ඉන්දීය යෞවනයෝ පළමු තරගය ජය ගනී

India Under-19s tour of Sri Lanka

1
India Under-19s tour of Sri Lanka

සංචාරක ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වෙනවා.

හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 320ක් ලබා ගත් එම ඉලක්කය තවත් පන්දු 4ක් ඉතිරි කර ගනිමින් කඩුලු 6ක් පමණක් දැවී සපුරා ගැනීමට ඉන්දීය ක්‍රීඩකයෝ සමත් වෙනවා.

මෙම තරගයට එක් වූ ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 දෙනා ම තම පළමු වයස අවුරුදු 19න් පහළ යොවුන් ජාත්‍යන්තර තරගවලට එක් වූයේ මෙම තරගයේ දී වීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

විමත් දින්සර (නායක), දිමන්ත මහවිතාන, දුල්නිත් සිගේරා, සෙනුජ වැකුණුගොඩ, කවිජ ගමගේ, චාමික හිනටිගල, චමරිඳු නෙත්සර (කඩුලු රකින්නා), කිත්ම විතානපතිරණ, සෙත්මික සෙනෙවිරත්න, විග්නේශ්වරන් ආකාශ් සහ කුගතාස් මාතුලන්.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

Yashbardhan Chauhan (නායක), Sagar Virk, Lakshya Raichandani, Kushagra Ojha, Anvay Dravid (කඩුලු රකින්නා), Arjun Rajput, Yashveer Goud, Shavin Vinodh, Mohit Ulva, Kavya Paresh Patel සහ Rohit Yadav.

කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 8කට දැවී යන අතර අනතුරු ව 2 වැනි කඩුල්ලට පන්දු 99ක දී ලකුණු 68ක සබඳතාවක් ගොඩ නැගීමට දිමන්ත මහවිතාන සහ සෙනුජ වැකුණුගොඩ සමත් වෙනවා.

දිමන්ත මහවිතාන පන්දු 62කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 42ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

සෙනුජ වැකුණුගොඩ ඉනිමේ 4 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 111කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 91ක් ලබා සිටියා. ඔහු කවිජ ගමගේ හා එක් ව එම කඩුල්ලට පන්දු 100ක දී ලකුණු 100ක සබඳතාවක් ගොඩ නැගීමට ද දායක වෙනවා.

කවිජ ගමගේ ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 77ක් ලබා ගත් අතර ඔහු සහ චාමික හීනටිගල එක් ව එම කඩුල්ලට පන්දු 23ක දී ලකුණු 31ක සබඳතාවක් එක් කරනවා.

චාමික හීනටිගල ඉනිමේ අවසන් වෙද්දී පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා සිටියා.

ඔහු සහ චමරිඳු නෙත්සර හා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 19ක දී ලකුණු 35ක් ද සහ කිත්ම විතානපතිරණ හා එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 6ක දී නොදැවුණ ලකුණු 26ක සබඳතාවක් ද එක් කරනවා.

කිත්ම විතානපතිරණ ඉනිම අවසන් වෙද්දී පන්දු 5ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී  Kavya Paresh Patel කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Rohit Yadav සහ Mohit Ulva කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ආරම්භයේ සිට ම දැවැන්ත ප්‍රහාරාත්මක රිද්මයක් පවත්වාගෙන යෑමට සංචාරක යොවුන් ක්‍රීඩකයෝ සමත් වෙනවා. ඒ අතුරින් Kushagra Ojha පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 92ක් ද, Sagar Virk පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 57ක් ද සහ Lakshya Raichandani පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 52ක් ද ලබා ගත්තා.

ඊට අමතර ව ඉන්දීය ඉනිමේ ආරම්භක පිතිකරු නායක Yashbardhan Chauhan පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 31ක් ද සහ Yashveer Goud තරගය ජයග්‍රහණය කරන විට පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී සෙත්මික සෙනෙවිරත්න ලකුණු 46කට කඩුලු 2ක් ද සහ කවිජ ගමගේ ලකුණු 72කට කඩුලු 2ක් ද දවා ගන්නවා. ඊට අමතර ව කුගතාස් මාතුලන් සහ දුල්නිත් සිගේරා කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 320 (50.0) දිමන්ත මහවිතාන 42, සෙනුජ වැකුණුගොඩ 91, කවිජ ගමගේ 77, චාමික හීනටිගල නොදැවී 46, චමරිඳු නේතසර 21, කිත්ම විතානපතිරණ නොදැවී 18, Kavya Paresh Patel 2/54

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 6ක් දැවී 324 (49.2) Yashbardhan Chauhan 31, Sagar Virk 57, Lakshya Raichandani 52, Kushagra Ojha 92, Yashveer Goud නොදැවී 33, සෙත්මික සෙනෙවිරත්න 2/46, කවිජ ගමගේ 2/72

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 4ක ජයග්‍රහණයක්.

දෙරට කණ්ඩායම් අතර පැවැත්වෙන 2 වැනි එක්දින තරගය මේ මස 6 වැනිදා හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරයේ තවත් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<