කමිල් මිශාරට ශතකය මග හැරෙද්දී පාකිස්තානු නායකයාගෙන් ශතකයක්

පාකිස්තානු A කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2021

348

ශ්‍රී ලංකා A හා පකිස්තාන A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති පළමු නිල නොවන ටෙස්ට් තරගය අද (31) ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

තරගයේ සිව්වැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 144ක් රැස් කරගෙන සිටියා.

තරගයේ තෙවැනි දිනය අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය එක් කඩුල්ලක් දැවී ලකුණු 187ක් රැස් කරගෙන සිටියා. අද දිනයේ දී ඔවුන් තවත් ලකුණු 137ක් ලකුණු පුවරුවට එකතු කරද්දී, ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දවා ගැනීමට හැකි වුනේ එක් කඩුල්ලක් පමණයි. පාකිස්තානය සිය පළමු ඉනිමට කඩුලු දෙකක් දැවී ලකුණු 324ක් රැස් කළේ ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින්.

පාකිස්තාන නායක Saud Shakeel පන්දු 223ක දී ලකුණු 118ක් රැස් කළේ හතරේ පහර 13ක් ද වාර්තා කරමිනුයි. ආබාධයක් නිසා ඔහුට පිටියෙන් ඉවත් වෙන්නට සිදුවීම විශේෂත්වයක්.

Shakeelගේ ඉනිමට මනා සහයක් දුන් Omair Yousuf හට සිය ශතකය අහිමි කරන්නට අසිත ප්‍රනාන්දු සමත් වුනා. කමිල් මිශාර අතට උඩ පන්දුවක් ලබා දෙමින් Yousuf දැවී ගියේ ලකුණු 93ක් රැස් කරගෙන සිටිය දීයි. ඔහුගේ ඉනිමට හතරේ පහර 11ක් ඇතුළත් වුනා.

පකිස්තානය ඉනිම අවසන් කිරීමට තීරණය කරන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේ Kamran Ghulam හා Usman Salahuddin. Kamran Ghulam පන්දු 118ක දී ලකුණු 57ක් රැස් කළ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත් වුනා. Usman Salahuddin නොදැවී ලකුණු 20යි.

ශ්‍රී ලංකාව දෙවන ඉනිම ආරම්භ කළේ කමිල් මිශාර හා ලහිරු උදාරයි. ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ මිශාර පන්දු 97ක දී ලකුණු 98ක් රැස් කළේ හතරේ පහර 19කින් සිය ඉනිම වර්ණවත් කරමිනුයි.

අවාසනාවන්ත ලෙස ඔහු Qasim Akramගේ පන්දුවක් හමුවේ Kamran Ghulam අතට උඩ පන්දුවක් ලබා දෙමින් ශතකය පෙනී පෙනී දැවී ගියා. ලහිරු උදාර ලකුණු 28ක් රැස් කළ අතර නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ඕෂධ ප්‍රනාන්දු පන්දු 40ක දී ලකුණු 18ක් රැස් කරගෙන සිටියා.

තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ලකුණු පුවරුව සටහන් වුනේ කඩුලු දෙකක් දැවී ලකුණු 144ෙක් ලෙසයි.

  • ශ්‍රී ලංකා A පළමු ඉනිම – 141/10 (46 ov) විශ්ව ප්‍රනාන්දු 30, ලහිරු උදාර 23, ලසිත් ඇඹුල්දෙණිය 22, Naseem Shah 5/53, Khurram Shahzad 3/25
  • පාකිස්තාන A පළමු ඉනිම – 324/2d (115 ov) Saud Shakeel 118, Omair Yousuf 93, Kamran Ghulam 58* ලසිත් ඇඹුල්දෙණිය 1/80, අසිත ප්‍රනාන්දු 1/56
  • ශ්‍රී ලංකා A දෙවැනි ඉනිම – 144/2 (30.3 ov) කමිල් මිශාර 98, ළහිරු උදාර 28, ඕෂධ ප්‍රනාන්දු 18*, Zahid Mahmood 1/55, Qasim Akram 1/37

ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර දෙවැනි සිව්දින තරගය නොවැම්බර් 4 වැනිදා සිට 7 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<