මට මගේ නිදොස්‌බව ගැන දැඩි විශ්වාසයක්‌ තිබුණා – කුසල්

259
Kusal - Thilanga

මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජක සංඝටක ඇතුළු වූ බවට තහවුරු වුවත් තමන් එවැනි වරදක්‌ නොකළ හෙයින් අදාළ තහනම භාර ගැනීම දිගින් දිගටම ප්‍රතික්‍ෂේප කළ බවත් දැන් සත්‍ය තහවුරු වීම සම්බන්ධයෙන් ඉතාමත් සතුටින් සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩක කුසල් පෙරේරා පවසයි.

ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය විසින් කුසල් පෙරේරාට සිව් වසරක තරග තහනමකට ලක්‌වීමේ අවධානමකට ලක්‌ව සිටියදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය මැදිහත්ව කුසල් පෙරේරාව ලොව උසස්‌ම තාක්‍ෂණික පරීක්‍ෂණවලට යොමු කරමින් ඔහුගේ නිවැරදි භාවය ඔප්පු කිරීම වෙනුවෙන් කටයුතු කළේය. ඒ අනූව පෙරේදා රාත්‍රි 11.00 ට පමණ ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය කුසල්ගේ තහනම ඉවත් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට නිල වශයෙන් දැනුම් දුන්නේය.

“මට ඊයේ (11 දා) රෑ 11.00 ට පමණ මගේ කළමනාකාර රවීන් අයිය කතා කරල කිව්වා මම තහනම් උත්තේජක චෝදනාවෙන් නිදහස්‌ කියලා. ඒ වෙලාවෙ මම මුලින්ම ගියේ තිලංග සුමතිපාල සර්ව හම්බ වෙන්න. එතනදි මට ඇති වුන සතුට කියල නිම කරන්න බැහැ. මම දැනගෙන හිටියා මම වරදක්‌ කළේ නැති නිසා මම නිදහස්‌ වෙයි කියලා.” යනුවෙන් කුසල් පෙරේරා සිය තහනම ඉවත් වීම සම්බන්ධයෙන් පැවසීය.

පසුගිය දෙසැම්බර් මස 8 වැනිදා කුසල්ගේ පළමු මුත්‍රා සාම්පලයේ අදාළ තහනම් උත්තේජක සංඝටක ඇති බවට තහවුරු වූ අතර අනතුරුව ඔහුගේ දෙවැනි මුත්‍රා සාම්පලයෙත් තහනම් උත්තේජක සංඝටක ඇති බව පසුගිය ජනවාරි මාසයේදී තහවුරු විය. ජාත්‍යන්තර තහනම් උතේජක පරීක්‍ෂණ සඳහා පිළිගත් කටාර් හි පිහිටි වාඩා ආයතනයෙන් කුසල්ගේ මුත්‍රා සාම්පලවල නොරන්ඩ්‍රස්‌a (19-භ) තහනම් උත්තේජක සංඝටක ඇති බවට තහවුරු විය.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතාගේ මූලිකත්වය අනුව කුසල් පෙර්රාව විශ්වාස කරමින් ඔහුගේ නිර්දෝෂිභාවය පෙන්වීම සඳහා එංගලන්තයේ මෝගන් ජාත්‍යන්තර ක්‍රීඩා ආයතනයේ උසස්‌ නීතිඥයන්ගේ සේවය ලබා ගනිමින් පරීක්‍ෂණ කිහිපයකට යළිත් කුසල්ව භාජනය කරමින් එහි වාර්තාවන් පසුගිය මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයට යොමු කරන ලදී. එහිදී කුසල් පෙරේරා තහනම් උත්තේජක ගත් බවට තහවුරු කිරීමට කිසිදු සාක්‍ෂියක්‌ සහ එම චෝදනාවට පදනම් විය හැකි කිසිදු ක්‍රියාවක්‌ එම වාර්තාවල සඳහන් නොවීම හේතුවෙන් අයි.සී.සී.ය කුසල්ගේ තහනම ඉවත් කරන ලදී.

“මට ලොකු පීඩනයක්‌ තිබ්බා. මේ චෝදනාව ආපු දවසෙ ඉඳල මාසයක්‌ යනකම් මම කළේ එක එක නීතිඥයන්ගෙ පස්‌සෙ ගිහිල්ල උපදෙස්‌ අරගන්න එක සහ පරීක්‍ෂණවලට සහභාගි වෙන එක විතරයි. සමහරු කිව්ව මට තියෙන චෝදනාව පිළිගත්තොත් තහනම අවම කරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් මම වරදක්‌ කරන්නෙ නැතිව වරද පිළිගන්න ලෑස්‌ති වුණේ නැහැ. ඒ හින්ද වරදක්‌ නොකර මාව වැරදිකරු කරල අවුරුදු හතරම හරි තහනම විඳින්න ලෑස්‌ති වෙලා වරද පිළිගත්තෙ නැහැ.” යෑයි කුසල් පෙරේරා වැඩිදුරටත් පැවසීය.

තහනමක්‌ පැනවීමෙන් පසු තමා වැටී තිබු අගාධයෙන් බේරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ සභාපති, ක්‍රීඩා ඇමැතිතුමා, මිතුරන් සහ පවුලේ අය මෙන්ම නොයෙකුත් දෙනා තමාව තනි නොකළ බැවින් තමාට තිබූ පීඩනය අඩු වු බවද කුසල් පවසයි.

“මට තිබුණ තහනමත් එක්‌ක කිසිම වෙලාවක ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට සම්බන්ධව වැඩ කිරීමට හැකියාවක්‌ තිබුණෙ නැහැ. ඒ නිසා මට පුහුණුවීම් කරන්න අවස්‌ථාව නැතිව ගියා. නමුත් ඒ වෙලාවෙ මම කළේ මගේ පාසල් පුහුණුකරුවන් සමග හැකි සෑම වෙලාවකම කොහේ හරි ගිහිල්ල පුහුණුවීම් කරන එක. ඒක ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කරන පුහුණුවීම් තරම් හොඳ නැති වෙන්න පුළුවන්. නමුත් එක මගේ ශරීර යෝග්‍යතාව තියාගන්න මම හැම වෙලාවෙම මහන්සි ගත්තා. දැන් මට තියෙන්නෙ ඉක්‌මනට සුපුරුදු දස්‌කම් අතරට පැමිණෙන්න. හෙට ඉඳල මම යළිත් පුහුණුවීම් අරඹල ජාතික කණ්‌ඩායමට එන්න උත්සහ කරනවා.” යෑයි කුසල් පෙරේරා ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය. ඒ අනූව කුසල් අද (13 දා) සිට පුහුණුවීම් ආරම්භ කරන අතර ඔහු බොහෝ දුරට එංගලන්තය සමග පැවැත්වෙන එක්‌දින තරගාවලියේ සිට ශ්‍රී ලංකා කණ්‌ඩායමට එක්‌වීමට නියමිතව තිබේ. ඊට පෙර කුසල් පෙරේරා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පුහුණු තරග කිහිපයකටද සහභාගි වීමට නියමිතව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

“අපි කුසල්ව නිදහස්‌ කරන්න මිලියන 15ක්‌ වෙන් කළා” – තිලංග

කුසල් පෙරේරා තහනම් උත්තේජක චෝදනාව පිළි නොගැනීම නිසා ඔහුව විශ්වාස කරමින් වෙනත් පරීක්‍ෂණ සඳහා රුපියල් මිලියන 15 ක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය වෙන් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

“වාඩා ආයතනයෙන් කුසල්ගේ මුත්‍රා සාම්පලවල තහනම් උත්තේජක සංඝටක ඇති බවට තහවුරුවීමෙන් පසුව මම පසුගිය ජනවාරි මස 7 වැනිදා ඩුබායිහිදී ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයෙන් කුසල්ගේ පරීක්‍ෂණය පිළිබඳව සම්පූර්ණ වාර්තාවක්‌ ඉල්ලුවා. ඊට පස්‌සෙ ඒ වාර්තාවට අනූව කටයුතු කරන්න කුසල්ගේ කැමැත්ත විමසුවා. ඒ අයුරින් කුසල්ව අපට නැවතත් ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියට ගෙන ඒමට හැකි වුවා.” යෑයි සුමතිපාල මහතා පවසයි.

කුසල් පෙරේරාට සිව් අවුරුදු තරග තහනමක්‌ පැනවීම හේතුවෙන් ලොව පිළිගත් නීතිඥයන් සහ පරීක්‍ෂණ වෙනුවෙන් රුපියල් මිලියන පහක්‌ පළමුව වෙන් කළ බවත් එම මුදල කෙටි කාලයකින් ඉවරවීම නිසා තවත් මිලියන 15 ක්‌ කුසල් වෙනුවෙන් වෙන් කළ බවත් සුමතිපාල මහතා පවසයි.

“අපි මුලින්ම කුසල්ව විශ්වාස කළා. ඒ අනුව ක්‍රීඩා ඇමැතිතුමා අපිට නිතරම මේ ප්‍රශ්නය පිළිබඳව කතා බහ කරල ශක්‌තිය දුන්නා. පස්‌සෙ කුසල්ව නිදහස්‌ කර ගන්න අපි එංගලන්තයේ මෝර්ගන් ආයතනයේ සහය ගත්තා. ඒ වෙනුවෙන් විශාල මුදලක්‌ වැය වෙනවා. ඒ නිසා කුසල්ගේ හිසේ කෙස්‌ වැනි දැ අරගෙන විශේෂ පරීක්‍ෂණ කළා. ඒ පරීක්‍ෂණ ලංකාවෙ කරන්න බැහැ. ඒ නිසා අපි කුසල්ව එංගලන්තයට එක්‌කරගෙන ගියා. කොහොම වුණත් කුසල්ව නිදහස්‌ කර ගන්න රුපියල් මිලියන 13 ක්‌ පමණ වැය වී තිබෙනවා.”

කුසල් පෙරේරා වෙනුවෙන් වැය කළ මුදල් යම් හෙයකින් අපතේ යන්නට සිදුවු බවත් නමුත් කුසල් පෙරේරා වරදක්‌ නොකළේ නම් කිසිම විටෙක එම පරීක්‍ෂණ අසාර්ථක නොවන බවත් ක්‍රිකට්‌ සභාපතිවරයා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයට මෙන්ම කුසල් පෙරේරාට මෙම තහනම් උත්තේජක චෝදනාවෙන් හානියක්‌ වූ බවත් ඒ වෙනුවෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියා මාර්ග ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය සමග සාකච්ඡා කොට ගන්නා බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න