ශ්‍රී ලංකා රග්බි සම්මේලනය අත්හිටුවීමට අතුරු නියෝගයක්

213

ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවමින් හිටපු ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ ගැසට් නිවේදනය බලාත්මක කිරීම අත්හිටුවමින් අතුරු නියෝගයක් අභියාචනාධිකරණය විසින් අද (13) නිකුත් කර තිබුණා.

එලෙස නිකුත් කළ අතුරු නියෝගය අද (13) සිට මෙම වසරේ ජුනි 30 දක්වා බලාත්මක වනු ඇත.

අප්‍රේල් මස පළමුවැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සාමාජිකත්වය අත්හිටුවීමට සහ එම සම්මේලනයේ වැඩ බලන ප්‍රධානියා ලෙස අමල් එදිරිසූරිය මහතා පත්කිරීමට තීරණය කිරීමෙන් අනතුරුව සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කළා.

අප්‍රේල් මස 01 වැනිදා නිකුත් කළ ගැසට් අංක – 2273/85 යටතේ නාමල් රාජපක්ෂ විසින් 1973 වසරේ අංක  25 දරණ ක්‍රීඩා පනතේ 32 සහ 33 යන වගන්ති යටතේ මෙලෙස රග්බි සම්මේලනය අත්හිටුවා තිබුණා.

ශ්‍රී ලංකා රග්බි සම්මේලනය තාවකාලිකව අත්හිටුවීමට එරෙහිව යොමු කළ අභියාචනාව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන විනිසුරුවන් ඉදිරියේ කැඳවූ අතර ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ සභාපති රිස්ලි ඉලියාස් සහ රග්බි සම්මේලනය විසින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු 6 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් එම අභියාචනාව ඉදිරිපත් කර තිබුණා.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<