ඉන්දියාවේ අවතක්සේරුවට ඕස්ට්‍රේලියාවෙන් කණේ පහරක්

268

උස්මාන් කවාජාගේ දක්ෂ පිතිකරණය සහ ඇඩම් සැම්පාගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් සත්කාරක ඉන්දියාව මව්බිමේ දී ම 3-2ක තරගාවලි පරාජයකට ගොදුරු කරමින් පස්වැනි එක්දින තරගයත් ලකුණු 35කින් ජය ගැනීමට නවක ක්‍රීඩකයින් රැසකින් සැඳුම්ලත් සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඊයේ (13) සමත් විය.

ස්මිත්, වෝනර් කළ යුතු දෑ පොන්ටින් විසින් පහදයි

ඒකාබද්ධ වෙමින් සිටින ඕස්ට්‍රේලියානු ක්‍රිකට් …….

දිල්ලි හී ෆෙරෝෂා කෝට්ලාක්‍රීඩාංගණයේ දී දෙරට අතර පැවති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව සුපුරුදු පරිදි උස්මාන් කවාජා සමඟින් ඒරන් ෆින්ච් ඉනිම ආරම්භ කරමින් ප්‍රථම කඩුල්ලට ලකුණු 76ක සාර්ථක අඩිතාලමක් දැමීමට සමත් විය. පළමු කඩුල්ල ලෙස ෆින්ච්  ලකුණු 27කට දැවී ගිය ද කවාජා සුපුරුදු රිද්මයට පැමිණ සිටීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවට වැඩි අවදානමක් නොමැති විය.

අනතුරුව ෆින්ච්ගේ දැවී යාමෙන් පසුව පසුගිය තරගයේ විශිෂ්ට ශතකයක් රැස්කළ පීටර් හෑන්ඩ්ස්කොම්බ් පිටියට පිවිසි අතර ඔහු කවාජා සමඟ එක්ව දෙවන කඩුල්ලට ලකුණු 99ක් එක් කළ අතර 33 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කරමින් සිටි කවාජා දැවී යන විට ඔහු පන්දු 106කින් හතරේ පහර 10ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 100ක් ලබා සිටියේය.

පසුව පිටියට පිවිසි කිසිදු පිතිකරුවෙකුට දිගු ඉනිමක් වෙත යාමට ඉන්දීය පන්දු යවන්නන් ඉඩ නොදුන් නමුත් පීටර් හෑන්ඩ්ස්කොම්බ් පන්දු 60කින් හතරේ පහර 4ක් අන්තර්ගතව ලකුණු 52ක් ලබා ගත්තේය.

කෙසේ වෙතත් මාර්කස් ස්ටොයිනස් සහ ඇස්ටන් ටර්නර් ඕස්ට්‍රේලියානු ඉනිම ශක්තිමත් කරමින් ලකුණු 20 බැගින් ලබා ගත් අතර හයවැනි කඩුල්ලට පිටියට පිවිසි ජෙයි රිචර්ඩ්සන් වේගවත් ලකුණු 29ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 50 අවසානයේ ඕස්ට්‍රේලියානු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 272ක් දක්වා ඔසවා තැබීමට සමත් විය.

යුද්ධය, භීතිය සහ ක්‍රිකට්

යුද්ධය කියන්නේ අපි බොහෝමයක් දෙනාට ….

ඉන්දියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් භුවනේෂ්වර් කුමාර් කඩුලු 3ක් සහ රවීන්ද්‍ර ජඩේජා සහ මොහොමඩ් සාමි කඩුලු දෙක බැගින් දවා ගත්හ.

ඒ අනුව ලකුණු 273ක් ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාමට ශිකර් දවාන් සමඟින් රෝහිත් ශර්මා ඉන්දීය ඉනිම ආරම්භ කළ ද ආරම්භය අසාර්ථක කරමින් පළමු කඩුල්ල ලෙස ලකුණු 12ක් ලබා සිටි දවාන් දවා ගැනීමට පැට් කමින්ස් සමත් විය.

අනතුරුව නායක විරාත් කෝලි කඩුල්ලට එක් වූ අතර ශර්මා සමඟින් කෝලි පළමු කඩුල්ලට ලකුණු 53ක් එක් කරන විට ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 68 දී මාර්ක්ස් ස්ටොයිනස් විසින් කෝලි ලකුණු 20කට දවා ගත්තේය. අනතුරුව රිෂාබ් පන්ට් සහ විජේ ශංකර් පිළිවෙළින් දෙවන සහ තෙවැනි කඩුලු ලෙස පිටියට පිවිසුණ ද ඔවුන් දෙදෙනාම ලකුණු 16 සීමාවේ නවතා දැමීමට නේතන් ලයන් සහ ඇඩම් සැම්පාට හැකි විය.

පසුව සිව්වැනි කඩුල්ල ලෙසින් කේඩර් ජාදේව්, ශර්මා සමඟින් එක්ව ඉන්දීය ඉනිම ගොඩනැගීමට උත්සහ ගත්ත ද එක් අන්තයක් ආරක්ෂා කරගනිමින් හුදකලා සටනක නිරතව සිටි ශර්මා ඉන්දීය ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙසින් ආපසු ක්‍රීඩාගාරයට යැවීමට ඇඩම් සැම්පා ක්‍රියා කළේය. අනතුරුව පිටියට පිවිසි ඉන්දීය ඉනිමේ අවසාන පිතිකරණ බලාපොරොත්තුව වූ රවින්ද්‍ර ජඩේජාට පන්දු 3කට පමණක් මූණ දීමට ඉඩ දුන් සැම්පා 28 වන පන්දුවාරයේ දී ම යළිත් ක්‍රියාත්මක වෙමින් ජඩේජා ලකුණු ලබා නොදී පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.

පන්දුවාර 29ක් අවසානයේ ඉන්දීය ඉනිමේ කඩුලු 6ක් ලකුණු 132කට දැවී ගොස් අසරණ තත්ත්වයට පත්ව සිටිය දී පිටියට පිවිසි භුවනේෂ්වර් කුමාර්, ජාදේව් සමඟ එක්ව ඉන්දීය කණ්ඩායමට නැවත වරක් යම් බලාපොරොත්තුවක් ගෙන ඒමට සමත් ලකුණු 91ක සබඳතාවයක් හත්වැනි කඩුල්ලට ගොඩනැගුවේය. එහෙත් ජයග්‍රහණයට තවත් ලකුණු 50ක් අවශ්‍ය වන විට හිසරදයක්ව පැවති සබඳතාවයට තිත තබමින් භුවනේෂ්වර් ලකුණු 46කට දවා ගැනීමට පැට් කමින්ස් සමත් විය.

අනතුරුව 47 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ජෙයි රිචර්ඩ්සන් එහි පළමු පන්දුවෙන්ම ඉන්දීය අපේක්ෂාවන් සියල්ල සුනුවිසුනු කරමින් ජාදේව් ද දවා ගත්තේය.

කෙසේ වෙතත් ඉන්දීය කණ්ඩායමට හිමි වීමට ගිය අවමන් සහගත පරාජය යම් තරමකින් හෝ සැහැල්ලු කිරීමට සමත්කම් දැක්වූ ඉනිම් දෙකක් ගොඩනැගූ භුවනේෂ්වර් කුමාර් පන්දු 54කින් හතරේ පහර 3ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 46ක් ලබා ගත් අතර කේඩර් ජාදේව් පන්දු 57කින් හතරේ පහර 4ක් සහ එක් හයේ පහරක් අන්තර්ගතව ලකුණු 44ක් රැස් කළේය. අනතුරුව පිටියට පිවිසි මොහොමඩ් සාමි, කුල්දීප් යාදේව් සහ ජස්ප්‍රිත් භුම්රාට ඉන්දීය ඉනිමට ලකුණු 14ක් පමණක් එක් කිරීමට හැකි වූ අතර ඒ අවසරයෙන් නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 237කට සියල්ලන් දැවී ඉන්දීය ඉනිම අවසන් විය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් ඇඩම් සැම්පා කඩුලු 3ක් සහ මාර්කස් ස්ටොයිනස්, ජෙයි රිචර්ඩ්සන් මෙන්ම පැට් කමින්ස් කඩුලු 2 බැගින් දවා ගත්හ.

පිතිකරුවන්ගේ අසාර්ථකත්වය නිසා තවත් දරුණු පරාජයක් ශ්‍රී ලංකාවට!

සීමිත පන්දුවාර තරග වලදී ශ්‍රී ලංකා පිළ දක්වන …..

කෙසේ වෙතත් දෙරට අතර පැවති අවසන් තීරණාත්මක එක්දින තරග දෙකේ දී ම ඉන්දීය සුපිරි තරග අවසන් කරන්නා වන මහේන්ද්‍ර සිං දෝනි විවේක ගන්වා තිබීම ඉන්දීය කණ්ඩායමේ පරාජය පිටුපස ඇති ප්‍රබල සාධකයක් බව ක්‍රිකට් විචාරකයින් මත පළ කරයි.

අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන දෙකම තරගාවලිය පුරාවට ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් ලබා ගත් උස්මාන් කවාජාට හිමි විය.

කෙසේ වෙතත් මෙම තරගයේ රෝහිත් ෂර්මා ලබා ගත් ලකුණු 56ත් සමඟින් ඔහු එක්දින ජාත්‍යන්තර තරග රටාවේ ලකුණු 8000 සමාජයට එක්වීම විශේෂත්වයකි. එම කඩඉම පසු කිරීමට ශර්මා ඉනිම් 200ක් වැය කර ඇති අතර අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ලකුණු 8000 සම්පූර්ණ කළ පිතිකරුවන් අතරින් ඔහු තෙවැනි ස්ථානය හිමිකර ගෙන සිටියි. මෙහි පළමු ස්ථානය සහ දෙවන ස්ථානය පිළිවෙළින් ඉනිම් 175කින් සහ ඉනිම් 182කින් ලකුණු 8000 සම්පූර්ණ කළ විරාත් කෝලිට සහ ඒ. බී. ඩිවිලියර්ස්ට හිමිව තිබේ.

එමෙන්ම මෙම තරගාවලි පරාජයත් සමඟින් ඉන්දියාව, ඕස්ට්‍රේලියා කණ්ඩායම හමුවේ මව්රටේ දී ම එක්දින තරගාවලියක් පරාජයට පත් වූ හයවැනිඅවස්ථාව ලෙස මෙය වාර්තා අතරට එක් වෙයි.

තවද මේ වන විට ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එක්දින ජාත්‍යන්තර තරග 136ක් පවත්වා ඇති අතර ඉන් තරග 77ක් ඕස්ට්‍රේලියාවත්, තරග 49ක් ඉන්දියාවත් ජයගෙන සිටී.

ඕස්ට්‍රේලියා කණ්ඩායම: කඩුලු 9ක් දැවී 272 (50): උස්මාන් කවාජා 100, පීටර් හෑන්ඩ්ස්කොම්බ් 52, ජෙයි රිචර්ඩ්සන් 29, භුවනේෂ්වර් කුමාර් 3/48, රවීන්ද්‍ර ජඩේජා 2/45, මොහොමඩ් සාමි 2/57

ඉන්දීය කණ්ඩායම: සියල්ලන් දැවී 237 (50): රෝහිත් ශර්මා 56, භුවනේෂ්වර් කුමාර් 46, කේඩර් ජාදේව් 44, ඇඩම් සැම්පා 3/46, මාර්කස් ස්ටොයිනස් 2/31, පැට් කමින්ස් 2/38, ජෙයි රිචර්ඩ්සන් 2/47

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<