හිරු රැස් නිවී යද්දී කල්කටාව කුසලානය සොයා මෙහෙයුමක

462
IPL 2017 Sunrises Hydrabad v Kolkata knoghtriders report
ESPN Cricinfo

පුරා හෝරා 3කටත් අධික කාලයක් බැංගලෝර් හි එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණයට ඇද හැලුණු වර්ෂාව නිසාවෙන් පන්දුවාර කප්පාදුවකට හසුවුනු තරගයේ ජය ඊයේ (17) කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට හිමි විය. ඒ අනුව අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන ද්වන්ධ සටනක් හෙට මුම්බායි ඉන්දියන්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් දෙක අතර පැවැත්වෙනු ඇත.

පූනේ කණ්ඩායම අවසන් තරගයට රැගෙන ගිය 17 හැවිරිදි පන්දු යවන්නා

මෙවර තරග වාරයේ දී සුපිරි දක්ෂතා දක්වමින් කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඊයේ (17) පැවති අවසන්…

යම් හෙයකින් මෙම වර්ෂාව තවත් හෝරාවක් පමණ දීර්ඝ වී සුපිරි පන්දු වාරයකින් හෝ ජයග්‍රාහකයින් තෝරා ගැනීමට නොහැකි වූවානම් ප්‍රසාද ලකුණු සටහනේ කල්කටාවට වඩා පියවරක් ඉදිරියෙන් සිටි හයිද්‍රාබාද් කණ්ඩායමට ජයග්‍රහණය හිමි වන්නට ඉඩ තිබුණි. නමුත් සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ අවසන් ශූරතා බලාපොරොත්තුව ද බොඳ කළ වර්ෂාව කල්කටා ක්‍රීඩකයින්ට ජයග්‍රහණය කරා යන්නට පන්දුවාර 6ක කෙටි කාල පරාසයක් ලබා දුන්නේය.

කාසියේ වාසිය දිනා ගත් කල්කටා නායක ගෞතම් ගම්බීර් පසුගිය කාලයේ තරග රාශියක් පැවැත්වීම නිසාවෙන් ඉරි තැලී, අඳුරු පැහැ ගැන්වී තිබුණු තණතීරුවේ මුලින් පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ඇරයුම් කළේය. ඒ තම පන්දු යවන්නන්ට මෙම අඩු ලකුණු තණතිල්ලෙන් ලබාගත හැකි උපරිම වාසි ලබා දීමේ අරමුණ සිත යට සඟවා ගෙනයි. ඊට ප්‍රතිචාර දැක්වූ සන්රයිසර්ස් සුපුරුදු ආරම්භකයින් දෙදෙනා ඊයේ ලකුණු 25ක් ප්‍රථම කඩුල්ල වෙනුවෙන් එක් කළහ.

ලකුණු 11ක් ලබා සිටි ධවාන් දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි කේන් විලියම්සන් නායක ඩේවිඩ් වෝනර් හා එක් වී අර්ධ ශතක සබඳතාවයක් පිහිටවූවද එය සාම්ප්‍රදායික විස්සයි විස්ස සබඳතාවයකට වඩා බොහෝ වෙනස් මුහුණුවරක් ගත්තේය. ඒ තණතිල්ලේ අත්භූත හැසිරීමෙන් අන්දමන්ද වුනු ඔවුන් දෙදෙනා ඉතාමත් සෙමින් තම ඉනිම ගොඩ නැංවූ බැවිනි. කවදත් ප්‍රතිවාදීන්ට අත දිගහැර සංග්‍රහ කිරීමට කැමැත්තක් දක්වන ඩේවිඩ් වෝනර්ගේ පිත්ත පවා ඊයේ වැඩි ශබ්දයක් නොනැගීය. මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා (641) ලෙසින් සිටින ඔහුට ඊයේ රැස් කිරීමට හැකි වූයේ පන්දු 35කදී ලකුණු 37ක් පමණි.

කේන් විලියම්සන්ගේ කෙටි ඉනිම ද ඊයේ ලකුණු 24කට සීමා විය. එක්දින ඉනිමකට වඩාත් සමානකම් දැක්වූ මෙම නවසීලන්ත සුපිරි පිතිකරුවාගේ ඉනිමට පන්දු 26ක්ම වැය විය. යුවරාජ් සිං, ක්‍රිස් ජෝර්ඩ්න් වැනි පිතිකරුවන්ට ඊයේ ලකුණු 10 සීමාවටවත් ලඟා වීමට කල්කටා පන්දු යවන්නෝ ඉඩ ලබා නොදුන්හ. චින්නස්වාමි තණතිල්ලෙන් ලැබුණු සහය උපරිමයෙන්ම උකහා ගත් ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක නේදන් කෝල්ටර්නයිල් ඊයේ ලකුණු 20කට කඩුලු 3ක් බිඳ හෙලීය. මීට අමතරව උමේෂ් යාදෙව්ගේ වේගයට පිතිකරුවන් දෙදෙනෙකු මෙල්ල විය.

එබැවින් ඉනිමේ අවසන් කොටසේ දී පවා ප්‍රහාරයක් එල්ල කිරීමට නොහැකි වුනු සන්රයිසර්ස් ඉනිම පන්දුවාර 20 අවසානයේ ලකුණු 128කට සීමා විය. එතැන් පටන් වර්ෂාව තරගයේ ප්‍රධාන භූමිකාවට පණ පෙවූ අතර තරගය නැවත ආරම්භ කිරීමට හැකි වූයේ පැය 3යි විනාඩි 18ක ප්‍රමාදයකින් අනතුරුවයි. ඒ කල්කටාවට ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 6කදී ලකුණු 48ක ඉලක්කයක් හිමිකර දෙමිනි. එම අභියෝගය ජය ගැනීම සඳහා මෙතෙක් කලක් භාවිතා කළ පිතිපෙළ කණපිට හරවමින් රොබින් උතප්පා සහ ක්‍රිස් ලින් ආරම්භක පිතිකරුවන් ලෙස භාවිතා කිරීමට කල්කටා කළමනාකාරිත්වය තීරණය කර තිබුණි.

විස්සයි විස්ස තරගයක දී ලකුණු 48ක් යනු පහසු ඉලක්කයක් වුවද තමන්ට අයි.පී.එල් කුසලානයේ පහස විඳ ගැනීමට ඇති අවසන් අවස්ථාව සටනකින් තොරව මග හරවා ගන්නට සන්රයිසර්ස් පන්දු යවන්නන් රුචිකත්වයක් දැක්වූයේ නැත. ඔවුන් ඊට ආරම්භය ලබා ගත්තේ ලකුණු 12ක් වෙද්දී කල්කටා පිතිකරුවන් තිදෙනෙකුම නැවතත් ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත් කරමිනි. උතප්පා, ලින් සහ යූසුෆ් පතාන්ට ඊයේ ඉලක්කම් දෙකේ ලකුණක් කරා හෝ යාමට හැකි නොවීය.

නමුත් කල්කටාව තැති ගැන්වුණු මෙම බිහිසුණු ප්‍රහාරය නතර කළ නායක ගෞතම් ගම්බීර් පන්දු 19කින් නොදැවී ලකුණු 32ක් රැස් කරමින් තම කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට ගමන් කිරීමට පාවඩ එලා දුන්නේය. ඔහුගේ වේගවත් ඉනිම අකුණු සැර වන් හතරේ පහර 2කින් සහ හයේ පහර 2කින් අලංකාරවත් විය. කල්කටාව මෙම තරගය ජය ගත්තේ ඉනිම නිමාවීමට පන්දු 4ක් ඉතිරිව තිබියදීයි. පන්දු යැවීමේ දී බුවනේශ්වර් කුමාර් සහ ක්‍රිස් ජෝර්ඩ්න් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය.

ඒ අනුව මේ වන විට තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා සහ කඩුලු ලාභියා (වෝනර් සහ බුවනේශ්වර්) අයත් වන සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත. ජයග්‍රහණය ලැබූ ප්‍රබල කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර උණුසුම් සටන හෙට (19) දිනයේ දී බැංගලෝර් නුවර දී ම පැවැත්වීමට මේ වන විටත් කටයුතු සූදානම් කෙරෙමින් පවතී. ඉන් ජය ගන්නා කණ්ඩායම රයිසින් පූනේ සුපර්ජයන්ට් කණ්ඩායම සමගින් ශූරතා කුසලානය වෙනුවෙන් සටන් වදිනු ඇත.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් – කඩුලු 7ක් දැවී ලකුණු 128 (පන්දුවාර 20): ඩේවිඩ් වෝනර් 37, කේන් විලියම්සන් 24, විජේ ශංකර් 22, නමන් ඕජා 16, ශිකර් ධවාන් 11, නේදන් කෝල්ටර්නයිල් 3/20, උමේෂ් යාදෙව් 2/21, පියුශ් චව්ලා 1/27.

කල්කටා නයිට් රයිඩර්ස් – කඩුලු 3ක් දැවී ලකුණු 48 (පන්දුවාර 5.2): ගෞතම් ගම්බීර් 32*, ක්‍රිස් ලින් 6, ඉශාන්ක් ජග්ගි 5*, ක්‍රිස් ජෝර්ඩ්න් 1/9, බුවනේශ්වර් කුමාර් 1/11.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට