මහනුවර බැබළ වූ මරීජාට අමතක නොවන තෑග්ගක්

1151
fazil marija

හිටපු ශ්‍රී ලංකා ජාතික රග්බි නායක සහ විශිෂ්ට ෆ්ලයි හාෆ් ක්‍රීඩක ෆාසිල් මරීජා පසුගිය දා  මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් තම අවසන් රග්බි තරගයට ක්‍රීඩා කළේ වසර 18ක් පුරා එම ක්‍රීඩා සමාජයට සැපයූ මිල කළ නොහැකි සේවයට නැවතීමේ තිත තබමිනුයි. දශක දෙකකට ආසන්න කාලයක් පුරා තමන්ට කළ සේවයට වෙනුවෙන් ෆාසිල් මරීජා නමින් ප්‍රේක්ෂකාගාරයක් නම් කරන්නට මහනුවර ක්‍රීඩා සමාජය එදින කටයුතු කරන ලදි.

ෆාසිල් මරීජාගේ වීරකම් හමුවේ මහනුවර අපරාජිතව ශූරතාවයට

‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියර යටතේ මහනුවර ක්‍රීඩා සමාජය…

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ මෙන්ම ජාතික සත් සාමාජික රග්බි කණ්ඩායමේ ද නායකයා ලෙස කටයුතු කර තිබෙන මේ 33 හැවිරිදි ක්‍රීඩකයා, තම ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කළේ මෙවර ලීග් රග්බි තරග වාරය ආරම්භ වීමට පෙරයි. පසුගිය ඉරිදා (11) ඔහුගේ සමුගැනීමේ සාදය කොළඹ හැව්ලොක් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 30 -28ක් ලෙස ලැබූ අගනා ජයග්‍රහණයකින් සරසන්නට මහනුවර කණ්ඩායමට හැකියාව ලැබුණි.

තම ක්‍රීඩා ජීවිතය පුරාවටම සිදු කළාක් මෙන්ම අවසන් තරගයේ ද ජයග්‍රහණයේ ප්‍රධාන කොටස්කරුවකු බවට පත් වූ මරීජා, උත්සාහක දිනුම් ත්‍රිත්වයක් වාර්තා කරමින් තම දායකත්වය කණ්ඩායමට සපයන ලදි.

තරගය ආරම්භ කිරීමට මද වෙලාවකට පෙර මහනුවර ක්‍රීඩා සමාජ ප්‍රධාන ශාලාවට දකුණු පසින් පිහිටි ප්‍රේක්ෂකාගාරය ෆාසිල් මරීජා අතින් නිල වශයෙන් විවෘත කෙරුණු අතර එම අවස්ථාවට මරීජාගේ පවුලේ සාමාජිකයන් මෙන්ම මහනුවර ක්‍රීඩා සමාජයේ පාලනාධිකාරියේ සාමාජිකයන් ද එක්ව සිටින ලදි.

මෙම ක්‍රියාව මහනුවර ක්‍රීඩා සමාජය වෙතින් වසර ගණනාවක් තමන් වෙනුවෙන් ලේ, දහදිය වැගිර වූ විශිෂ්ට ක්‍රීඩකයෙකු වෙනුවෙන් පුද කළ උදාර ගෞරවයක් ලෙස හැඳින්විය හැකිය.

තම ක්‍රීඩා සමාජය වෙනුවෙන් මෙවන් අනගි සේවාවන් ඉටු කළ ක්‍රීඩකයන් ඇගයීම මහනුවර ක්‍රීඩා සමාජය කලක පටන් සිදු කරන පිළිවෙතක් වන අතර මීට පෙර ප්‍රියන්ත ඒකනායක, ඉන්ද්‍රජිත් බණ්ඩාරනායක, ලසන්ත විජේසූරිය, ඩෙන්සිල් කොබ්බෑකඩුව, ෂෝන් විජේසිංහ සහ නාලක වීරක්කොඩි වැනි ක්‍රීඩකයන් වෙනුවෙන් ද ප්‍රේක්ෂකාගාර නම් කරන්නට කටයුතු කර තිබේ.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<