මහනුවර, ගාල්ල, පුත්තලමට ශූරතා

අන්තර් පළාත් ඒ්කාබද්ධ පාසල් හොකි තරගාවලිය

332
සම ශූරයන් වූ මහනුවර Blues සහ ගාල්ල Golds

ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය විසින් සංවිධානය කරන ලද 55 වැනි අන්තර් දිස්ත්‍රික් ඒකාබද්ධ පාසල් වයස අවුරුදු 20න් පහළ බාලක සහ බාලිකා හොකී තරගාවලිය පසුගිය මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹ කෘතීම හොකී පිටියේ දී පැවැත්වුනා.

එහි දී බාලක අංශයේ සම ශූරයන් බවට මහනුවර Blues සහ ගාල්ල Golds යන කණ්ඩායම් පත්වුනා. අවසන් තරගය ගෝල 1-1ක් ලෙස සම වුනා. ගාල්ල Golds වෙනුවෙන් කුෂාන් රත්නසූරිය සහ මහනුවර Blues වෙනුවෙන් භානුක රණසිංහ ගෝල වාර්තා කළා.

බාලිකා ශූරතාවය දිනූ පුත්තලම

බාලිකා අංශයේ ශූරියන් වුනේ පුත්තලම කණ්ඩායමයි. ඔවුන් හමුවේ අවසන් තරගය ගෝල 2-0ක් ලෙස පරාජය වන්නට මහනුවර Blues බාලිකා කණ්ඩායමට සිදු වුනා. මධුෂිකා ප්‍රනාන්දු සහ දිනුලි නෙහන්සා, පුත්තලම කණ්ඩායම වෙනුවෙන් ගෝල වාර්තා කළා.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වුනේ මහනුවර Blues කණ්ඩායමේ තරුෂ පල්ලෙවත්ත.

දක්ෂතම ක්‍රීඩිකාව ලෙස පුත්තලම කණ්ඩායමේ නිපුනි ප්‍රනාන්දු නම් වුනා.

දක්ෂතම ගෝල රකින්නා වුනේ ගාල්ල Golds කණ්ඩායමේ අවිශ්ක මධුවන්ත.

දක්ෂතම ගෝල රකින ක්‍රීඩිකාව වුනේ පුත්තලම කණ්ඩායමේ නීලියා කෞෂිනි.

බාලක අංශයේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ මාතලේ Golds කණ්ඩායම පරාජය කළ කොළඹ Reds කණ්ඩායමයි. බාලිකා අංශයේ තෙවැනි ස්ථානය මාතලේ කණ්ඩායම විසින් දිනා ගත්තේ කොළඹ Reds බාලිකා කණ්ඩායම පරාජය කරමින්.

අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රීඩා සභාවේ අනුමැතිය සහිතව මෙවර තරගාවලිය පැවැත්වුණේ දුෂ්කරතා රැසක් මධ්‍යයේ වුවත් පාසල් හොකී සංගමය තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට සමත් වුනා. ඒ පාසල් දරු දැරියන් වෙනුවෙන් “ක්‍රීඩාව ද අධ්‍යාපනයේම කොටසක්”ය යන අයිතිය තහවුරු කරමින්.

පාසල් හොකී සංගමයේ ලේකම් අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා පැවසුවේ වත්මන් ආර්ථික තත්වයන් යටතේ ජාතික මට්ටමේ තරගාවලියක් සංවිධානය කිරීම බැරෑරුම් කාර්යයක් වුවත් එම අභියෝගය ජය ගැනීමට ශ්‍රී ලංකා පාසල් හොකී සංගමය උපරිම උත්සාහයක නිරත වූ බවයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<