‍රීඩක අක්සාර් පටෙල්ට හිමිවිය. අයි.පී.එල් තරගාවලියේ මෙතෙක් පැවති තරග ප්‍රතිඵලයන්ට අනුව තරග දෙක බැගින් ජය ගත් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට මුල් තැන ද, කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායමට දෙවැනි තැන ද හිමිව ඇත.

අද තරගය පැවැත්වෙන්නේ රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම අතරයි. පසුගිය කාලයේ ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් මේ වන විට තමන් නියෝජනය කරන දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සමඟ එක්වී ඇති අතර ඔහු අද තරගයට ක්‍රීඩා කරාවිද නැද්ද යන්න තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්වී නොමැත.

රෝයල් චැලේන්ජර්ස් – කඩුලු 4ක් දැවී ලකුණු 148 (පන්දුවාර 20): ඒ. බී. ඩිවිලියර්ස් 89*, මන්දීප් සින් 28, ස්ටුවර්ට් බිනී 18*, විෂ්ණු විනෝද් 7, වරුන් ආරෝන් 2/21, අක්සාර් පටෙල් 1/12.

කිංග්ස් XI පන්ජාබ් – කඩුලු 2ක් දැවී ලකුණු 150 (පන්දුවාර 14.3): හෂිම් අම්ලා 58*, ග්ලේන් මැක්ස්වෙල් 43*, මනන් වොහ්රා 34, ටයිමල් මිල්ස් 1/22, යුශ්වේන්ද්‍ර චහල් 1/29.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට