ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (01) පැවති තරග දෙකම අවසන් පන්දු වාරයේ පස්වැනි පන්දුව දක්වාම ඇදී ගිය උණුසුම් තරග 2ක් බවට පත්විය. එහි දී තියුණු සටනකින් අනතුරුව ජයග්‍රහණය හිමි කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රයිසින් පූනේ සුපර්ජයන්ට් කණ්ඩායම සමත් විය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ශතකයක් වාර්තා කළ බෙන් ස්ටෝක්ස් ඊයේ දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්විය.

වෝනර්ගේ ලකුණු 126 ඉදිරියේ ප්‍රබල කල්කටාව දණ නමයි

ඕස්ට්‍රේලියානු සුපිරි ප්‍රහාරක ඩේවිඩ් වෝනර් පන්දු 59කින් ලබා ගත් ලකුණු 126 හේතුවෙන් ප්‍රබල කල්කටා නයිට් රයිඩර්ස්..

රෝයල් චැලෙන්ජර්ස් සහ මුම්බායි ඉන්දියන්ස් අතර තරගය

සිදුවීම් දෙකක් හේතුවෙන් මෙම තරගය මෙවර ප්‍රිමියර් ලීග් තරගාවලියේ සුවිශේෂීම ගැටුමක් බවට පත්විය. ඒ මෙම තරගය ජය ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සහ පරාජය භාර ගත් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම තරගාවලියෙන් ඉවත් වීම නිසයි. මේ වන විට තරග 11කට සහභාගි වී ඇති රෝයල් චැලෙන්ජර්ස් පිළ ජයගෙන ඇත්තේ තරග 2ක් පමණි.

කාසියේ වාසිය දිනා ගත් රෝයල් චැලෙන්ජර්ස් නායක විරාත් කෝලි ප්‍රථමයෙන් පිතිකරණයේ යෙදීමට තීරණය කළේය. ඒ අනුව කෝලි සමඟින් ඉනිම ඇරඹූ මන්දීප් සිං පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 31 සබඳතාවයක් ගොඩ නැගීමට සමත් විය. කෙසේ වෙතත් රෝයල් චැලෙන්ජර්ස් ඉදිරි පෙළ පිතිකරුවන් කිහිප දෙනාම අඩු ලකුණු සංඛ්‍යා වලට සීමා වීමත් සමඟ ඔවුන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යාමේ අවදානමක් මතුවිය. නමුත් ඒ. බී. ඩිවිලියර්ස් සහ පවන් නෙගී පිත්තෙන් සාර්ථක වීමත් සමඟ රෝයල් චැලෙන්ජර්ස් ඉනිම ලකුණු 162ක් දක්වා ඉහළ ගියේය.

කලකට පසු ලකුණු අතරට පිවිසි ඩිවිලියර්ස් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් පන්දු 27 දී ලකුණු 43ක් රැස්කර ගත්තේය. පවන් නෙගීගේ පිත්තෙන් පන්දු 23ක් තුල ගලා ආ ලකුණු සංඛ්‍යාව 35කි. ඊට එක් හතරේ පහරක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. පන්දු යැවීමේ දී මුම්බායි පිළ වෙනුවෙන් මිචෙල් මැක්ලනගන් ලකුණු 34ට කඩුලු 3ක් බිඳ හෙලීය. කෘනාල් පාණ්ඩ්‍යා කඩුලු 2යි. අයි.පී.එල්. තරගාවලියේ එකම ශ්‍රී ලාංකික නියෝජනය වන ලසිත් මාලිංග තම පන්දු වාර 4 තුල දී ලකුණු 31ක් ලබා දුන් නමුත් කඩුලු දවා ගැනීමට අපොහොසත් විය.

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට උත්සාහ දැරූ මුම්බායි කණ්ඩායමේ ආරම්භක කඩුල්ල පළමු පන්දුවේ දී ම දවා ගන්නට අනිකට් චෞද්‍රි සමත් විය. ඒ පසුගිය තරග කිහිපයේ දී ම හොඳින් ලකුණු අතර සිටි කඩුලු රකින පිතිකරු පාතිව් පටෙල්ගේ කඩුල්ලයි. කෙසේ වෙතත් ජෝස් බට්ලර් සහ නිතිශ් රානා දෙවැනි කඩුල්ලට ලකුණු 61ක් එක් කරමින් ආරම්භයේ දී එල්ල වුන පීඩනය සමනය කිරීමට සමත් වූහ. නමුත් මුම්බායි පිතිකරුවන් බොහෝ දෙනා විශාල ලකුණක් කරා නොගිය බැවින් තරගය බොහෝ දුරට සමබරව අවසානය දක්වාම ඇදී ගියේය.

එවන් වටපිටාවක දී තම නායකත්වයේ වගකීම අමතක නොකළ රෝහිත් ශර්මා අවසන් පන්දු වාරයේ පස්වැනි පන්දුවට අලංකාර ඩ්‍රයිව් පහරක් එල්ල කරමින් තරගයේ ජයග්‍රහණය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නමින් ලියා දුන්නේය. ඒ වන විට රෝහිත් ශර්මා හතරේ පහර 6ක් එක් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 56ක්  රැස් කරගෙන සිටියේය. ඔහුගේ වේගවත් ඉනිමට වැය වුනේ පන්දු 37ක් පමණි. තරගයේ වීරයා සම්මානය ද ඔහුටම හිමි විය.

රෝයල් චැලෙන්ජර්ස් – කඩුලු 8ක් දැවී ලකුණු 162 (පන්දුවාර 20): ඒ.බී. ඩිවිලියර්ස් 43, පවන් නෙගී 35, කෙඩාර් ජාදෙව් 28, විරාත් කෝලි 20, මන්දීප් සිං 17, මිචෙල් මැක්ලනගන් 3/34, කෘනාල් පාණ්ඩ්‍යා 2/34.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 5ක් දැවී ලකුණු 165 (පන්දුවාර 19.5): රෝහිත් ශර්මා 56*, ජෝස් බට්ලර් 33, නිතිශ් රානා 27, කිරන් පොලාර්ඩ් 17, පවන් නෙගී 2/17, ශේන් වොට්සන් 1/28.


ගුජරාට් ලයන්ස් සහ රයිසින් පූනේ සුපර්ජයන්ට් අතර තරගය

අවසන් පන්දු වාරයේ දී රයිසින් පූනේ කණ්ඩායමට කඩුලු 5ක තියුණු ජයක් හිමිවුණු මෙම තරගය පූනේ හි දී ක්‍රියාත්මක විය. ඒ අනුව මේ වන විට තරග 10කට සහභාගි වී ඉන් තරග 6ක් ජය ගෙන ඇති රයිසින් පූනේ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ පසුවෙයි.

කාසියේ වාසිය දිනා ගත් පූනේ නායක ස්ටීවන් ස්මිත් මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදී ගුජරාට් ලයන්ස් ක්‍රීඩකයින්ට ලබා දුන්නේය. ඒ අනුව ගුජරාට් පිතිකරුවන් පන්දු වාර 19යි පන්දු 5ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 161කි. ආරම්භක පිතිකරුවෙකු ලෙස කවදත් දක්ෂතා අතර සිටින බ්‍රෙන්ඩන් මැකලම් ඊයේ හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් රැස්කර ගත්තේය. යොවුන් ක්‍රීඩක ඉශාන් කිෂාන් ලකුණු 31යි. පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකානු පා දඟ පන්දු යවන ක්‍රීඩක ඉම්රාන් තහීර්ට කඩුලු 3ක් හිමි විය. ජාදෙව් උනද්කට් ලකුණු 29ට කඩුලු 2යි.

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාම සඳහා පිටියට පිවිසි රයිසින් පූනේ කණ්ඩායමේ කඩුලු 3ක් ලකුණු 10ක් තුල දී බිඳ වැටුණු අතර සිව්වැනි කඩුල්ල ලෙස රාහුල් ත්‍රිපති දැවී යන විටත් පූනේ මුළු ලකුණු සංඛ්‍යාව දැක්වුනේ 42ක් වශයෙනි. විශ්වාසය තැබිය හැකි දක්ෂ පිතිකරුවන් වන ස්ටීවන් ස්මිත්, අජින්ක්‍යා රහානේ සහ මනෝජ් තිවාරි යන පිතිකරුවන් තිදෙනාම ඒ වන විට ක්‍රීඩාගාරයට හැරී ගොස් තිබූ නිසා නිසැක ජයක් ගුජරාට් ලයන්ස් කණ්ඩායම සතුවන බව පෙනෙන්නට තිබුණි.

නමුත් ඒ සියල්ල උඩු යටිකුරු කරමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පන්දු 63කින් නොදැවී ලකුණු 103ක් රැස් කරමින් රයිසින් පූනේ කණ්ඩායමට අනපේක්ෂිත ජයග්‍රහණයක් ලබා දුන්නේය. ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට දැකුම්කළු හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් ඇතුළත් විය. අනෙක් අන්තයේ සිට ඔහුට සහය ලබා දුන් එම්.එස්. දෝනි ලකුණු 26ක් ද, ඩැනියෙල් ක්‍රිස්ටියන් නොදැවී ලකුණු 17ක් ද රැස්කර ගත්හ. පන්දු යැවීමේ දී ප්‍රදීප් සංග්වාන් සහ බැසිල් තම්පි කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. තරගයේ වීරයා සම්මානය එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටෝක්ස්ට හිමිවිය.

ගුජරාට් ලයන්ස් – සියල්ලන්ම දැවී ලකුණු 161 (පන්දුවාර 19.5): බ්‍රෙන්ඩන් මැකලම් 45, ඉශාන් කිෂාන් 31, දිනේෂ් කාර්තික් 29, රවින්ද්‍ර ජඩේජා 19, ඉම්රාන් තහීර් 3/27, ජාදෙව් උනද්කට් 2/29.

රයිසින් පූනේ – කඩුලු 5ක් දැවී ලකුණු 167 (පන්දුවාර 19.5): බෙන් ස්ටෝක්ස් 103*, එම්.එස්. දෝනි 26, ඩැනියෙල් ක්‍රිස්ටියන් 17*, බැසිල් තම්පි 2/35, ප්‍රදීප් සංග්වාන් 2/38.

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට