IPL වටිනාකම ගැන Cameron Greenගෙන් ප්‍රකාශයක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

627

ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දෙවනුවට වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වීමට ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Cameron Greenට පසුගිය දා පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී හැකි වුනා.

23වැනි වියේ පසුවන Cameron Green ඉන්දීය කෝටි 17.5ක මුදලකට අලෙවි වූ අතර ඔහුව මිල දී ගත්තේ Mumbai Indians විසිනුයි.

මෙම වාර්තාගත අලෙවි වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් Green ප්‍රකාශ කර තිබුණේ, එතරම් මුදලකට අලෙවි වීමට තරම් දෙයක් තමා කර නොමැති බව සහ මෙම වටිනාකම නිසා තමන්ගේ ක්‍රීඩා රටාව වෙනස් නොකරන බවයි.

“සාධාරණව කිව්වොත් ඒ තරම් මුදලක් ලබා ගන්න තරම් දෙයක් මම කරලා නැහැ. මම ක්‍රීඩක වෙන්දේසියට මගේ නම දැම්මා විතරයි. ඒක කවදාවත් මම කවුද කියන එකවත් මගේ ක්‍රීඩා විලාශයවත් වෙනස් කරන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙනවා මම වෙනස් වෙන එකක් නැහැ කියලා.”

පසුගිය සතියේ පැවති ක්‍රීඩක වෙන්දේසියේ දී Cameron Green මිල දී ගැනීමට කණ්ඩායම් කිහිපයක්ම තරග වැදි අතර එම නිසාවෙන් ඔහුව තරගාවලි ඉතිහාසයේ දෙවැනියට වැඩිම වටිනාකමක් හිමි වූ ක්‍රීඩකයා ලෙස Mumbai Indians කණ්ඩායම ලබා ගත්තා.

තරගාවලි ඉතිහාසයේ වැඩිම වටිනාකමක් ලබා ගත් ක්‍රීඩකයා බවට පත් වීමට එංගලන්ත ක්‍රීඩක Sam Curranට හැකි වූ අතර Punjab Kings කණ්ඩායම විසින් ඔහුව ලබා ගත්තේ ඉන්දීය කෝටි 18.5ක මුදලකටයි.

තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වශයෙන් දීර්ඝ කාලීන ක්‍රීඩා දිවියක් සඳහා සිය වැඩ කොටස ඉතා හොඳින් කළමනාකරණය කළ යුතු බව Green ප්‍රකාශ කළ අතර ආබාධවලින් මිදීම සඳහා ඔහු පන්දු යැවීම ද තරමක් අඩු කර තිබෙනවා.

“මම හිතන්නේ ඔබේ ප්‍රමුඛතා වෙනස් වෙනවා. ඔබ පන්දු යවන්නෙක් විතරක් නම් පන්දු යැවීම ගැන සැලකිලිමත් වෙනවා. ඒ නිසා ඔබ පන්දුවාර 20 තුළ අනිවාර්යයෙන් පන්දු යවන නිසා ඔබට ඒ රිද්මය තියෙනවා. ඒකයි පන්දු යවන්නෙක් සහ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු අතර තියෙන වෙනස.

පන්දු යැවීම සහ පිතිකරණය සමව පවත්වා ගැනීම ඉතා අපහසු දෙයක්. ඒ නිසා ඔබට එක් දෙයකට මූලිකත්වය දෙන්න වෙනවා. මොකද ඔබ දෙකට ම අවධානය දෙන්න ගියොත් ඔබට වැටෙන පීඩනය ඉතා වැඩියි.

ඒ නිසා ඉදිරි සති කිහිපයේ දී මම මගේ පිතිකරණයට වැඩි අවධානයක් දීලා වැඩ කරන්න සූදානමින් ඉන්නවා.”

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<