පාකිස්තානයේ යසීර් ෂා වසර 82ක වාර්තාවක් බිඳ දමයි

1165

පාකිස්තානයේ සුපිරි පා දඟපන්දු යවන ක්‍රීඩකයෙක් වන යසීර් ෂා අඩුම ක්‍රිකට් තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරමින් ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම කඩුලු 200 ලබා ගැනීමේ වාර්තාව තමන් සතුකර ගැනීමට ඊයේ (06) සමත් වුනා.

ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රවීණයෝ 19 දෙනෙක් ICC පුහුණු පාඨමාලාවේ තෙවන අදියරට

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර අබුඩාබි හිදී පැවැත්වෙන තුන්වැනි හා අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී  යසීර් ෂා මේ දස්කම දක්වා තිබෙනවා.

යසීර් ෂා මෙම දස්කම පෑමට සමත් වූයේ ඔහු මුහුණ දුන් 33 වැනි ටෙස්ට් තරගයේ දී වන අතර මීට පෙර එම වාර්තාවට (1936 වසරේ දී) හිමිකම් කීවේ තවත් පා දඟපන්දු වන්නෙකු වූ ඕස්ට්‍රේලියාවේ ක්ලැරි ගිමට් විසිනි. මෙම ලැයිස්තුවේ තුන්වැනි ස්ථානය ඉන්දියානු දඟපන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අෂ්වින්ට හිමිව ඇති අතර ඔහු මෙම දස්කම පෑමට තරග 37ක් වැය කර තිබුණා.

වේගවත්වම ටෙස්ට් කඩුලු 200 සීමාව පසුකර ඇති පන්දු යවන්නන්

  • යසීර් ෂා (පාකිස්තානය) – ටෙස්ට් තරග 33*
  • ක්ලැරි ගිමට් (ඕස්ට්‍රේලියාව) – ටෙස්ට් තරග 36
  • රවිචන්ද්‍රන් අෂ්වින් (ඉන්දියාව) – ටෙස්ට් තරග 37
  • ඩෙනිස් ලිලී (ඕස්ට්‍රේලියාව) – ටෙස්ට් තරග 38
  • වකාර් යූනිස්  (පාකිස්තානය) – ටෙස්ට් තරග 38

එසේම නවසීලන්තය හා පාකිස්තානය අතර මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය අවසානයේ තවත් වාර්තාවක් තමන් සතු කර ගැනීමේ අවස්ථාව යසීර් ෂා හට හිමිව තිබෙනවා. ඒ තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක වැඩිම කඩුලු දවා ගත් පාකිස්තානු පන්දු යවන්නා වීමටයි. එම වාර්තාව සඳහා දැනට හිමිකම් කියන හිටපු පාකිස්තානු ක්‍රීඩක අබ්දුල් කාදර් විසින් කඩුලු 30ක් දවාගෙන එම වාර්තාව තබා ඇති අතර යසීර් ෂා මෙම තරගාවලියේ මේ වන විට දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 27කි.

මේ වන විට ලොව ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු ලාභියා වන ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් හට ටෙස්ට් කඩුලු 200 සීමාව පසු කිරිමට ටෙස්ට් ක්‍රිකට් තරග 42ක් වැය වී තිබෙනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<