ශූරතාවේ සිහිනය රැකගනිමින් Blues පියවරක් ඉදිරියට!

157
International Rugby

Investec Super Rugby Aotearoa 2020 තරගාවලියේ තවත් එක් තීරණාත්මක තරගයක් අද (02) ඕක්ලන්ඩ් නුවර ඊඩන් පාර්ක් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වූයේ ප්‍රබල Blues කණ්ඩායමට අත්‍යාවශ්‍ය කර තිබූ ජයග්‍රහණයක් උරුම කරදෙමිනි. ලකුණු 32-21ක් ලෙසින් ඔවුන් අතින් පරාජයට පත්වූයේ ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයෙහි පසුවන Highlanders කණ්ඩායමයි.

ආන්දෝලනාත්මක විනිසුරු මැද Crusaders ජය තහවුරුයි!

තරගයේ පළමු මිනිත්තු 10 අවසන් වීමට ප්‍රථමයෙන් උත්සාහක දිනුම් 2ක් වාර්තා කළ Blues ක්‍රීඩක Finlay Christie සහ Akira Ioane ප්‍රතිවාදී ආරක්ෂක පෙළ ක්‍රීඩකයින්ගේ දුර්වලතා හඳුනා ගනිමින් එය තම වාසියට හරවා ගැනීමට සමත් විය. Beauden Barrett හට පළමු ප්‍රවර්තනය සාර්ථක කරගැනීමට නොහැකි වූවත් දෙවැනි අවස්ථාව නිවැරදි ඉලක්කය වෙත යොමු කිරීමට හැකි විය. (Highlanders 00 – 12 Blues)

ඉන් අනතුරුව උදා වූ කාල සීමාව තුල දී දඬුවම් පහර දෙකකින් සහ එක් ප්‍රවර්තිත උත්සාහක දිනුමකින් තම ලකුණු තත්වය තර කර ගත් Highlanders ක්‍රීඩකයින් තරගයේ පෙරමුණ තමන් සතු කරගැනීමට සමත් වූයේ නැවත වතාවක් පීඩනය Blues කණ්ඩායම වෙත යොමු කරමිනි. Ash Dixon ධවල රේඛාව අභිබවා දිව යද්දී Josh Ioane පා පහර ත්‍රිත්වයම සාර්ථකව ගෝල කණු අතරින් පා කර හැරියේය. (Highlanders 13 – 12 Blues)

Crusaders ආධිපත්‍යය බිඳ වැටෙයි; Hurricanes ඉතිහාසය අළුත් කරයි!

පළමු අර්ධය නිමා වීමට පෙරාතුව Blues කණ්ඩායම තවත් උත්සාහක දිනුම් දෙකකින් Highlanders ක්‍රීඩකයින් හට සංග්‍රහ කිරීමට වගබලා ගත් නමුත් ප්‍රතිවාදී Highlanders ක්‍රීඩකයින් හට රැස් කරගැනීමට හැකි වූයේ දඬුවම් පහරෙන් උදා වූ ලකුණු ත්‍රිත්වය පමණි.TJ Faiane සහ Ofa Tuungafasi උත්සාහක දිනුම්ලාභීන් ලෙස ගෞරව හිමි කරද්දී Highlanders වෙනුවෙන් Josh Ioane දඬුවම් පහර සාර්ථක කරගත්තේය. (Highlanders 16 – 22 Blues)

පළමු අර්ධය: Blues 24 (4T,2C) – 16 (1T,1C,3P) Highlanders 

දෙවන අර්ධය පළමු අර්ධයට සාපේක්ෂව තරමක් සටන්කාමී මුහුණුවරක් ගනු ලැබුවේ කණ්ඩායම් දෙකම තම උපායමාර්ගයන් වෙනස් කරමින් ආක්‍රමණශීලී තරග රටාවන්ට අවතීර්ණ වූ නිසාවෙනි. Finlay Christie දිනයේ දෙවන උත්සාහක දිනුම සටහන් කරගත්තේ Blues කණ්ඩායමේ ලකුණු තත්වය තවදුරටත් පෝෂණය කරමිනි. (Highlanders 16 – 29 Blues)

ශූරතාවයේ බලාපොරොත්තු සමඟින් Blues ජයග්‍රාහී මාවතට

ප්‍රවර්තනයන් ලකුණු බවට පරිවර්තනය කිරීමේ දී පෙන්වූ අඩුපාඩු සියල්ල නිවැරදි කරගනිමින් 55 වැනි මිනිත්තුවේ දී උදා වූ දඬුවම් පහර සාර්ථක කරගැනීමට අත්දැකීම් බහුල Beauden Barrett සමත් වූ අතර Highlanders කණ්ඩායමේ ජයග්‍රහණය වැළැක්වීමට ඔහුගේ එම වෑයම ප්‍රමාණවත් විය. Highlanders කණ්ඩායම වෙනුවෙන් Shannon Frizell අවසන් මොහොතේ දී උත්සාහක දිනුම් රේඛාව අභිබවා දිව ගියත් තරගයේ තීරණයට කිසිදු බලපෑමක් එල්ල කිරීමට ඔහු අපොහසත් විය. (Highlanders 21 – 32 Blues)

අවසන් ලකුණු තත්වය: Blues 32 (5T,2C,1P) – 21 (2T,1C,3P) Highlanders 

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • Highlanders – Ash Dixen (1T), Shannon Frizell (1T), Josh Ioane (1C,3P)
  • Blues – Finlay Christie (1T), Akira Ioane (1T), TJ Faiane (1T), Ofa Tuungafasi (1T), Beauden Barrett (2C,1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<