ඉන්දීය ක්‍රීඩිකාවන් ලංකාවට එන්න මාන බලයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2020

160
India women to tour Sri Lanka

සංචාරක ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර එක්දින තරග 5ක් සහ විස්සයි විස්ස තරග තුනක් ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම වෙනුවෙන් දෙරටේ ක්‍රිකට් ආයතන දෙක මේ වන විට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ.

තරගාවලිය සැලසුම් කර පරිදි පවත්වන්නේ නම් මේ වසරේ නොවැම්බර් මස අවසානයේ දී තරගාවලිය ආරම්භ කිරීම සඳහා වැඩි අවස්ථාවක් තිබෙන අතර IPL තරගාවලියට සමගාමීව ඩුබායි හිදී පැවැත්වෙන කාන්තා අභියෝගතා ක්‍රිකට් තරගාවලිය අවසන් වූ පසුව මෙම තරගාවලිය පැවැත්වෙනු ඇත.

තවත් ක්‍රිකට් පුවත්

කෙසේ නමුත් වෙනත් රටක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ඕනෑම අයෙක් දින 14ක් අනිවාර්ය නිරෝධායන කාලයක් පසු කළ යුතු අතර පසුගිය මස කිහිපය පුරාවට ශ්‍රී ලංකා සමාජය තුලින් කිසිදු කොරෝනා ආසාදිත රෝගියෙක් හමු නොවුණු නමුත් මේ වන විට අප රටේ තත්වය ද තරමක් වෙනස් අතකට හැරී ඇත්තේ කොරෝනා තෙවැනි රැල්ලක අවදානමක් මතු කරමිනි.

ඒ නිසාවෙන් ශ්‍රී ලංකා රජය, සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශවල උපදෙස් පරිදි අවම ලෙස දින 14ක් හෝ නිරෝධායනය වීම අනිවාර්ය වන අතර එසේ කිරීමට නොහැකි වන්නේ නම් මෙම තරගාවලිය ද, බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය මෙන් අත්හැර දැමීමට සිදුවනු නිසැකය.

මේ වසරේ මාර්තු මාසයේ දී පැවති ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියට පසුව කණ්ඩායම් දෙකම තවමත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණ වී නොමැති නමුත් කොරෝනා වසංගතය තරමක් පාලනය වීමෙන් පසුව ලොව පැවැත්වූ පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය පසුගිය දා එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර සාර්ථක ලෙස පැවැත්විය. 

තවද මේ දිනවල සංචාරක නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් ද තරගාවලියක් ක්‍රීඩා කරමින් සිටියි. ඒ සියලු සෞඛ්‍ය උපදෙස් අනුව යමිනි.

එසේම දක්ෂ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙක් වන චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන කාන්තා විස්සයි විස්ස අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීම සඳහා තේරී පත්ව ඇති අතර තරගාවලිය නොවැම්බර් 4 සිට 9 දක්වා ඩුබායි හිදී පැවැත්වෙනු ඇත.

කෙසේ නමුත් ඉන්දීය ක්‍රිකට් ආයතනය හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධව නිල දැනුම් දීමක් තවමත් සිදු කර නොමැති අතර තරගාවලියේ තරග කාලසටහනක් හෝ තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නොමැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<