වෝනර්ගේ ලකුණු 126 ඉදිරියේ ප්‍රබල කල්කටාව දණ නමයි

364
PL 2017 april 30th roundup

ඕස්ට්‍රේලියානු සුපිරි ප්‍රහාරක ඩේවිඩ් වෝනර් පන්දු 59කින් ලබා ගත් ලකුණු 126 හේතුවෙන් ප්‍රබල කල්කටා නයිට් රයිඩර්ස් පිළ පරදා පෙරළිකාර ජයක් ලබා ගැනීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඊයේ (30) අවස්ථාව උදා විය. දිනයේ ක්‍රියාත්මක වුන අනෙක් තරගයේ දී දිල්ලි පිතිකරුවන් අසරණ කරමින් පහසුවෙන් ජය ගැනීමට කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සමත් විය.

බුම්රාහ්ගේ ඉන්ද්‍රජාලය නිසා සුපිරි පන්දුවාරයේ ජය මුම්බායි පිළට

අවාසනාවේ මාවතේ ඉදිරියටම ගමන් කරමින් සිටින රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට මෙවර තරගාවලියේ සත්වැනි පරාජයට ඊයේ (29) දිනයේ දී මුහුණ පෑමට සිදුවිය.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් සහ කිංග්ස් XI පන්ජාබ් අතර තරගය

මොහාලි හි දී පැවති මෙම තරගයේ දී දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට දරුණු පරාජයක් උරුම විය. ඒ අනුව මේ වන විට තරග 8කට මුහුණ දී ඇති ඔවුන් ඉන් තරග 2ක් පමණක් ජය ගෙන ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය දක්වා පසු බැස ඇත.

කාසියේ වාසිය දිනා ගත් කිංග්ස් XI පන්ජාබ් නායක ග්ලේන් මැක්ස්වෙල් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායමට ඇරයුම් කළේය. ඒ අනුව ඉනිම ආරම්භ කරන ඔවුන්ට තම දකුණත් වේග පන්දුවෙන් දැඩි තර්ජනයක් එල්ල කරන්නට ඉන්දියානු යොවුන් ක්‍රීඩක සන්දීප් ශර්මා සමත් විය. ඒ තම පන්දුවාර 4 තුල දී ලකුණු 20කට කඩුලු 4ක් දවා ගනිමිනි. ඔහු පන්ජාබ් කණ්ඩායමට ලබා දුන් සාර්ථක ආරම්භයෙන් උපරිම ඵල නෙලා ගත් වරුන් ආරෝන් සහ අක්සා පටෙල් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.

පන්ජාබ් කණ්ඩායමේ මෙම විශිෂ්ට පන්දු යැවීමත්, පිටියේ පන්දු රකින්නන්ගෙන් හිමි වුන උපරිම සහයෝගයත් නිසා දිල්ලි ඉනිම සියල්ලන්ම දැවී ලකුණු 67කට සීමා විය. කිසිදු පිතිකරුවෙකු ලකුණු 20 සීමාවටවත් ලඟා නොවූ දිල්ලි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කුරේ ඇන්ඩර්සනුයි. ඔහු එක් හයේ පහරක් සමගින් පන්දු 25ක දී ලකුණු 18ක් රැස් කළේය.

මෙම කුඩා ලකුණු සංඛ්‍යාව හඹා ගොස් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගැනීමට කිංග්ස් XI පිතිකරුවන්ට පන්දුවාර 7යි පන්දු 5ක් ප්‍රමාණවත් විය. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි මාටින් ගප්ටිල් සහ හෂීම් අම්ලා සාර්ථක පිතිකරණයක යෙදෙමින් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිතිකරුවන් අසරණ වුන මොහාලි තණතීරුවේ ලකුණු 68ක නොබිඳුණු සබඳතාවයක් ගොඩ නැගූහ. ප්‍රවේගකාරී පිතිකරණයක යෙදුනු මාටින් ගප්ටිල් පන්දු 27කින් අර්ධ ශතකයක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිම හතරේ පහර 6කින් සහ හයේ පහර 3කින් වර්ණවත් විය. තරගයේ වීරයා සම්මානය පන්ජාබ් කණ්ඩායමේ ආරම්භක වේග පන්දු යවන ක්‍රීඩක සන්දීප් ශර්මාට හිමි විය.

දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් – සියල්ලන්ම දැවී ලකුණු 67 (පන්දුවාර 17.1): කුරේ ඇන්ඩර්සන් 18, කරුන් නයර් 11, කාගිසෝ රබාඩා 11, සන්දීප් ශර්මා 4/20, වරුන් ආරෝන් 2/3, අක්සා පටෙල් 2/22.

කිංග්ස් XI පන්ජාබ් – කිසිවෙකු නොදැවී ලකුණු 68 (පන්දුවාර 7.5): මාටින් ගප්ටිල් 50*, හෂිම් අම්ලා 16*.


සන්රයිසර්ස් හයිද්‍රාබාද් සහ කල්කටා නයිට් රයිඩර්ස් අතර තරගය

ඕස්ට්‍රේලියාවෙන් බිහිවුන විශිෂ්ටතම විස්සයි විස්ස පිතිකරුවෙකු වන ඩේවිඩ් වෝනර් රැස්කළ ප්‍රවේගකාරී ශතකය හේතුවෙන් ප්‍රබල කල්කටා නයිට් රයිඩර්ස් පිළ පහසුවෙන් පරාජය කිරීමට සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට හැකි විය. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ අංක 3 ස්ථානය තහවුරු කර ගන්නට ඔවුන්ට අවස්ථාව උදා විය.

කාසියේ වාසිය දිනා ගත් කල්කටා නයිට් රයිඩර්ස් නායක ගෞතම් ගම්බීර් මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව හයිද්‍රාබාද් කණ්ඩායමට පවරා දුන්නේය. ඒ අනුව ඉනිම ආරම්භ කළ ඩේවිඩ් වෝනර් සහ ශිකර් ධවාන් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 139ක සුපිරි සබඳතාවයක් ගොඩ නගමින් කල්කටා පිළ පසුපසට ඇද දැමීමට සමත් වූහ. මෙම සබඳතාවයේ වැඩි ගෞරවය වමත් පිතිකරු ඩේවිඩ් වෝනර්ට හිමිවුණු අතර අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් ශිකර් ධවාන් රැස්කර ගත්තේ ලකුණු 29ක් පමණි!

බැලූ බැලූ අත තැඹිලි පැහැය විහිදුවමින් ඒකරාශි වී සිටි සන්රයිසර්ස් ආධාරකරුවන් පිනවමින් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් වෝනර් පන්දු 59කින් ලකුණු 126ක් රැස් කිරීමට සමත් විය. රිවර්ස් ස්වීප්, ස්විච් හිට් වැනි ක්‍රිකට් ක්‍රීඩාවේ අපහසු යැයි සැලකෙන පහර රැසක් ඇතුළත් වූ මෙම ඉනිම හතරේ පහර 10කින් සහ හයේ පහර 8කින් සුපෝෂණය විය. වෝනර් තම ශතකය ලබා ගැනීම වෙනුවෙන් වැය කළේ පන්දු 43ක් පමණි. එය අයි.පී.එල් තරගවල දී වාර්තා වුන පස්වැනි වේගවත්ම ශතකය බවට පත්විය.

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස්ගේ පන්දුවක් හමුවේ වෝනර් දැවී යාමෙන් අනතුරුව හයිද්‍රාබාද් ඉනිම අවසන් කිරීමේ කාර්‍යය භාර ගත් කේන් විලියම්සන් අවසන් පන්දුව දක්වාම පිටියේ රැඳෙමින් ලකුණු 40ක් රැස් කළේය. ඒ තාක්ෂණයෙන් පිරිපුන් හතරේ පහර 5ක් සමඟිනි. පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් එක් කඩුල්ලක් බිඳ හෙලූ අතර අනෙක් කඩුලු 2 දුවද්දී දැවී යාම් ලෙස සටහන් විය.

ලකුණු 210ක දැවැන්ත ඉලක්කයක් හිමිවුන කල්කටා පිළට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඊයේ අවස්ථාව උදා නොවීය. ඒ ලකුණු පුවරුව 12ක් බවට පත්වෙද්දී කල්කටා ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ඔවුන්ට අහිමි වුන බැවිනි. ඉන් මද වේලාවකට අනතුරුව වර්ෂාවෙන් තරගයට බාධා එල්ල විය. නැවතත් තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව මනිෂ් පාණ්ඩේ සහ රොබින් උතප්පා අතර ගොඩ නැගී තිබූ ලකුණු 78ක සබඳතාවය නිමා කිරීමට බුවනේශ්වර් කුමාර් සමත් විය. ඒ පන්දු 29 දී ලකුණු 39ක් ලබා සිටි පාණ්ඩේව දවා ගනිමිනි.

කල්කටා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා ලෙස රොබින් උතප්පා හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් වේගවත් ලකුණු 53ක් රැස් කළ ද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කල්කටා ක්‍රීඩකයින් ලකුණු 161කට සීමා වීම නිසා සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමට ලකුණු 48ක පහසු ජයක් හිමි විය. තරගයේ වීරයා සම්මානය ඩෙකෑන් නුවරම දෙවනත් කළ ඩේවිඩ් වෝනර්ට හිමි විය.

මේ වන විට ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියාට සහ වැඩිම කඩුලු ලාභියාට හිමිවන තැඹිලි පැහැ හිස්වැස්ම සහ දම් පැහැ හිස්වැස්ම යන දෙකම හිමිව තිබෙන්නේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමටයි. ඒ අනුව තරග 9කට ක්‍රීඩා කර ලකුණු 459ක් රැස් කරගෙන සිටින ඩේවිඩ් වෝනර් තැඹිලි හිස්වැස්මට හිමිකම් කියන අතර දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක බුවනේශ්වර් කුමාර් තරග 9 දී කඩුලු 20ක් බිඳ හෙලමින් දම් පැහැ හිස්වැස්ම පැළඳීමට සුදුසුකම් ලබා ඇත.

සන්රයිසර්ස් හයිද්‍රාබාද් – කඩුලු 3ක් දැවී ලකුණු 209 (පන්දුවාර 20): ඩේවිඩ් වෝනර් 126, කේන් විලියම්සන් 40, ශිකර් ධවාන් 29, යුවරාජ් සිං 6*, ක්‍රිස් වෝක්ස් 1/46.

කල්කටා නයිට් රයිඩර්ස් – කඩුලු 7ක් දැවී ලකුණු 161 (පන්දුවාර 20): රොබින් උතප්පා 53, මනිෂ් පාණ්ඩේ 39, කොලින් ඩි ග්‍රැන්ඩ්හොම් 18, ශෙල්ඩන් ජැක්සන් 16, මොහොමඩ් සිරාජ් 2/26, සිද්ධාර්ත් කෝල් 2/26, බුවනේශ්වර් කුමාර් 2/29.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට