පූනේ කණ්ඩායම අවසන් තරගයට රැගෙන ගිය 17 හැවිරිදි පන්දු යවන්නා

3304

මෙවර තරග වාරයේ දී සුපිරි දක්ෂතා දක්වමින් කැපී පෙනෙන ලෙස ඉදිරියට පැමිණි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ඊයේ (16) පැවති අවසන් වටයට සුදුසුකම් ලැබීමේ තරගයේ දී පූනේ ක්‍රීඩකයින් හමුවේ ලකුණු 20ක පරාජයක් අත්විය. ඒ අනුව පූනේ ක්‍රීඩකයින් කෙළින්ම අවසන් වටයේ අසුන් වෙන් කර ගත් අතර මුම්බායි ක්‍රීඩකයින්ට අද පැවැත්වෙන කල්කටා – සන්රයිසර්ස් අතර තරගයේ ජයග්‍රාහකයින් සමඟින් තරග වැදීමට සිදුව ඇත.

පන්ජාබ් සිහින බොඳ කරමින් සුපර්ජයන්ට් අවසන් වටයට

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ සියලුම තරග ඊයේ (14) දිනයෙන් නිමාවට පත්විය. එහි දී ජයග්‍රහණ වාර්තා කළ ස්ටීවන් ස්මිත්ගේ නායකත්වයෙන්…

මුම්බායි රාජධානිය ලෙසින් හැඳින්වෙන වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ඊයේ රාත්‍රියේ තරගය ආරම්භ වූයේ ජයග්‍රහණය පිළිබඳ සියලු කරුණු කාරණා මුම්බායි කණ්ඩායම දෙසට නැඹුරු කරමිනි. නීල පැහැති පීත්ත පටියක් ලෙසින් ප්‍රේක්ෂකාගාරය වසා ගත් මුම්බායි දිරි ගන්වන්නන් ඊට සාක්ෂි සැපයීය. ඔවුන්ගේ ජය හඬ මධ්‍යයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි නායක රෝහිත් ශර්මා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි.

ඒ අනුව තරගය ආරම්භ වී පන්දුවාර 2ක් ගතවීමටත් පෙර නවක ක්‍රීඩක රාහුල් ත්‍රිපති සහ නායක ස්ටීවන් ස්මිත් පිටියෙන් ඉවත් කරන්නට මුම්බායි ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා සමත් වූහ. ඒ වන විට පූනේ ලකුණු පුවරුවට එක්වී තිබුණේ ලකුණු 9ක් පමණි. එල්ල වුනු ප්‍රහාරයෙන් අන්දමන්ද වුනු අජින්ක්‍යා රහානේ සහ මනෝජ් තිවාරි වහාම ගියරය මාරු කරමින් සුපරීක්ෂාකාරී පිතිකරණ රටාවක් අනුගමනය කළහ. එහි ප්‍රතිඵලය බවට පත්වූයේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පූනේ කණ්ඩායමට ලකුණු 80ක වටිනා සබඳතාවයක් එක්වීමයි.

කණ්ඩායමට අත්‍යාවශ්‍යම තරගයක දී ලකුණු අතරට පිවිසි අජින්ක්‍යා රහානේ ඊයේ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟින් ලකුණු 56ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට පන්දු 43ක් ප්‍රමාණවත් විය. 13 වැනි පන්දු වාරයේ දී කරන් ශර්මාගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වුවද ඒ වන විටත් බිඳ වැටුණු ඉනිම පිළිසකර කර දීමට ඔහුගෙන් සුවිශාල කාර්‍යභාරයක් ඉටුවී තිබුණි. ඉන් අනතුරුව පිටියට පිවිසි එම්.එස්. දෝනි පන්දු 26කින් ලකුණු 40ක් රැස්කර ගනිමින් පූනේ කණ්ඩායමට ලකුණු 162ක් රැස්කර ගැනීමට මාර්ගය එළිපෙහෙළි කර දුන්නේය. වන්කඩේ ක්‍රීඩාංගණයේ සැකසී තිබුණු තරමක් මන්දගාමී තණතීරුවේ ලකුණු 150ට වැඩි ප්‍රමාණයක් තරගයක් ලබා දීමට ප්‍රමාණවත් විය.

ඉනිමේ අවසන් පන්දුවේ දී අමතර ලකුණක් ලබා ගැනීමට යාමේ දී දුවද්දී දැවී යාමකට හසු වුවද මනෝජ් තිවාරි ඊයේ ලකුණු 58ක් රැස් කරමින් පූනේ ඉනිමේ නැංගුරම බවට පත්විය. පන්දු 48ක් තුල ගොඩ නැගුණු ඔහුගේ විශිෂ්ට ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහර ද්විත්වයක් ඇතුළත් විය. කෙසේ වෙතත් පන්දුවාර 3කදී ලකුණු 14කට එක් කඩුල්ලක් බිඳ හෙලා තිබුණු ලසිත් මාලිංගට අවසන් පන්දු වාරය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදී ඒ වෙනුවට මිචෙල් මැක්ලනගන් යෙදවීම කාගේත් කතාබහට ලක්වුණු තීරණයක් බවට පත්විය. පූනේ කණ්ඩායමට අනපේක්ෂිත වාසියක් අත්කර දුන් මෙම පන්දු වාරයේ දී වාර්තා වුනු ලකුණු සංඛ්‍යාව 26කි.

අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ලකුණු 163ක ඉලක්කයක් හිමිවුණු මුම්බායි පිළට පන්දුවාර 20 අවසානයේ ලකුණු 142කට සීමා වන්නට සිදුවිය. ඒ මුම්බායි කණ්ඩායමට මීට පෙර තරග දිනවා දුන් බර අවි සියල්ලම ඊයේ අක්‍රිය තත්වයේ පැවතීම නිසයි. ලෙන්ඩ්ල් සිමන්ස්‍, කිරන් පොලාර්ඩ්, අම්බති රයිදු සහ රෝහිත් ශර්මා වැනි ප්‍රබල ක්‍රීඩකයින් සියලු දෙනාම ඊයේ තනි ඉලක්කමේ ලකුණු සංඛ්‍යා වලට සීමාවීම මුම්බායි පරාජයට පාර කැපීය.

අසරණ වුනු මුම්බායි ඉනිමට යම් බලාපොරොත්තුවක් හෝ එක් කළේ ආරම්භක පිතිකරු පාතිව් පටෙල් පමණි. ඔහු හතරේ පහර සහ හයේ පහර ත්‍රිත්වය බැගින් එල්ල කරමින් ලකුණු 52ක් රැස් කළේය. ඔහුගේ ඉනිමට පන්දු 40ක් වැයවිය. පන්දු යැවීමේ දී 17 හැවිරිදි ඉන්දියානු පිට දඟ පන්දු යවන ක්‍රීඩක වොෂින්ටන් සුන්දර් ලකුණු 16කට කඩුලු 3ක් බිඳ හෙලීය. මුම්බායි මැදපෙළ සුණුවිසුණු කළ සුන්දර්ගේ දඟ පන්දු හමුවේ ශර්මා, රයිදු සහ පොලාර්ඩ් දණ නැමීය. තරගයේ වීරයා සම්මානය හිමිවූයේ ද ඔහුටයි.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ කල්කටා නයිට්රයිඩර්ස් සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් අතර උණුසුම් තරගය අද රාත්‍රී 8ට බැංගලෝර් හිදී ආරම්භ වේ. ගල උඩ සටනක් බවට පත්වී ඇති මෙම තරගයෙන් පරාජය වන කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනු ඇත. ජය ගන්නා කණ්ඩායමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කලහොත් පමණක් අවසන් තරගයේ දොරගුළු විවර වේ.

රයිසින් පූනේ සුපර්ජයන්ට් – කඩුලු 4ක් දැවී ලකුණු 162 (පන්දුවාර 20): මනෝජ් තිවාරි 58, අජින්ක්‍යා රහානේ 56, එම්.එස්. දෝනි 40, ලසිත් මාලිංග 1/14, කරන් ශර්මා 1/30, මිචෙල් මැක්ලනගන් 1/46.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 9ක් දැවී ලකුණු 142 (පන්දුවාර 20): පාතිව් පටෙල් 52, ජස්ප්‍රිට් බුම්රාහ් 16*, කෘනාල් පාණ්ඩ්‍යා 15, හාර්දික් පාණ්ඩ්‍යා 14, මිචෙල් මැක්ලනගන් 12, වොෂින්ටන් සුන්දර් 3/16, ශාදුල් තකූර් 3/37.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට