කණ්ඩායම් 8; එක් කිරුළක් – පාපන්දු සම්මේලනයෙන් නව තරගාවලියක්

නිදහස් කුසලාන - සිලෝන් පළාත් ලීගය

277
Independence Trophy - Ceylon Provincial League 2022

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පළමු වරට සංවිධානය කරන, “නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගය” (Independence Trophy – Ceylon Provincial League) ජනවාරි 25 වැනිදා සිට පෙබරවාරි 28 වැනිදා දිවයිනේ ක්‍රීඩාංගණ කිහිපයක දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ සෑම පළාතකම පාපන්දු ක්‍රීඩකයින් සහභාගී කර ගනිමින්, බස්නාහිර, උතුර, දකුණ, මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරුමැද සහ වයඹ පළාත් දෙක ඒකාබද්ධව වයඹ ලෙස කණ්ඩායම් 8ක් මෙම තරගාවලිය සහභාගී වීමට නියමිතයි.

වයස අවුරුදු 28න් පහළ තරගාවලියක් ලෙස මෙම අන්තර් පළාත් තරගාවලිය පැවැත්වෙන අතර එක් කණ්ඩායමක් සඳහා වයස අවුරුදු 21න් පහළ ක්‍රීඩකයින් 6 දෙනෙකු ඇතුළත් විය යුතුයි. ඉන් අවම වශයෙන් ක්‍රීඩකයින් තිදෙනෙක් තරගයක් සඳහා සහභාගී විය යුතුයි.

තවද එක් කණ්ඩායමක් සඳහා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයින් 3 දෙනෙකු ඇතුළත් කර ගත යුතු අතර සෑම තරගයක් සඳහාම අවම වශයෙන් ඉන් එක් ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩා කර යුතු වනවා.

තරගාවලියේ සමාරම්භක තරග හෙට (25) කුරුණෑගල මාලිගාපිටියේ දී ආරම්භ වන අතර දොරේඅප්පා, අරියාලෛයි, ත්‍රිකුණාමලය, වෙබර්, වින්සන්ට් ඩයස්, නාවලපිටිය, බෝගම්බර, ගාල්ල, මාතර, කෑගල්ල, රත්නපුර සීවලි හිදි දිවා රාත්‍රි තරග ලෙස තරග පැවැත්වීමට නියමිතයි.

ලීග් ක්‍රමයට පැවැත්වෙන තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් 4 අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගනු ඇත.

අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය පිළිවෙළින් පෙබරවාරි 25 සහ 28 දිනවල දී පැවැත්වීමට නියමිත අතර තරග පැවැත්වෙන ස්ථාන ඉදිරියේ දී දැනුම් දීමට නියමිතයි.

කණ්ඩායම් 8 සංචිත මේ වන විටත් මාධ්‍යයට නිවේදනය කර නොමැති අතර කණ්ඩායම් 8 පුහුණුකරුවන් ලෙස නිමා වූ Super League තරගාවලියේ දී දක්ෂතා දැක්වූ කණ්ඩායම් හි පුහුණුකරුවන් සහ අත්දැකීම් බහුල ප්‍රවීණ පුහුණුකරුවන් පිරිසක් සහභාගී වනු ඇත.

කණ්ඩායම් සියල්ල මේ වන විට තම සංචිත තෝරාගෙන අවසන් අතර ඔවුන් සිය පුහුණුවීම් ද මේ වන විට ආරම්භ කර අවසන්.

කණ්ඩායම් පුහුණුකරුවන් –

  • උතුර – රත්නම් ජැස්මින්
  • නැගෙනහිර – මොහොමඩ් රූමි
  • මධ්‍යම – පකීර් අලී
  • දකුණ – ශිරන්ත කුමාර
  • ඌව – මොහොමඩ් හම්සා
  • වයඹ – දේවසගායම් රාජමනි
  • සබරගමුව – ෆසුල් රහ්මාන්
  • බස්නාහිර – සුමිත් වල්පොල

තරගාවලියේ සියලු තතුවිත්ති ඔබ වෙත ගෙන ඒමට ThePapare.com. සූදානම්. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟ රැඳී සිටින්න.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<