ශක්ති සහ ඉඳුවර දක්ෂතා දක්වයි

Inter Club U23 Tournament 2026

12
Sri Lanka Cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (19) අවසන් වූ අතර එහි දී ශක්ති උදාර සහ ඉඳුවර උදාන පන්දු යවන්නන් ලෙසින් දක්ෂතා දැක් වූවා.

කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Moors SC ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 218ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් NCC ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 197ක් පමණයි

ඒ අනුව ලකුණු 21ක් ඉදිරියෙන් සිටිමින් අද තම 2 වැනි ඉනිම ආරම්භ කළ Moors SC ක්‍රීඩකයෝ එම ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 271ක් ලබා ගන්නවා. එම ඉනිමේ ලකුණු 73කට කඩුලු 5ක් දැවී ගොස් තිබිය දී පිටියට එක් වූ විශාර ප්‍රනාන්දු සහ සිතුම් විහඟ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 112ක දී ලකුණු 103ක සබඳතාවක් ගොඩ නගනවා.

එහි දී සිතුම් විහඟ පන්දු 64කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත් අතර පළමු ඉනිමේ දී ද අර්ධ ශතකයක් වාර්තා කළ විශාර ප්‍රනාන්දු මෙම ඉනිමේ දී ද පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.

ඊට අමතර ව පෙර දිනයේ දී පන්දු යැවීමෙන් දක්ෂතා දැක් වූ සඳරු මල්ශාන් ද පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී ශක්ති උදාර ලකුණු 90කට කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

ජයග්‍රහණය සඳහා ලකුණු 293ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි NCC ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 136ක් ලබා සිටියා. එම ඉනිම වෙනුවෙන් නායක ගවිරු සෙන්හස් පන්දු පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 43ක් ද සහ  දිනෙත් ගුණර්ධන පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ඉඳුවර උදේන ලකුණු 43කට කඩුලු 5ක් දවා ගත්තා.

NCC සහ Moors SC අතර තරගය, කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.

  • Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 218 (43.0) හිරුන් මතීෂ 38, රවිශාන් ද සිල්වා 60, විශාර ප්‍රනාන්දු 53, සඳරු මල්ශාන් 27, රනුක මලවිආරච්චි 2/35, ශක්ති උදාර 4/83, සංතුල් විජේරත්න 3/44
  • NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 197 (40.4) ජීවක සශීන් 30, චන්දූප සේනාරත්න 113, හිවින් කෙනුල 4/24, සඳරු මල්ශාන් 5/70
  • Moors SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 271 (60.4) ඔමේෂ් මෙන්ඩිස් 30, විශාර ප්‍රනාන්දු 51, සිතුම් විහඟ 53, සඳරු මල්ශාන් 53, ශක්ති උදාර 7/90
  • NCC – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 136 (31.0) ගවිරු සෙන්හස් 43, ජීවක සශීන් 23, දිනෙත් ගුණවර්ධන 41, ඉඳුවර උදේන 5/43

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Moors SC කණ්ඩායමට.)

වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<